ජරාවක් කන්න ශල්‍ය ගෝස් රටින් ගේන්න හදනවා -වෙන්න යන පාඩුව කෝටි නවයක් – ශල්‍ය වෛද්‍ය නිෂ්පාදකයන්ගේ සංගමයේ සභාපති අසේල පෙරේරා

166

වසර 52ක් අඛණ්ඩව මෙරට රෝහල් පද්ධතියට ශල්‍ය ගෝස් සැපයූ මෙරට නිෂ්පාදකයන් මගහැර කොමිස් ලබා ගැනීමේ අරමුණින් වැඩි මිලකට ශල්‍ය ගෝස් ලබාගැනීමට වෛද්‍ය සැපයුම් අංශයේ දෙදෙනකු කටයුතු කරමින් සිටින බව ශල්‍ය වෛද්‍ය නිෂ්පාදකයන්ගේ සංගමයේ සභාපති අසේල පෙරේරා මහතා ඊයේ (08දා) පැවසීය.

හිටපු අගමැතිනියක වූ සිරිමාවෝ බණ්ඩාරනායක මහත්මිය සමයේ මෙරට ආරම්භ කරන ලද ශල්‍ය ගෝස් කර්මාන්තය සඳහා මෙතෙක් කිසිදු ඇමැතිවරයකු හෝ කිසිදු රජයක් බලපෑම් එල්ල නොකළ බවද කොළඹ ඊයේ (08දා) පැවැති මාධ්‍ය හමුවේදී පෙරේරා මහතා පැවසීය.

2022 ජූලි 22 වැනිදා සෞඛ්‍ය අමාත්‍යාංශයේ මැදිහත් වීමෙන් ශල්‍ය ගෝස් විදේශයෙන් ගෙන්වීමට උත්සාහ කළත් මෙරට නිෂ්පාදකයන්ට එය සැපයිය හැකි නිසා එම උත්සාහය ව්‍යර්ථ වූ බවද ඒ මහතා පැවසීය.

එහෙත් වෛද්‍ය සැපයුම් අංශයේ නිලධාරීන් කිහිප දෙනකු විදේශයෙන් ශල්‍ය ගෝස් ගෙන්වන සැපයුම්කරුවකුගෙන් ගෝස් වැඩි මිලට මිලදී ගැනීමට උත්සාහ කරන බවද ඒ මහතා පැවසීය. මෙම ගනුදෙනුව සිදු වුවහොත් රජයට රුපියල් කෝටි 09කට වැඩි අමතර මුදලක් වැයවන බව ද ඒ මහතා කීය.

දේශීය නිෂ්පාදකයන් ගෝස් මීටරයක් රුපියල් හැත්ත හතරයි ශත අනූහයකට (74.96) ලබා දෙද්දී විදේශයකින් ගෝස් මීටරයක් රුපියල් එකසිය දෙකයි සත අනූ තුනකට (102.93) ලබාගැනීමට පිඹුරු පත් සකස් කර ඉන් කොටසක් රටට ගෙන්වා ඇතැයි ද ඔහු කීය.

වසරකට ගෝස් මීටර් මිලියන 12ක් අවශ්‍ය බවත් එම සම්පූර්ණ ප්‍රමාණය දැනටමත් මෙරට ගෝස් නිෂ්පාදකයන් සපයන බවත් අවශ්‍ය නම් එම ප්‍රමාණය වැඩිකර සැපයීමට ද හැකි බවත් පෙරේරා මහතා අවධාරණය කර සිටියේය.

මෙම කර්මාන්තය තුළින් සෘජු හා වක්‍ර රැකියාවල ලක්ෂයක පමණ පිරිසක් නියැළෙන බවත් ඔවුන්ගේ රැකියා අහිමි කිරීමට උත්සාහ කළහොත් තම සංගමය අධිකරණමය ක්‍රියාමාර්ගයකට යොමුවන බවත් ඒ මහතා පැවසීය.

මේ සම්බන්ධයෙන් වහාම ජනාධිපතිවරයා මැදිහත් වී කටයුතු කරනු ඇතැයි බලාපොරොත්තු වෙන බව ද, ජනාධිපතිවරයාට කරුණු පැහැදිලි කිරීම සඳහා සාකච්ඡාවක් ඉල්ලා ඇතැයි ද ඒ මහතා වැඩිදුරටත් පැවසීය.

චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment