අයිඑම්එෆ් සාර්ථකවීමත් සමග සංවර්ධන ව්‍යාපෘති නැවත ආරම්භ කිරීමට අවස්ථාව ලැබෙනවා

56

ජනාධිපති බදුල්ල දිස්ත්‍රික් විශේෂ සම්බන්ධීකරණ කමිටු රැස්වීමට එක් වෙමින් කියයි
බොරලන්ද – හෝර්ටන්තැන්න අනවසර ඉදිකිරීම් නවත්වන ලෙස නිලධාරීන්ට උපදෙස්

බොරලන්ද සිට හෝර්ටන්තැන්න දක්වා ඔහිය ප්‍රදේශයේ සිදු කෙරෙන අනවසර ඉදිකිරීම් නැවැත්වීමට වහාම පියවර ගන්නා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අදාළ නිලධාරීන්ට දැනුම් දුන්නේය. ඔහිය ප්‍රදේශයේ සිදුකර තිබෙන ඉදිකිරීම් නිසා ඒ ආශ්‍රිතව දැඩි පරිසර විනාශයක් සිදුව ඇති බව තමාට නිරීක්ෂණයවූ බව පැවසූ ජනාධිපතිවරයා එම තත්ත්වය වහා වළක්වා නොගතහොත් ඉදිරියේදී දැඩි ගැටලු‍කාරී තත්ත්වයකට මුහුණදීමට සිදුවන බවද පෙන්වා දුන්නේය.

අයිඑම්එෆ් සාර්ථකවීමත් සමග සංවර්ධන ව්‍යාපෘති නැවත ආරම්භ කිරීමට අවස්ථාව ලැබෙනවා

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කර සිටියේ ඉකුත් (16)දා පස්වරුවේ ඌව පළාත් පුස්තකාල ශ්‍රවණාගාරයේ පැවති බදුල්ල දිස්ත්‍රික් විශේෂ සම්බන්ධීකරණ කමිටු රැස්වීමට එක් වෙමිනි. බදුල්ල දිස්ත්‍රික්කයේ දේශපාලන අධිකාරිය මෙන්ම රාජ්‍ය නිලධාරීන්ද එක්ව සිටි මෙම සාකච්ඡාවේදී දිස්ත්‍රික්කයේ අධ්‍යාපන, සෞඛ්‍ය, මහාමාර්ග, ප්‍රවාහන ඇතුළු විවිධ ක්ෂේත්‍රයන්හි මතුව ඇති ගැටළු පිළිබඳ දීර්ඝ ලෙස සාකච්ඡා කෙරුණු අතර ඇතැම් ගැටළුවලට එම අවස්ථාවේම විසඳුම් ලබාදීමට ජනාධිපතිවරයා පියවර ගත්තේය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙසේද පැවසීය.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග වැඩසටහන සාර්ථකවීමත් සමග අපට අතරමග නැවතුන සංවර්ධන ව්‍යාපෘති නැවත ක්‍රමානුකූලව ආරම්භ කිරීමට අවස්ථාව ලැබී තිබෙනවා. ඒ වගේම අපේ ණය හිමියන් වන පැරිස් සමාජය සහ ඉන්දියාව වගේම චීනය අපේ යෝජනා පිළිගෙන තිබෙනවා. ඒ අනුව එම සාකච්ඡා ඉදිරියට කරගෙන යාමට අවස්ථාව ලැබී තිබෙනවා. එම පිළිගැනීම නිසා අපට නැවත විදේශ ආධාර හිමි වෙනවා. ඒ අනුව අපට කඩිනමින් ආරම්භ කළ හැකි ව්‍යාපෘති පිළිබඳ ලබන වසරේ මුල් මාස කිහිපය තුළ දැනුම් දීමට අපේක්ෂා කරනවා.

අපි ලබන වසරේ සිට විමධ්‍යගත අයවැය දිස්ත්‍රික්කවලට ලබා දෙනවා. දිස්ත්‍රික්කවල තිබෙන ආසන සංඛ්‍යාව අනුව එම ප්‍රතිපාදන ලබා දෙනවා. ඊට අමතරව කඳුරට වැඩසටහන ආරම්භ කර තිබෙනවා. කඳුකරයේ කොන් වූ ගම්මාන රැසක් තිබෙනවා. එවන් ගම්මානවලට උපකාර කිරීමට සෑම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයකටම මිලියන 10 බැගින් ලබා දෙනවා. එය ක්‍රමයෙන් වැඩි කිරීමට අපි බලාපොරොත්තු වෙනවා.

දිස්ත්‍රික් සංවර්ධන කමිටු සමඟ සාකච්ඡා කර පළාත් මට්ටමින් එම වැඩකටයුතු ක්‍රියාත්මක කිරීමට කමිටුවක් පත් කිරීමට මම බලාපොරොත්තු වෙනවා. දිස්ත්‍රික් සංවර්ධන කමිටුවේ සභාපතිවරු හා දිස්ත්‍රික්කයේ මන්ත්‍රීවරයෙක් මෙන්ම නිලධාරින්ගෙන් එම කමිටුව සමන්විත වෙනවා. පළාත් සභා ව්‍යාපෘති ආණ්ඩුකාරවරයා මාර්ගයෙන් මෙන්ම මහා ආණ්ඩුවේ ව්‍යාපෘති අදාළ ආයතන මාර්ගයෙන් ආරම්භ කිරීම අපේක්ෂාවයි. ඒ අනුව තමන්ගේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ සිදු කළ යුතු සංවර්ධන කටයුතු පිළිබඳ අදහස් එම කමිටුවලට ලබාදෙමින් එම කටයුතු කරගෙන යාමට හැකියාව ලැබෙනවා. කෘෂිකර්ම නවීකරණ වැඩසටහනට පුද්ගලික අංශයද දායක කර ගන්නවා. ගොවිජන සේවා මධ්‍යස්ථාන කෘෂි නවීකරණ මධ්‍යස්ථාන බවට පත් කිරීමට සැලසුම් කර තිබෙනවා. එසේම ඉඩම් සංවර්ධන ආඥා පනත යටතේ බලපත්‍ර ඇති සියලු‍දෙනාට සින්නක්කර ඔප්පු ලබාදීමේ වැඩසටහන පෙබරවාරි මාසයේ ආරම්භ කිරීමට අප සැලසුම් කර තිබෙනවා. මේ අයුරින් විශාල වැඩකොටසක් ඉදිරියට ගෙන යාමට අප බලාපොරොත්තු වෙනවා.

මම හෝට්න් තැන්න ප්‍රදේශයේ සිදු කළ සංචාරයේදී ඔහියට උඩින් ගෙස්ට් හවුස් ගණනාවක් ඉදිකර තිබෙනවා දුටුවා. ඒවා හදලා තිබෙන්නේ ඔය අසළයි. ඔවුන් සියලු‍ දෙනා ඔයෙන් වතුර ගන්නවා නම් පහළට වතුර එන්නේ නැහැ. ඒ නිසා අපි සාකච්ඡා කර දැනුම් දෙන තෙක් ඔහිය ප්‍රදේශයේ කිසිඳු ඉදිකිරීමක් කිරීමට අවසර නොදෙන ලෙස මා ඉල්ලා සිටිනවා. මේ ආකාරයට තව දුරටත් කටයුතු කළොත් ඉහළ පෙළේ සංචාරකයින් මේ ප්‍රදේශවලට පැමිණෙන්නේ නැහැ. ඒ වගේම මෙයින් සිදු වන තවත් හානියක් වන්නේ ඔහියෙ තිබෙන ජලය ඉහළට ලබා ගැනීමෙන් නගරයටත් ඉන් පහළ ප්‍රදේශයටත් ජලය නොලැබීමයි. ඒ නිසා බොරලන්දෙන් ඉහළ ප්‍රදේශයේ ඉදිකිරීම්වලට අවසර නොදෙන ලෙස මා ඉල්ලා සිටිනවා.

උමා ඔය ව්‍යාපෘතිය නිසා බදුල්ල දිස්ත්‍රික්කයට වන බලපෑම පිළිබඳව සම්පූර්ණ විග්‍රහයක් කළ යුතු වෙනවා. උමා ඔය ව්‍යාපෘතිය ගෙනාවේ ප්‍රේමදාස ජනාධිපතිතුමාගේ කාලයේ. ඊට පස්සේ ප්‍රශ්න ගණනාවක් නිසා අප එය ප්‍රතික්ෂේප කළා. උමා ඔය මහවැලිය සැලැස්ම අනුව ගෙන යන ලෙස උපදෙස් දුන්නා. බිං ගෙය නිසා ඇති වන ගැටළු ගණනාවක් ඒ කාලේ ඉදිරිපත් කර තිබුණා. මෙම ගැටළුවලට සම්පූර්ණ විසඳුම් ලබා ගැනීමට නම් මුලින් කී පරිදි බදුල්ල දිස්ත්‍රික්කය පිළිබඳව සම්පූර්ණ විග්‍රහයක් කළ යුතුයි.

අමාත්‍යවරුන් වන නිමල් සිරිපාලද සිල්වා, හරින් ප්‍රනාන්දු, රාජ්‍ය අමාත්‍යවරුන් වන චාමර සම්පත් දසනායක, අරවින්ද කුමාර්, ඌව පළාත් ආණ්ඩුකාර ඒ.ජේ.එම්. මුසම්මිල්, පාර්ලිමේන්තු මන්ත්‍රී සහ බදුල්ල දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපති මේජර් සුදර්ශන දෙනිපිටිය, ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සහ පාර්ලිමේන්තු මන්ත්‍රී වඩිවෙල් සුරේෂ්, ඌව පළාත් සභාවේ සභාපති ඒ.එම්. බුද්ධදාස යන මහත්වරු ඇතුළු දිස්ත්‍රික්කයේ දේශපාලන නියෝජිතයන්ද ජනාධිපති ලේකම් සමන් ඒකනායක, බදුල්ල දිස්ත්‍රික් ලේකම් පණ්ඩුක ශ්‍රී ප්‍රභාත් අබේවර්ධන යන මහත්වරු ඇතුළු රාජ්‍ය නිලධාරින්ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

advertistmentadvertistment
advertistmentadvertistment