කෝටි 200 ජෙනරේටර් ගනුදෙනුවේ කමිටු වාර්තාව හංගගෙන

185

ලංවිම මාණ්ඩලික තාක්‍ෂණික ඉංජිනේරු සංගමයේ සභාපති කියයි

රුපියල් කෝටි දෙසීයකට අධික මුදලක් වැයකර විදුලිබල මණ්ඩලයට ලබාගත් මෙගාවොට් 50 ක් නිපදවිය හැකි කුඩා ජෙනරේටර් පනහක දූෂිත ගනුදෙනුව පිළිබඳ සෙවීමට කමිටුවක් පත් කළත් ඒ කමිටු වාර්තාවද සඟවා තබා ඇතැයි ලංවිම මාණ්ඩලික තාක්‍ෂණික ඉංජිනේරු හා අධිකාරි සංගමයේ සභාපති ඒ. ජී. යූ. නිශාන්ත මහතා “දිවයින”ට පැවසීය.

අකාර්යක්‍ෂමතාවෙන් යුත් මෙම ජෙනරේටර් ඩීසල් ගිලින යක්‍ෂයකු බවත් එම ජෙනරේටර් මිලදී ගත්තත් ඉන් අපේක්‍ෂිත අරමුණු ඉටු නොවූ බවත් ඒ මහතා කීය.

මෙම එක් ජෙනරේටරයකින් මෙගාවොට් එකක් ලබාගත හැකි බව කියමින් ජෙනරේටර් පනහ මගින් මෙගාවොට් පනහක් ජාතික විදුලි පද්ධතියට එක්කර ගැනීමේ අරමුණින් මේවා මිලදී ගෙන ඇත. නමුත් මිලදී ගත් එම ජෙනරේටර් කිහිපයක්ම මේ වනවිට කැඩී ගොස් ඇතැයි ද හෙතෙම පැවසීය.

මෙම ගනුදෙනුවේ සිදුවූ දූෂණ සම්බන්ධව වෘත්තීය සමිති කරුණු පෙන්වාදීමෙන් පසුව ඒ පිළිබඳ සෙවීමට පාලනාධිකාරිය කමිටුවක් පත්කර ඇත. කමිටුව පත් කළත් කමිටු වාර්තාවක් නැතැයි ද නිශාන්ත මහතා පැවසීය. විදුලිබල මණ්ඩලයේ මෙවැනි දූෂිත ගනුදෙනු පිළිබඳ ජාතික විගණන කාර්යාලය සාමාන්‍ය විගණන සිදු කළත් ඉන් ඵලක් නොමැති නිසා පූර්ණ විද්‍යාත්මක විගණයක් සිදු කළ යුතුව ඇතැයි ද නිශාන්ත මහතා සඳහන් කළේය.

ශිරාන් රණසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment