දිවි දෙවැනි කොට රැකගත් මාතෘභූමිය කිසිවෙකුට කෑලිවලට කැඩීමට කිසිඳු ඉඩක් දෙන්නේ නැහැ

786

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ දෙවැනි ජාතික මහා සම්මේලනය අමතමින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ කියයි
මරණ බිය ඇති කළ කොටින්ගෙන් හා කොරෝනාවෙන් රට බේරා ගත්තේ
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ආණ්ඩුවයි
ජාතික සංවිධායක හිටපු ඇමැති බැසිල් රාජපක්ෂ

දිවි දෙවැනි කොට රැකගත් අප මාතෘභූමිය කිසිවෙකුගේ හෝ වුවමනාවකට කෑලිවලට කඩා ආපස්සට ගැනීමට කිසිඳු ඉඩක් නොතබන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අවධාරණය කළේය.

මෙය අප සියලු‍ දෙනාගේම උපන් බිම බව පෙන්වා දෙන ඒ මහතා තිස් අවුරුදු යුද්දයේදී මේ රටේ කිසිම නායකයෙකුට ප්‍රභාකරන් සමඟ මුහුණට මුහුණලා යුද්ධ කිරීමට නොහැකි වූ බවද එසේ පැවැති යුද්ධයක් තවත් නායකයෙකුට ඉතිරි නොකිරීමට තමන් වගබලා ගත් බවද සිහිපත් කළේය.

දිවි දෙවැනි කොට රැකගත් මාතෘභූමිය කිසිවෙකුට කෑලිවලට කැඩීමට කිසිඳු ඉඩක් දෙන්නේ නැහැ

ඒ මහතා මේ බව සදහන් කළේ කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩා සංකීර්ණයේදී 15දා පස්වරුවේ පැවැති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ දෙවැනි ජාතික මහා සම්මේලනය අමතමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් පළ කළ මහින්ද රාජපක්ෂ මහතා මෙසේද පෙන්වා දුන්නේය.

ඔබ සියලු‍ දෙනා තමයි අපේ පක්ෂයේ ශක්තිය. ඒ වෙනුවෙන් ඔබ අපේ විශ්වාසය හැමදාමත් ආරක්ෂා කළ බව ඉතා ගෞරවයෙන් සිහිපත් කරන්න ඕන. පහුගිය අවුරුදු හත පුරාවට ඔබ කරපු කැප කිරීම් අපි දැක්කා. පක්ෂෙට වගේම රටට ආදරය කරන මිනිස්සු විදියට ඔබ ඉතා ඉවසිලිවන්තව කටයුතු කළා. එහෙම නොකළ නම් සමහර විට අද තත්ත්වය මීට වඩා වෙනස් වෙන්න ඉඩ තිබුණා. දැන් බලන්න අපේ සම්මේලනය තියෙනවා කිවුවමත්, සමාජ මාධ්‍ය යොදාගෙන අපිට ඇති තරම් මඩ ගැහුවා. ඒ ගහපු මඩවලට ඔබ තමුන්නාන්සෙලා අද හොඳ පණිවිඩයක් මුළු රටටම දීලා තියෙනවා. හොඳට මතක තියාගන්න අපි 2005දී රට භාරගන්න කොටත් අපිට මඩ ගැහුවා. එදා රටේ ජනතාව අපෙන් ඉල්ලු‍වේ රට දෙකඩ වෙලා ඊළම හැදෙන එක නවත්වන්න කියලා විතරයි. ඔබ දන්නවා තිස් අවුරුදු යුද්දෙදී මේ රටේ කිසිම නායකයෙක්ට ප්‍රභාකරන් එක්ක මුහුණට මුහුණ යුද්ධ කරන්න බැරිවුණා.

සමහර නායකයො යුද්දෙ නවත්වන්න කියලා ප්‍රභාකරන්ට ආයුධ පවා දුන්නා. ඒ ආයුධවලින්ම ප්‍රභාකරන් අපේ රණවිරුවන්ට වෙඩි තිවුවා. එහෙම තිබුණ යුද්ධයක් තව නායකයෙකුට අපි ඉතිරි කළේ නැහැ. සිංහල, දෙමළ මුස්ලිම් සියලු‍ ජනතාවට සාමකාමී රටක සහජීවනයෙන් ජීවත්විය හැකි සාමය අපි මේ රටට නිර්මාණය කරලා දුන්නා. එදා 2009 යුද්ධය අවසන් වුන කාලයේ යුද්ධයක් ගැන මතකයක් නැති දරුවන් අද තරුණයන් ලෙස මේ රටට සමාජගත වෙමින් ඉන්නවා.

බලන්න දැන් සමහර අය අපේ කාලයේ ආර්ථිකය ගැනමයි කතා කරන්නෙ. අපි ජනතාව ඉදිරියේ වරදකරුවො කරන්න අහස පොළව ගැටගහනවා. හැබැයි මේ අය හදන්නෙ අපට චෝදනාව දාලා බේරෙන්න. තොරතුරු දන්නෙ නැති පිරිසක් තමයි මේ කයියනායකලා මග යමින් ඒ කණ්ඩායමට අහුවෙලා බොරු ප්‍රචාර කරන්නෙ.

2015දී රටේ ඇතැම් පිරිසකට වෙනසක් ඕන උනේ. එහෙම වුණාද නැද්ද? ඒ වෙනස ඇවිල්ලා කරපු දේ තමයි අර ආර්ථික වර්ධන වේගය සියයට සෘණ 0.2ක් වෙනකම් පල්ලම් බැස්සුවා. රටට ඔරොත්තු නොදෙන තරම් විදේශ ණය විශාල ප්‍රමාණයක් ලබාගත්තා. මේවා සමහර මිනිස්සු අදත් දන්නෙ නැහැ. අපි කවුරුත් නොහිතපු විදියට එදා කොවඩ් 19 බලපෑම ආවේ ඒ වගේ බිඳවැටුණු ආර්ථික පසුබිමක් තිබුණු රටකට. අපි කොවිඩ් අභියෝගය ජයගත්තට, ඒ කාලය තුළ අර ඊට කලින් ආපස්සට ගිහිං තිබුණ රට, නැවත ගොඩගන්න විශාල ප්‍රයත්නයක් දැරුවා. ඒ අභියෝගයත් අත්නොහැර සිටින වෙලාවක තමයි අර ජනතාව කුපිත කරපු ව්‍යාපාරය ආරම්භ උනේ. එතැන් පටන් සිද්ධ වුණ දේවල් ඔබ තමුන්නාන්සෙලා දන්නවා. සමහරු බලය ගන්න කලින්ම සූට් මහලා ඉන්නෙ. මේ සූට් මහලා ඉන්න කවුරුවත් රට අමාරුවේ වැටිච්ච වෙලාවේ සූට් එක ඇන්දෙ නෑ. ලෝකෙට පරකාසෙ නායකයො තමයි අද ජනතාවගෙන් එයාලට බලය දෙන්න කියලා ඉල්ලන්නෙ. එහෙම නායකයන්ට මේ රට බාරදෙන්න ඔබ සුදානම්ද?

ඊළඟ මැතිවරණයක අපේ කඳවුර තමයි බලවත්ව කඳවුර වෙන්නෙ. ඒ කඳවුර ශක්තිමත් කරන්න ජාති ආගම් කුල බේද නැතිව අපිත් එක්ක එකතුවෙන්න කියලා මේ රටේ ජනතාවට වගේම දේශපාලන පක්ෂවලටත් අපි ආරාධනා කරනවා.

මේක අපි හැමෝගෙම මාතෘභූමිය. අපි දිවි දෙවැනිකොට රැකගත් රට. ඒ නිසා මේ රට කාගේ හරි උවමනාවට කෑලිවලට කඩලා ආපස්සට ගන්න අපි ඉඩ තියන්නෙ නැහැ කියලා විශ්වාසයෙන් කියනවා. ඒ වගේම මේ රට හමුවේ තිබෙන අනාගත අභියෝග ජයගත හැකි එකම පක්ෂය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පමණක් බව අපි අද මේ රට හමුවේ නොබියව ප්‍රකාශ කරනවා. එදා අරගලයට මුවා වෙලා අපේ පාක්ෂිකයන්ට ඇතමෙක් හිරහැර කළා. පහරදුන්නා. ගේ දොර ගිනි තිබ්බා. තාමත් ඒකට සාධාරණයක් ඉටුවෙලා කියල මට පේනේනේ නැහැ. අපේ මන්ත්‍රීවරයෙක් මහ මග අමානුෂික ලෙස මරා දැමුවා. හරිනම් මේ දේවල්වලට කොමිෂන් සභාවක් පත්කරල විමර්ශනය පවත්වන්න ඕනේ.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘ හා ජාතික සංවිධායක සහ හිටපු ඇමැති බැසිල් රාජපක්ෂ මහතා

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මුහුණ දුන් හැම මැතිවරණයක්ම ජයග්‍රහණය කරන්න සමත් වුණා. ඉදිරියටත් යම් මැතිවරණයක් තිබෙනවා නම් දිනන්නේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ බව කියනවා. එහි ගෞරවය, අයිතිය තිබෙන්නේ ඔබ සියලු‍ දෙනාටයි. අපි කළේ වින්නඹු මාතාවගේ කාර්යයයි. පශ්චාත් ප්‍රචණ්ඩත්වය තුරන් කළා. මැතිවරණ ජයගත් පසුව කිසිවෙකුට හිරිහැර කළේ නැහැ. ඉදිරියටත් අපි ආදර්ශය අනුගමනය කරනවා. කිසිවෙකුට නොකියපු තමන්ගේ දොර අහිමිකර ගත්ත, දේපළ නැතිකර ගත්ත විශාල පිරිසක් ඉන්නවා. කිහිපදෙනෙකුට ආධාර ලැබුණා. ඒ සම්බන්ධයෙන් අපි ස්තුති වන්ත වෙනවා. තවමත් ආධාරයක් නොලැබුණු විශාල පිරිසක් ඉන්නවා. ඒ අය ගැන අවධානය යොමු කළයුතු වෙනවා.

අපේ රටේ සියලු‍ දෙනාම එක වගේ මරණ බිය ඇතිවුණු අවස්ථා දෙකක් තිබෙනවා. කොටි ත්‍රස්තවාදය නිසා මරණ බිය ඇතිවුණා. ලෝකයේ ඇතිවූ කොවිඩ් වසංගතය නිසා මරණ බිය ආවා. ඒ දෙකෙන්ම බේරා ගත්තේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ප්‍රමුඛ මහින්ද රාජපක්ෂ ආණ්ඩුවයි. එහි ගෞරවය ඔබටත් තිබෙනවා. මේ රටේ ඕනම ක්ෂේත්‍රයක සංවර්ධනයක් වුණා නම් ඒ සිදුවුණා නම් මහින්ද රාජපක්ෂ යුගයේ. ඒ අයිතිය තිබෙන්නේ ඔබටයි. මේ රටේ සෑම සංවර්ධනයක් තිබෙනවා නම් මහින්ද මහත්තයා කළ දේවල් බව අපි දන්නවා. ඒ අයිතිය කිසිවෙකුට උදුරා ගන්න දෙන්න බැහැ. මීළඟට මොකක්ද සිදුවන්නේ. මීළඟටත් අපි අනිවාර්යයෙන්ම පොහොට්ටුව දිනන්න කටයුතු කරනවා. අපි ඕනම දෙයකට සූදානම්. මේ ජයග්‍රහණවලට අපි සූදානම් වෙමු. අපේම ආණ්ඩුවක් පිහිටුවන්න කටයුතු වෙමු. නියම එඩිතර ආණ්ඩුවක් බවට පත් කරන්න කටයුතු කළයුතු වෙනවා.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම් හා පාර්ලිමේන්තු මන්ත්‍රී නීතීඥ සාගර කාරියවසම් මහතා,

මේ රටේ ළමුන් 100 ක් ඉපදුණොත් එයින් 3 ක් කුහකයන් වෙනවා. ඒ සියයට 3 කිසිඳු වැඩක් කරන්නේ නැහැ. ඔවුන් කරන්නේ මේ රට වෙනුවෙන් කටයුතු කරන අයට අවලාද කරමින් ජීවත් වීමයි. මේ සියයට එදත් සිටියා. මහින්ද රාජපක්ෂ මහතා මේ රටේ නායකත්වය ගන්නවා විතරක් නොව මේ රටේ කිසිඳු නායකයෙකුට අවසන් කරන්න නොහැකි වූ යුද්ධය අවසන් කර සාමය ගෙනත් දෙනවා. ඒ විතරක් නොව බි්‍රතාන්‍යයන් මේ රටෙන් යන විට අපිට දුන් රේල්ලු‍ව, ගුවන් තොට ආදිය පළමු වරට සංවර්ධනය කරනවා. නව ගුවන් තොටුපළවල්, වරායන්, මාර්ග ඉදිකරමින් සියලු‍ සංවර්ධනයන් සිදුකරමින් මේ රට වෙනම තලයතට ගෙනයනවා. නමුත් අර සියයට 3 ජනතාව එතුමාටත් බොරු අවලාද චෝදනා නඟනවා. එතුමා ගැන වෙනම පරිච්ඡේද අද ලියවෙනවා. මේ රටේ තවත් වසර 50 ක් 100 ක් යන විට එතුමා ජාතික වීරයන්ගේ ලැයිස්තුවට ඇතුළත් වෙනවා.

වයඹ පළාතේ ප්‍රධාන අධිකරණ සංඝනායක රැකව ජිනරතන නාහිමි, අගමැති දිනේෂ් ගුණවර්ධන මහතා ඇතුළු ඇමැතිවරුන්, රාජ්‍ය ඇමැතිවරුන් සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සමග සහෝදර පක්ෂ නායකයින්, පක්ෂ සාමාජිකයින් ඇතුළු විශාල පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියහ.
එරික් ගාමිණි ජිනප්‍රිය

advertistmentadvertistment
advertistmentadvertistment