බදු පනත හකුළා ගනු රටේම ජන ඝෝෂා

152

‘බදු සංශෝධන පනත වහා හකුළා ගනිව්, ජනතාවට සහන දියව්’ මැයෙන් වෛද්‍ය, තෙල්, ජල, විදුලි, බැංකු සහ වරාය ඇතුළු වෘත්තීය සමිති ගණනාවක් ඊයේ (08 දා) පැවැත්වූ විරෝධතා සහ උද්ඝෝෂණ හේතුවෙන් රට පුරා සේවාවන් රැසක් අකර්මණ්‍යව පැවතිණ.

මෙම විරෝධතා සහ උ්දඝෝෂණ සඳහා අත්‍යවශ්‍ය සේවාවන්හි වෘත්තීයවේදීන් රැසක් එක්ව සිටි අතර වෘත්තීය සංගම් නායකයන් සහ සේවකයන් දහස් ගණනකගේ සහභාගිත්වයෙන් කොළඹ හයිඩ් පිටියේදී ඊයේ (08 දා) සවස විරෝධතා රැලියක් ද පැවැත්විණි.

රජයේ බදු සංශෝධනය අසාධාරණ යැයි කියමින් සහ තවත් කරුණු කිහිපයකට විරෝධය පළ කරමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ඊයේ (08 දා) උදෑසන 8.00 සිට අද (09 දා) උදෑසන අට දක්වා සංකේත වැඩවර්ජනයක නිරත වූ අතර, එය දිවයින පුරා රෝහල්වල ක්‍රියාත්මක කිරීමට එම සංගමය පියවර ගැනීමත් සමග දිවයිනේ රෝහල් රැසක දෛනික ප්‍රතිකාර කටයුතු අඩපණව පැවතිණ.

මේ සඳහා පෞද්ගලික අංශයේ සේවය කරන සියලු වෛද්‍යවරුන්ගේ සහ ආයුර්වේද වෛද්‍යවරුන්, විශේෂඥ වෛද්‍යවරුන් ඇතුළු වෛද්‍ය වෘත්තිකයන්ගේ සහාය ද ලැබී තිබිණ.

කෙසේ වෙතත්, හදිසි ප්‍රතිකාර, ගර්භණී, ළමා රෝග ප්‍රතිකාර, පිළිකා රෝග ප්‍රතිකාර ඇතුළු ප්‍රතිකාර සේවාවන් සාමාන්‍ය පරිදි පවත්වාගෙන යෑමට වෛද්‍යවරුන් සහ වෛද්‍ය වෘත්තීය සමිති පියවර ගෙන තිබිණි.

තෙල්, ජල, විදුලිය. වරාය සහ බැංකු සිය සේවා ස්ථාන ඉදිරිපිටදී විරෝධතා සහ උද්ඝෝෂණවල නිරත වූ අතර අනතුරුව ඔවූහු හයිඩ් පිටියේ පැවැත්වුණු පොදු විරෝධතා රැලිය හා එක්වූහ.

අකුරට වැඩ කිරීමේ ව්‍යාපාරයකින් ආරම්භ කෙරුණු මෙම විරෝධතාවන්ට රජය යහපත් ප්‍රතිචාර නොදක්වන්නේ නම් සියලු වෘත්තිකයන් සමග එක්ව දැවැන්ත වැඩවර්ජනයක් ක්‍රියාත්මක කරන බවට වෘත්තීය සමිති එකමුතුව රජයට අනතුරු අඟවා තිබිණි.

ලංකා බැංකු සේවක සංගමය විසින් ඊයේ (08 දා) රජයේ නව බදු ප්‍රතිපත්තියට එරෙහිව දිස්ත්‍රික්ක 30 ක ප්‍රධාන නගරවල දහවල් 1.00 සිට 2.00 දක්වා පිකටින් ව්‍යාපාරයක් සහ උද්ඝෝෂණ මාලාවක් පැවැත්වූ අතර ඔවුන් පසුගිය 06 වැනිදා සිට හෙට (10 දා) දක්වා සාමාන්‍ය කාර්යාල ඇඳුමින් පරිබාහිරව සැහැල්ලු ඇඳුමින් සේවයට පැමිණ විරෝධය දැක්වීමට පියවර ගන්නා බව ප්‍රකාශ කර තිබිණ.

මේ අතර මේ මස 01 වැනිදා සිට සෞඛ්‍ය සේවා වෘත්තීය සමිතිය ඇරඹූ විරෝධතා ව්‍යාපාරය මේ මස 28 දා දක්වා ක්‍රියාත්මක කිරීමට සිය සංගමය තීරණය කළ බව සමස්ත ලංකා වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් වෛද්‍ය ජයන්ත බණ්ඩාර මහතා ‘දිවයින’ට ඊයේ (08 දා) පැවසීය.

ලංකා විදුලිබල මණ්ඩලයේ 5000කට අධික සේවක පිරිසක් මෙම විරෝධතාවයට සහභාගි වුවත් අත්‍යවශ්‍ය සේවාවන් පවත්වාගෙන යෑමට පියවර ගත් බව, ලංවිම ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානයේ සම කැඳවුම්කරු රන්ජන් ජයලාල් මහතා ප්‍රකාශ කළේය.

මේ අතර වරාය සේවකයෝ ද බදු ප්‍රතිපත්තිය අසාධාරණ බව කියමින් විරෝධය පළකර ඊයේ (08 දා) පෙරවරු 7.00 සිට පස්වරු 1.00 දක්වා අකුරට වැඩ කිරීමේ ව්‍යාපාරයක නිරත වූහ. ඔවූහු දහවල් 12.00 සිට 1.00 දක්වා කෑම පැයෙන් ඉවත් වී කොටුව දුම්රියපළ ඉදිරිපිට විරෝධතාවක නිරත වූහ.

ඛනිජ තෙල් වෘත්තීය සමිති ද රජයේ බදු ප්‍රතිපත්තියට විරෝධය පළ කරමින් වැඩ වර්ජනයට සහාය පළ කර ඊයේ (08 දා) කොටුව දුම්රියපළ ඉදිරිපිටදී විරෝධතා පැවැත්වූහ.
සුජීව තත්සර සහ කමල් බෝගොඩ
ඡායාරූපය – කමල් බෝගොඩ

advertistmentadvertistment
advertistmentadvertistment