රංග පෞරුෂයක වශීකෘත භාව ලීලාව මාලිනී

607

හෙළ සිනමාවේ නිලි රැජන මාලනියගේ ජන්ම දින සැමරුම අප්‍රේල් මස 30 වැනි දිනට යෙදී තිබේ. එය නිමිතිකොට ධම්මික දිසානායක විසින් සංස්කරණය කරන ලද “මාලනී ජීවමාන පුරාවෘතය” ග්‍රන්ථයෙන් මෙම සාරගර්භ ලිපිය උපුටා පළ කරමු.

වීදුරු බරණියක සිරකළ කදෝපැණි රංචුවක ගේ නිවි නිවී දැල්වෙන චලනය සිහිනයක් කොට මවා පෙන්වන විසිතුරු සිහිනවලින් සිනමාව පිරී ඇත්තේය. අපූර්ව මායාව නිර්මාණය කරමින් එය සත්‍යය ලෙසින් ආරක්‍ෂා කර තබාගැනීම අසීරුය.

සමහරවිට අත්‍යන්යෙන්ම දුෂ්කර ය. සිනමා වංස කතාව නිර්මාණය වී ඇත්තේ එම සෞන්දර්යාත්මක ඉන්ද්‍රජාලයක විශ්වාස කළ ස්ත්‍රී පුරුෂයන් අපට කියන කතාවලිනි. ඒ වෙනුවෙන් ඔවුන් විසින් දියකර හරින ලද දහදිය කඳුළැලි පිළිබඳ කතාවලිනි. රුක්මණී දේවි හෝ කාන්ති ගුණතුංග හෝ මිහිබට අප්සරාවන් සේ මැවී පෙනෙන අයුරින් ආලෝක කදම්බ නිර්මාණය කළ අලෝකකරණ ශිල්පීන් ඔවුන් අතර සිටිය හැකිය. ඉතාමත් කාරුණික හදවත් ඇති අහිංසක මිනිසුන් වූ ලැඩී රණසිංහ හෝ මාක් සමරනායක හෝ ඩොමී ජයවර්ධන හෝ නීච දුෂ්ටයින් සේ මැවී පෙනෙන අයුරින් වෙස් ගැන්වූ වේශ නිරූපණ ශිල්පීන් ඔවුන් අතර සිටිය හැකිය. ආලෝකය සහ වේශ නිරූපණය මවන එකී මායාව හසුකර ගැනීමට නිසි කාචය යොදා දළ සේයා පටයේ රූපය සටහන් කළ කැමරා ශිල්පීන් ඔවුන් අතර සිටිය හැකි වේ. මෙම සෞන්දර්යාත්මක මායාව හා යථාර්ථය සහමුලින් ගෙන විමසා බැලුවහොත් එය වීණා කම්බියක් දෙකෙලවරින් බැඳ ඒ මත පිනුම් ගැසීමක් බඳුය. සිනමාවේ ස්වර්ණමය යුගයන්හි කථානායකයින් හා කථානායිකාවන් තම ජීවිත කථා කියන විට දී ඉහත කී සංත්‍රාස මායිම ද පැනගොස් සේයාපටලවල සටහන් කළ සහන් එළි කලාපයට දුෂ්කර ලෙසින් අවතීර්ණ වෙන සැටි පෙනේ. ඒවා අපූරු කතා සරිත් සාගරයකි.

ඒවායේ පිරී ඇත්තේ ඕපාදූප, ඇනුම්පද, අනුමාන කිරීම් සහ වැඩිමනත් ලෙස අමු මුසාවලිනි. ලෝක සිනමා වංස කතාවේ මූලාරම්භයේ පටන් ම එය ආකර්ෂණීය ශක්තියෙන් අනූන වූ සිනමා නිළියන් කේන්ද්‍ර කොටගත් කතාවලින් නිර්මාණය වූවකි.

මුවවිට තෙක් එය පිරී ඇත්තේ අනවරත වෙහෙස මහන්සියෙන් දුක් පීඩාවලින්, කඳුළුවලින් සහ දුක්කම්කටුල්ලෙන් පිරී කැප කිරීම්වලින් ජනකාන්ත නිළියක බවට පත් වූ බවට පත් වූ තැන සිනමා රසිකයින් රඟහල, වෙත ඇද බැඳ තබාගැනීම සඳහා ඔවුන් විසින් ජීවිත කාලය පුරා වළඳනු ලබන්නේ කීර්තිමත් ප්‍රභාරැස් වළල්ල පසුපසින් පියවී දෑසට නො පෙනෙන්නට සඟවාගෙන සිටිනා අතිමහත් දුක්වේදනාවයි. සුන් වී ගිය ප්‍රාර්ථනා සහ අවිවේකී ව අසහනයෙන් නිදිවර්ජිතව ගෙවා දැමූ කාලය මැන බැලීමේ දී සිනමා නළුවකුගේ කතාවට වඩා සිනමා නිළියක ගේ කතාව වේදනාබර එකකි. ඇගේ වශීකෘත බැල්මට මඳහසට භාව ලීලාවට කතා විලාසයට ඇදී වසඟ වූ රසික පිරිස් සිනමාහල්වලට රොක්වන බැව් හොඳින් දැන සිටියේ සිනමාවට අනුන්ගේ මුදල් එකතුකරගන්නට සමත්වන සිනමා ව්‍යාපාරිකයා පමණි. කලා මාධ්‍යයකට වඩා කර්මාන්තයක් ලෙස ගොඩනැඟී ඇති සිනමාවේ සදාචාරය සහ සංස්කෘතිය මුදල් පදනම් කර ගත්තකි. ඒ බැවින් නිළියන්ට හැම දේම දෙන්නට පොරොන්දු වෙන සිනාම ව්‍යාපාරිකයා අවසානයේ දී තමන් කැමැති දේ පමණක් ඔවුන්ට දීමට පුරුදු වූවෙකි.

අපේ කතා නායිකාව වන මාලිනී ෆොන්සේකා සිනමා ක්‍ෂේත්‍රයට අවතීර්ණ වෙද්දී සිනමාවේ එතෙක් පැවැති සිනමා සංස්කෘතිය අර්බුදයකට මුහුණ පාමින් තිබුණේය. චිත්‍රාගාර අධිපතීත්වය බිඳ වැටෙමින් තිබුණේය. ස්ථාපිත සිනමා සමාගම් අතින් සිනමාපට නිෂ්දානය ස්වාධීන ඒකල නිෂ්පාදකයින් අතට මාරුවෙමින් තිබුණේය. සිනමා ව්‍යාපාරිකයා ගේ ඒකාධිපතිත්වයට නතු වී තිබුණු සිනමා රංගන කාර්යය සඳහා නවතම මුහුණු මතුවෙමින් තිබුණේ ය. 1965 රාජ්‍ය නාට්‍ය උත්සවයේ දී ධර්මදාස ජයවීරගේ අකල්වැස්ස නාට්‍යයේ රංගනය උදෙසා මාලිනී ෆොන්සේකා හොඳම නිළිය ට හිමි සම්මානය දිනා ගත්තේ මේ අතරවාරයේදීය. වෘත්තීය පදනමකින් තොර ශ්‍රී ලංකාවේ ආධුනික නාට්‍ය කලාව මෙරට සිනමා කර්මාන්තයට අවශ්‍ය හැකියාවන් පුහුණු කරන විවෘත ශිල්පායතනයක් ලෙස ඒ වනවිටත් ප්‍රකට ව පැවැතුණි. නාට්‍ය රංගනය සඳහා රාජ්‍ය සම්මානය දිනා ගැනීමෙන් පසුවත් මාලිනී දිගට ම නාට්‍ය රංගනයේ යෙදුණා ය. එස්. කරුණාරත්න ගේ එරබඳු මල් පොට්ටු පිපිලා (1966) සුනන්ද මහේන්ද්‍රගේ සයුරෙන් ආ ළඳ (1966) ඒ අතර මතකයේ රැඳුණු රංගන වේ.

1966 නම් වූ වර්ෂය මාලිනී ගේ ජීවිතයටම මං සලකුණක් තැබූ වර්ෂය විය. තිස්ස ලියනසූරිය නම් ප්‍රවීණ අධ්‍යක්‍ෂවරයාගේ නවතම සිනමා නිර්මාණය වූ පුංචි බාබා සඳහා නවතම කතා නායිකාවක් සොයමින් සිටියේ මේ කාලයේ යි. ඒ පිළිබඳ තිස්ස ලියනසූරිය මහතා හෙළිකළ කතාව මෙවැන්නකි.

පුංචි බාබා චිත්‍රපටයේ ප්‍රධාන නිළි චරිතයට අලුත් මුහුණක් ඉදිරිපත් කරන්නට නිෂ්පාදක සුගතදාස මාරසිංහ මහතාගේ ප්‍රධාන නළු චරිතයට තෝරාගෙන සිටි ජෝ අබේවික්‍රම මහතාත්, උනන්දු වුණා. ඔය කාලෙ තමයි මාලිනී අකල් වැස්ස නාට්‍යයේ රඟපාලා සම්මානයක් දිනාගෙන හිටියේ. දවසක් දා මට මතක හැටියට නම්, සුගතදාස මාරසිංහ මහත්මයය, ජෝ අබේවික්‍රම මහත්මයයි, ඇන්ටන් අල්විස් මහත්මයය, අපි ඔක්කොම ගියා අකල් වැස්ස නාට්‍ය බලන්න. නාට්‍යය බැලුවට පස්සෙ අපිට වැටහුණා දක්ෂ නිළියකට ඕනෑ කරන පෞරුෂයක් මාලිනීට තියෙන විත්තිය. ඒක ගැන කිසිම ප්‍රශ්නයක් තිබුණේ නැහැ.

කොයිකටත් මම යෝජනා කළා තිර රූප පරීක්‍ෂණයක් ී Screen test පවත්වමු කියලා. එතැන දී මට පුංචි බාබා තිරනාටකයේ ඉතාමත්ම වැදගත්. ඒ වගේම ම නිළියකට තරමක් අභියෝගාත්මක විය හැකි කොටස තමයි මාලිනී ගේ පරීක්‍ෂණයට යොදා ගත්තේ. වැදගත් ම දෙබස් ඛණ්ඩ වගේම තරමක් අමාරු භාව නිරූපණ ඒ කොටසට ඇතුළත් වුණා. මාලිනී කොයි තරම් ෆොටෝජෙනික්ද කියලා බලන්න කැමරා කෝණ කීපයකින්ම රූගත කිරීම කළා. මාලිනී මේ පරීක්‍ෂණයට ඉතාමත්ම ලිහිල් ආකාරයට මුහුණ දුන්නා. කිසිම චකිතයක් බියක් සැලීමක් පෙන්නුවේ නැහැ. අන්තිමේ ඒ පින්තූර බැලුවා ම මාලිනී හැම අතින්ම සුදුසු යි. තවත් කාරණයක් තමයි පුංචි බාබා චිත්‍රපටයේ මුල සිට අගට ම ජෝයි මාලිනී යි තමයි පෙනී සිටින්නේ. චිත්‍රපටයේ රූපගත කිරීම් කරද්දී ජෝ වගේ ප්‍රවීණ නළුවෙක් සමග මාලිනී කරට කර රඟපෑවා. මං හිතන්නේ ජෝ ගෙන් මාලිනීට හුඟක් සහයෝගය ලැබුණා. ඒ වගේම මාලිනීටත් ඒ සහයෝගය ලබාගන්න දක්ෂකමත් ගුණ යහපත්කමත් තිබුණා. මාලිනී කැමරා බියකින් පෙළුනේ නැහැ. සබකෝලය තිබුණේ ම නැහැ. අනික මාලිනීට හැකියාව තිබුණා අධ්‍යක්‍ෂකට වුවමනා දේ හරිම ඉක්මනින් ග්‍රහණය කරගෙන රංගනයේ දී ඒක නිර්මාණශීලීව ඉදිරිපත් කරන්න. නවක සිනමා නිළියක් හැටියට පුංචි බාබා චිත්‍රපටයෙන් මාලිනීගේ දීප්තිය කාගේත් ඇහට අහුවුණා. චිත්‍රපටයත් අතිශය සාර්ථක එකක් වුණා. සෞරග්‍රහ මණ්ඩලයක් සොයා ගෙන පැමිණි සිනමා තාරකාවක් සිනමා අඹරෙහි පායමින් බබළන්නට පටන්ගත්තේ එතැන් සිටයි. තිස්ස ලියනසූරිය මහතා පවසන අන්දමට මාලිනී බැබළුණේ හුදු දක්ෂකම පමණක් නිසා ම නොවේ. ඇගේ නිහතමානී චාම් ගති පැවතුම් සිනමා කර්මාන්තය වැනි සාමූහික කලා මාධ්‍යයකට අතිශය වැදගත් වූ නිසා යි. ඊර්ෂ්‍යාව තදින් පැතිරෙන ක්‍ෂේත්‍රයක මාලිනීගේ හිත හොඳකම ඈට ආරක්‍ෂාව සැලසුවේ ය.

මාලිනී වැනි නිළියන් ගේ හිඟකම ද දේශීය සිනමාවට අහිතකර ලෙස බලපෑවේ දැයි දැන් සිතේ. අපේ සිනමාවේ දක්ෂ යැයි සම්මත වූ නිළියන් ගෙන් වැඩි දෙනකු ගේ රංග පරාසය අතිශය පටු ය. බොහෝ විට ඔවුන් රඟපෑවේ වර්ග කරනු ලැබූ චරිත යි. ඒ නිසා ම සිනමාවේද ඒකාකාරී ස්වරූපයක් දක්නට විය. හින්දි හෝ දෙමළ හෝ සිනමාව කොපි කිරීමට යෑමෙන් එය තවත් පැත්තකින් කඩතොලු විය. දේශීය ප්‍රාසාංගික කලාවේ දුබලතාවය නිසා සිනමාවෙන් මානසික ප්‍රබෝධය අපේක්‍ෂා කළ රසිකයින්ට කිසිවක් නො ලැබුණේය. සංගීතය, නර්තනය, සිනමාවට එතරම් වැදගත් නැතැයි යන මිථ්‍යාව ද හුදු තාත්වික සිනමාවක් ගැන පමණක් සංවාද කළ පිරිස් විසින් පතුරුවා හරින ලදී. ඒ නිසා සංගීතය, නර්තනය පිළිබඳ කිසිදු හැකියාවක් සිනමා නළු නිළියන්ගෙන් අපේක්‍ෂා නො කරන ලදී. ගී ගයමින් නටමින් කරන රංගනය එතරම් සැලකිය යුතු රංගනයක් නොවේ ය යන වැරදි ආකල්පය මේ සිනමා සංස්කෘතිය තුළ මුල් බැස ගත්තේය. සංගීතයේ සහ නර්තනයේ සුසංයෝගයෙන් බිහි වූ ප්‍රාසාංගික කලාවක් නොවීමේ ජාතික දුබලතාව නිසා දේශීය සිනමාව වැඩි වැඩියෙන් සංවාද හා භාවෝද්දීපනය මත යැපෙන තාත්වික සිනමාව දෙසට නැඹුරුවක් විය. ඒවා පමණක්ම සම්භාව්‍ය චිත්‍රපට ලෙස ද ලේබල් ගසන ලදී. මේ හේතුව නිසා ම සිනමාව තුළ විවිධත්වය ප්‍රදර්ශනය නොවීය. ඒකාකාරී වට්ටෝරු කතාන්දර පමණක් සිනමා තිරය මතුපිට දිග හැරුණේය. ඒ නිසා මාලිනී වැනි දක්ෂතා ඇති නිළියන් තව තවත් බිහිවීම සිනමාව අපේක්‍ෂා නො කළේය. සිනමාවේ පටු සීමාව ඉක්මවා සිටි මාලිනී ගේ හැකියාව නිර්මාණශීලීව ප්‍රකට කළ සංගීතාත්මක චිත්‍රපට වෙනුවට බිහිවුණේ හින්දි අනුකාරකයන් වේ. හින්දි හා දෙමළ සංගීතාත්මක චිත්‍රපට අසලකටවත් යන්නට දේශීය සිනමාවට හැකියාවක් නැතැයි යන හීනමානය නිසාම එය තව තවත් පටු සීමාවකට කොටුවෙමින් තිබෙන සැටි අපි දකින්නෙමු.

ආදායම් වාර්තා පිහිටුවන චිත්‍රපටවල රඟපෑමට සමත් නිළියක වූ මාලිනී නිසා බොහෝ නළුවන් ද ජනප්‍රියත්වයට පත්වනු පෙනුණි. මාලිනීගේ ජනප්‍රියත්වය නිසා ඇගේ නමට ඉදිරියෙන් සිනමා නළුවන්ගේ නම් ඇඳුණි. (පුරුෂාධිපත්‍යයට හුරු සමාජයක් නොවී නම් මාලිනී ගේ නම නොවැරැදීම ඉදිරියට එන්නට ඉඩ තිබුණි.) ගාමිණි – මාලනී, විජය – මාලනි, සනත් – මාලිනී, ලකී – මාලිනී යනුවෙන් ඒවා ප්‍රචාරයට පත් විය.

රංග පෞරුෂයක වශීකෘත භාව ලීලාව මාලිනී
නිධානය : ගාමිණි – මාලනී

ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස්ගේ නිධානය (1972) මාලිනී ගේ සිනමා චාරිකාවේ වැදගත් මං සලකුණකි. රුදුරු ඉරණමක් තම හිස මත ලබාදෙමින් තිබෙන බව නො දැන විවාහ ජීවිතයට ආසා කරන සාම්ප්‍රදායික අහිංසක යුවතිය වූ අයිරින් ගේ භූමිකාවට ජීවය දෙමින් මාලිනී කළ රංගනය විචාරක අවධානයට ලක්විය. අද්භූත කල්පිත පරිසරයක් තුළ ගොඩනැඟෙන වෘත්තාන්තයක් වූ නිධානයේ දී තාත්විකත්වයේ සීමාව නො ඉක්වමින් මාලිනී කළ රංගනය මනෝ කායික සමබරතාවයෙන් පරිපූර්ණ විශිෂ්ට රංගනයකි.

සිනමා රංගනයට පිවිස වසර දහයක් සපිරෙද්දී මාලිනී ජාත්‍යන්තර සම්මානයට ද පාත්‍රවූවා ය. ධර්මසේන පතිරාජ මහතා අධ්‍යක්‍ෂණය කළ එයා දැන් ලොකු ළමයෙක් (1977) චිත්‍රපටයේ සුසිලාවතී ගේ භූමිකාව රඟපෑ ම වෙනුවෙන් මොස්කව් සිනමා උළෙලේ දී ආසියානු කලාපයේ හොඳම රංගනය වෙනුවෙන් මාලිනීට ඩිප්ලෝමාවක් පිරිනමන ලදී. භාවතිගයික සිනමා රංගනයෙන් බැහැරවීමකි. එය බලහත්කාරකමින් තොරව තෙරපෙන හැඟීම් ධාරාවක් මුදාහරින මාලිනී සුසිලාවතී ගේ භූමිකාව ජීවමාන ප්‍රමාණයෙන් ඔබ්බට ගෙන නොයයි. එය සැබැවින් ම නිර්මාණාත්මක රංගනයකි.

විවිධ භූමිකා රංගනයෙහි ලා මාලිනී සිය නිපුණත්වය හෙළි කළ තවත් භූමිකාවක් මෙහි දී සිහිපත් වේ. අමරනාත් ජයතිලක මහතා අධ්‍යක්‍ෂණය කළ සිරිපාල සහ රන්මැණිකා (1977) පුවත්පත්වල පිටු අතරේ විවිධ අරුත් නංවමින් නිර්මාණය කළ සැටි අපූරු ය. හයවැනි අන්තර්ජාතික දිල්ලි සිනමා උළලේ අභීනීර්ණ කමිටුව විසින් එම භූමිකාව රඟපෑම වෙනුවෙන් ඇයට කුසලතා සහතිකයක්ද පිරිනමන ලදී.

1978 දී තිරගත වූ ධර්මසේන පතිරාජ මහතා ගේ බඹරු ඇවිත් චිත්‍රපටයේ මාලිනී රඟපෑ හෙලන්ගේ භූමිකාව ද මගේ මනසේ නිරන්තරයෙන් හොල්මන් කරන අසාමාන්‍ය රංගනයකි. කර්කෂ වැල්ලේ උපන් බිංතඹුරු මලක් මෙන් පයට පෑගී පොඩි වී ගිය යුවතියක ලෙස එකී කටුක යථාර්ථය මුහුදු රළට කරබාගෙන සිටින මුහුදු වෙරළ තරමින් වත් නො සැලී විඳගන්නා ආකාරය මාලිනී භාවෝද්දීපනය කළේ ඇගේ රංග ප්‍රතිභාව ප්‍රකට කරමිනි.

1981 දී තිරගත වූ ධර්මසේන පතිරාජ මහතාගේ සොල්දාදු උන්නැහේ චිත්‍රපටයේ මාලිනී රඟපෑ පේමක්කා ගේ භූමිකාව ද අනුස්මරණීය රංගනයකි. විවිධ සමාජ පරිසරයන් පාදක කරගත් භූමිකාවන් නිරූපණය කිරීමේ දී එම පරිසරයේ මතුපිට තලයේ දෘශ්‍ය සෞන්දර්ය පමණක් නොව එම පරිසරය විසින් චරිතයට දායාද කළ ආධ්‍යාත්මික ගැඹුර ද සෞන්දර්ය ද එකවර ග්‍රහණය කර ගනිමින් එය ජීවමාන ප්‍රමාණයේ චරිතයක් ලෙස නිර්මාණය කළ බවට පේමක්කා ගේ භූමිකාව නිදසුනකි.

මගේ මතකයේ මාලිනී ගේ සෙවණැල්ල මෙන් සිටී ඇගේ මව ගේ සිනාව ද රැඳී තිබේ. මාලිනී ගේ රැකවරණයට ඇගේ මව නිරන්තරව ඈ සමග සිටියා ය. මාතෘමූලික මාලිනී ගේ පවුලේ සියලු දෙනා ද ඇගේ සිනමා ජීවිතය සමග බද්ධ වී තිබුණි. සිනමාව තරමට ම ඔවුන්ද රැකබලා ගැනීමට මාලිනී අපමණ වෙහෙස ගත්තා ය. ඒ වෙනුවෙන් කළ කැප කිරීම් අප්‍රමාණ ය. බඳු ගුණගරුක ජීවිතයක් පුහුණු කළ නිසාම අද සිනමා ක්‍ෂේත්‍රයේ කාගේත් ආදරයට ලක්වන්නීය. ඇගේ දීර්ඝ සිනමා චාරිකාවේ රහස ද එය යි. මවුපිය සහෝදරාදීන්ට සෙනෙහස දක්වන්නට හුරුකම් ලැබුවෝ සෙසු ලෝකයට ද සෙනෙහස දයාව දක්වති. මාලිනී සෙනෙහෙලතාවක් වන්නේ ද එනිසා වෙනි.

ප්‍රාසාංගික නිර්මාණකරණයේ නියැළෙන්න වුන්ට එරෙහි රුදුරුම ප්‍රහාරය එල්ල වෙන්නේ ලෝකයාගෙන් නොව, කාලයා ගෙනි. එහෙත් මාලිනී කාලය ඉදිරියේ ද නොසැලී සිටින සැටි අපි දකින්නෙමු. දශක අටක් පිරෙන සිනමාවේ හතළිස් වසරක් පුරා මාලිනීගෙන් රිදී තිරය ආලෝකවත් වී ඇත්තේය. දේශීය සිනමාවට 56 වසරක් පිරුණු 2003 ජනවාරි 21 දා ජෝන් ද සිල්වා රඟහලේ දී මාලිනී පැවසූ වදනකින් ම මම ලිපිය අවසන් කරන්නෙමි. මාලිනී මෙසේ පැවසුවා ය.

මිනිසුන් ද පරිසරය ද වෙනස් කරමින් ලෝකය වෙනස් වෙනවා. තාක්ෂණික වෙනස්කම් ඇති වේවි. සිනමා දෘෂ්ටියේ වෙනස්කම් ඇති වේවි. ඒ හැම වෙනස්කමක් මැද්දේ ම සිනමාව හැමදාමත් පවතිනවා. ඒ මොකද සිනමාවෙන් ලබාදෙන වින්දනය වෙනත් මොන ම කලා මාධ්‍යයකින්වත් ලබා දෙන්නට බැරි නිසා. ඒ වින්දනය අනික් සියලුම කලා මාධ්‍යයන්ගෙන් ලැබෙන වින්දනයට වඩා සුවිශේෂ නිසා.

සිනමා මාධ්‍යයට මාලිනීගේ අධ්‍යාත්මය තුළ ඇති කැපවීමත් ඒ පිළිබඳව ඇය තුළ ඇති අවබෝධයත් මෙම වැකි කිහිපයෙන්ම තහවුරු වෙයි. සිනමාවට අවශ්‍ය මෙවැනි නළු නිළියන්ය. සිනමා මාධ්‍යය බැබැළවීමට පෙරමුණ ගනු ඇත්තේ ඔවුන් එකමුතු කර ගැනීමට මාලිනීට සුබ පතමු.

සුඛී දීඝායුකො භව, මාලිනී…..

● ලූෂන් බුලත්සිංහල

advertistmentadvertistment
advertistmentadvertistment