සාදවලට පවා මුදල් ගෙවා ඇත්තේ රටේ බදු ගෙවන ජනතාවයි – විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස

104

බංකොලොත් වූ රටෙන් පාලකයෝ තවමත් පාඩම් ඉගෙන නැහැ

අපේ රටේ ජීවත්වන ලක්‍ෂ 220ක් වූ ජනතාවට අත්වූ ඉරණම ගැන කනගාටු වන බවත් රටේ ඇත්තේ ශෝචනීය ඛේදනීය තත්ත්වයක් බවත් පොදු ජනතාව අමතක කර සුපිරි පොහොසතුන් රජ කරවන අයවැයක් හරහා ජන සමාජයේ කිසිදු පාර්ශ්වයකට යහපතක් ඉටුනොවන බවත් මෙය ඉතාම පහත් අයවැයක් ලෙස හැඳින්විය හැකි බවත් විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

IMF එකේ තව වාරික 8ක් ලැබිය යුතු බවත් එම නිසා දෙවැනි වාරිකය ලැබුණු එක උත්සවශ්‍රීයෙන් සැමරීම නොකළ යුතු බවත් විපක්‍ෂ නායකවරයා මෙහිදී අවධාරණය කළේය. එසේම දූෂණයට විරුද්ධ දූෂණය වැළැක්වීම වෙනුවෙන් පෙනී සිටින යහපත් රාජ්‍ය පාලනයක් උදෙසා සූදානම් ඕනෑම පුද්ගලයකුට සමගි ජනබලවේගයේ දොරටු විවෘත බවත් රොෂාන් රණසිංහ මහතා දැරූ සියලු ඇමැතිකම් වරදාන වරප්‍රසාද අමතක කර ප්‍රතිපත්තිගරුක තීන්දුවකට ප්‍රවේශවීම ජරාජීරණ වූ දේශාලන සංස්කෘතියට තිත තියන නව ප්‍රවේශයක් ලෙස හැඳින්විය හැකි බවත් විපක්‍ෂ නායකවරයා අවධාරණය කළේය.

රට බංකොලොත් වූ ආකාරයත් එය සිදුකළ පුද්ගලයන් සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවෙන් අනාවරණය වූවත් බංකොලොත් වූ රටෙන් පාලකයෝ පාඩම් ඉගෙන ගෙන නැති බවත් ඔවුන් වැට් බදු සියයට 18 දක්වා වැඩි කිරීම නිසා බිත්තර, ලූනු මිල අධික ලෙස වැඩිවී ඇති බවත් එසේ බදු වැඩිකර එය සතුටක් ලෙස දැක මහජන මන්ත්‍රීවරු ඔල්වරසන් නඟා රාත්‍රියේ මන්දිරවල සාද පවා පවත්වා එම සතුට සැමරූ බවත් විපක්‍ෂ නායකවරයා පැවසීය.

මේ සාදවලට පවා මුදල් ගෙවා ඇත්තේ රටේ බදු ගෙවන ජනතාව බවත් මෙය ඛේදවාදකයක් බවට පත්වී ඇති බවත් රටේ එවැනි ඛේදවාචකයක් සිදුව ඇති මොහොතක ඔවුන් නත්තලට සහ අලුත් අවුරුද්දට සුබපතා ගන්නා බවත් විපක්‍ෂ නායකවරයා පැවසීය.

‘විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියාසිටියේ සක්වල 54වැනි වැඩසටහන යටතේ සපුගස්කන්ද මහා විද්‍යාලයට රුපියල් ලක්‍ෂ 10ක් වටිනා සුහුරු පන්ති කාමර උපකරණ ලබාදීමේ අවස්ථාවට එක් වෙමිනි.

රජය කොපමණ දේවල් කීවත් සක්වල, හුස්ම වැඩසටහන් හරහා අධ්‍යාපන සහ සෞඛ්‍ය ක්‍ෂේත්‍රය ගොඩනඟන්න විපක්‍ෂයේ කාර්ය අදත් හෙටත් ඉටුකරන බවත් ජනතාවගේ ආශීර්වාදයෙන් රාජ්‍ය බලය ලැබුණු විගස මැති ඇමැතිවරු අධි සුඛෝපභෝගී ජීවිත ගත කිරීම, ජනතා බදු මුදලින් රට සවාරි ගිය කාලය අවසන් කරන බවත් පරිණත ජනතා සේවාවක් වෙනුවෙන් පොදුජන යුගයක් නිර්මාණය කරන බවත් විපක්‍ෂ නායකවරයා අවධාරණය කළේය.

වර්තමානයේ ක්‍රිකට් ක්‍රීඩාවට අතිශය ඛේදනීය ශෝචනීය තත්ත්වයක් උදාවී ඇති බවත් කිසිම පක්‍ෂ, ජාති, ආගම්, වර්ණ හා කුල භේදයකින් තොරව ලක්‍ෂ 220ම එයට ආදරය කළත් රජයේ ප්‍රතිපත්තිය වී ඇත්තේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ වංචා දූෂණ ක්‍රියාවන් සිදුකරන කණ්ඩායම් රකින්න බවත් එම වංචා දූෂණ සම්බන්ධව කුසලා සරෝජනී වාර්තාව සහ විගණකාධිපති වාර්තාව තුළ අන්තර්ගත බවත් විපක්‍ෂ නායකවරයා අවධාරණය කළේය.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වෙනුවට අන්තර්වාර කමිටුවක් හිටපු ක්‍රීඩා ඇමැතිවරයා පත් කළත් නව ඇමැතිවරයා එය අහෝසි කළ බවත් එයට හේතුව ලෙස පවසා සිටියේ අතුරු කමිටුව ඉවත්කර ක්‍රිකට් සඳහා ලැබුණු තහංචි ඉවත්කර ගැනීම වුවත් එය වැරදි ප්‍රකාශයක් බවත් මෙවර ලෝක කුසලාන තරගාවලි දිනවල දකුණු අප්‍රිකාවේ සහ පකිස්තානයේ අන්තර්වාර කමිටු තිබූ බවත් අප රටේ ක්‍රිකට් තහනම් කරන්න කටයුතු සිදු කළේ අපේ රටේම ක්‍රිකට් පරිපාලනය බවත් විපක්‍ෂ නායකවරයා පැවසීය.

ශ්‍රී ලංකා ක්‍රිකට් යනු ඩොලර් ඉල්ලුමක් බැවින් ඇතැම් ගිජුලිහිණියන් වැනි කණ්ඩායම් විසින් එම ක්‍රීඩාව නිසා රටට ලැබෙන ඩොලර් ටික පිට්පොකට් ගහන්න සූදානමක් පවතින බවත් මේ රටේ ක්‍රිකට් මෙන්ම සෑම ක්‍රීඩාවකින්ම දේශපාලනය ඉවත් කළ යුතු බවත් දේශපාලනය ගෑවුණු කිසිදු කෙනෙකුට එවැනි තනතුරු ලබා නොදිය යුතු බවත් විපක්‍ෂ නායකවරයා තවදුරටත් පැවසීය. මේ අකටයුතුකම් වලට එරෙහිව දැවැන්ත සටනක නිරත වී සියලු ඇමතිකම් අහිමිකර ගත් පුද්ගලයකු ලෙස හිටපු ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා හැඳින්විය හැකි බවත් ඔහු තමා දැරූ සියලු තනතුරු අතහැර පිරිසිදු ක්‍රිකට් ක්‍රීඩාවක් වෙනුවෙන් කැපවූ බවත් ඒ සඳහා තමා ද උපරිම සහාය ලබාදුන් බවත් විපක්‍ෂ නායකවරයා පැවසීය. පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා, සමගි ජනබලවේගයේ බියගම ප්‍රධාන සංවිධායක යූ. ජෝර්ජ් පෙරේරා, සම සංවිධායිකා හිටපු පළාත් සභා මන්ත්‍රිනී නිරෝෂා අතුකෝරළ, මහර සජබ සංවිධායක හසිත් ගුණසේකර ඇතුළු මහත්ම මහත්මීහු පිරිසක් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

advertistmentadvertistment
advertistmentadvertistment