ජාතික ලැයිස්තුවට වැටුණත් අපේ ප්‍රතිපත්තිය තිත්ත ඇත්ත ජනතාවට ප්‍රකාශ කිරීමයි

354

එජාපයේ මැයි දින රැළියට සූම් තාක්ෂණය ඔස්සේ එක් වෙමින්
– එජාප නායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ කියයි

ආර්ථික ප්‍රශ්න පැන නගින බවට ඇත්ත කිව්වා
එජාපය කිසි දිනක වැඩ කරන ජනතාව උද්ඝෝෂණවලට හිර කළේ නැහැ – රුවන් විජයවර්ධන
තෙල් මිලත් අඩු වුණා තව ටික දවසකින් ගෑස් මිල තව අඩු වෙනවා – සාගල රත්නායක
ජනාධිපති නිසා මැයි රැළිවලට ජනතාවට එන්න පුළුවන් වුණා – වජිර අබේවර්ධන
ජනාධිපති රටේ තිබූ ඍණ ආර්ථිකය ධන අගයක් කළා පාලිත රංගෙ බණ්ඩාර

ජාතික ලැයිස්තුවට වැටුණත් අපේ ප්‍රතිපත්තිය තිත්ත ඇත්ත ජනතාවට ප්‍රකාශ කිරීමයි

2020 මැතිවරණයේදී ආර්ථික ප්‍රශ්න පැන නගින බවට ඇත්ත කිව්ව නිසා එක්සත් ජාතික පක්ෂය ජාතික ලැයිස්තුවට වැටුණත් අපේ ප්‍රතිපත්තිය තිත්ත ඇත්ත ජනතාවට ප්‍රකාශ කිරීම බව එක්සත් ජාතික පක්ෂ නායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවැසීය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කළේ ඊයේ (01දා) පෙරවරුවේ කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේ පැවැති එක්සත් ජාතික පක්ෂ මැයි දින සැමරුම් උළෙල සඳහා සූම් තාක්ෂණය ඔස්සේ පැමිණ සිටි පිරිස අමතමිනි. ‘2048 ජයගමු’ තේමාව යටතේ මෙම සැමරුම් උළෙල සංවිධානය කර තිබිණි.

ජාතික ලැයිස්තුවට වැටුණත් අපේ ප්‍රතිපත්තිය තිත්ත ඇත්ත ජනතාවට ප්‍රකාශ කිරීමයි

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා

මම ජනාධිපති ධූරය භාර ගත්තේ පසුගිය දශක 03ම සිදු නොවූ අයුරින් උග්‍ර ආර්ථික කඩාවැටීමකට රට ලක්ව තිබූ අවස්ථාවක. රටේ ආර්ථිකය සම්පූර්ණයෙන් කඩාවැටී තිබූ අතර ආහාර හා ඉන්ධන හිඟයක් තිබුණා වගේම ජනතාව පාරට බැහැලා තිබුණා. මෙම තත්ත්වය ප්‍රයෝජනයට ගෙන මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමයත්, පාර්ලිමේන්තුවත් විනාශ කිරීමට ඇතැමුන් උත්සාහ ගත්තා.

අද රටේ ආර්ථිකයේ යළි ස්ථාවරභාවයක් ඇති කර තිබෙනවා. ආහාර හිඟයක් නැහැ. ඒ වගේම රට තුළ ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමය ක්‍රියාත්මක වෙනවා. තර්ජනයකින් තොරව පාර්ලිමේන්තුව ක්‍රියාත්මක වෙනවා. සියලු‍දෙනාටම කිසිඳු බාධාවක් නොමැතිව තම වැඩකටයුතු කරගෙන යාමට අවස්ථාව ලැබී තිබෙනවා.

මම ජනාධිපති ධුරයේ වගකීම භාරගැනීමට පෙර එක කාරණයක් පිළිබඳ සිතුවා. එක්සත් ජාතික පක්ෂය රට ගැන සිතන පක්ෂයක්. එක්සත් ජාතික පක්ෂය ප්‍රතිපත්ති දේශපාලනයේ සිටින පක්ෂයක්. අපි එයින් ඈත් වී නැහැ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට යාමට අවශ්‍යයි, ලෝක බැංකුවේ ආධාර අවශ්‍යයි, අපට ඩොලර් බිලියන 07ක් ලබා ගැනීමට අවශ්‍යයි කියා එක්සත් ජාතික පක්ෂයේ 2020 මැතිවරණ ප්‍රකාශයේ අප එදා සඳහන් කළා. අපි විතරයි පක්ෂයක් ලෙස එම කරුණු සඳහන් කළේ. අනෙක් සියලු‍දෙනාම ආර්ථික ප්‍රශ්නයක් තිබෙනවා කියලා දැන, දැනත් ඉටු කළ නොහැකි විවිධ පොරොන්දු ලබා දුන්නා. එහි ප්‍රතිඵලය කුමක්ද, ඇත්ත කිව්ව එක්සත් ජාතික පක්ෂය අවසානයේ ජාතික ලැයිස්තුවකට වැටුණා. අපේ ප්‍රතිපත්තිය තිත්ත ඇත්ත ජනතාවට ප්‍රකාශ කිරීමයි. 2022 මේ ප්‍රශ්නය උග්‍රවන අවස්ථාවේ මම එවකට සිටි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මුණ ගැසී ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය ලබා ගන්නා ලෙස උපදෙස් දුන්නා. මගේ උත්සාහය වූයේ දේශපාලනය නොවේ රටේ ආර්ථිකය නිසි ලෙස හසුරුවාගෙන ජනතාවට සහනයක් ලබාදීමයි. ඒ නිසා රටේ ආර්ථිකය යළි ගොඩනැගීමට මට ශක්තියක් තිබෙන බවත්, ඒ වගේම මට සහයෝගය ලබා දෙන ඇමැතිවරු සමග වැඩ කර එම ප්‍රතිඵල ලබා ගතහැකි බවත් මම විශ්වාස කළ නිසා ජනාධිපති ධූරයේ වගකීම මම භාරගත්තා. එම විශ්වාසය තැබීමට තිබූ ප්‍රධාන හේතුව වන්නේ 2001 ආණ්ඩුව කඩා වැටුණු අවස්ථාවේ යළිත් එම ආර්ථිකය නඟා සිටුවීමට මට හැකි වුණා. ඒ වගේම රටේ ආර්ථිකය ශක්තිමත් කළා. 2015 රටේ ආර්ථිකය කඩා වැටුණු අවස්ථාවේදී ආර්ථිකය ශක්තිමත් කර ප්‍රාථමික අයවැය අතිරික්තයකුත් ලබා ගැනීමට අවස්ථාව ලැබුණා.

දැන් පාර්ලිමේන්තුව ක්‍රියාත්මක වෙනවා. ප්‍රජාතන්ත්‍රවාදය සහ නීතිය අනුව වැඩ කරන විශාල පිරිසක් සිටිනවා. ඒ නිසා පළමුව මට මේ සඳහා උපකාර කළ ඇමැතිවරුන්ටත්, මන්ත්‍රීවරුන්ටත්, දේශපාලන පක්ෂ සහ සංවිධානවලට වගේම විශේෂයෙන් එක්සත් ජාතික පක්ෂයට මගේ ස්තුතිය පිරිනමනවා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ එළැඹුණු ගිවිසුම නිසා තමයි අපිට ඉදිරියට යාමට අවස්ථාව ලැබුණේ. ඒවගේම පසුගිය සිකුරාදා මෙම ගිවිසුම පාර්ලිමේන්තුවේ බහුතරයක් විසින් අනුමත කරනු ලැබුවා. දැන් අපට තිබෙන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ගිවිසුම ක්‍රියාත්මක කිරීමටයි. ඒ සඳහා අවශ්‍ය නීති රීති ගෙනවිත් 2024 වන විට රටේ ආර්ථිකය සාමාන්‍ය තත්ත්වයකට ගෙන ඒමට අපි අපේක්ෂා කරනවා. නමුත් මම එයින් සෑහීමකට පත් වන්නේ නැහැ.

2048 නිදහසින් සියවස සමරද්දි අපි දියුණු ආර්ථිකයක් ඇති රටක් බවට පත්විය යුතුයි. එම ඉලක්කය 2047දී ඉන්දියාවට තිබෙනවා. චීනය 2049 එම ඉලක්ක සපුරා ගැනීමට වැඩ කරනවා. 2048 ශ්‍රි ලංකාව දියුණුවේ වසර බවට පත්කර ගතු යුතුයි. අපි මේ ආර්ථිකය ගොඩනඟා දෙන්නේ අද සිටින තරුණ පරපුර සහ දරුවන් වෙනුවෙන්. එම අලු‍ත් ආර්ථිකය ඉතා තරගකාරී ආර්ථිකයක් විය යුතුයි. සමාජ සාධාරණත්වය පදනම් කරගත් විවෘත ආර්ථිකයක් විය යුතුයි. විශේෂයෙන්ම අපනයන වෙළෙඳපොළ ඉලක්ක කරගත් තරගකාරී ආර්ථිකයක් මෙන්ම හරිත හා ඩිජිටල් ආර්ථිකයක් විය යුතුයි.

කෙටි කාලීන දේශපාලනය ගැන සිතන්න එපා. අද හෙට ගැන නොවෙයි 2048 ගැන සිතන්න. රට දියුණු කළ යුතුයි. අපි අද හෙට ගැන සිතා බොරු පොරොන්දු දී රට මේ තත්ත්වයට ගෙනාවා, පාරිලිමේන්තුවට ජනතාවගේ සහාය නැවත ලබාගැනීමට නම් මේ අලු‍ත් මාවතේ යා යුතුයි.

එජාප නියෝජ්‍ය නායක හා දේශගුණ විපර්යාස පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක රුවන් විජයවර්ධන මහතා –

වැඩකරන ජනතාව පීඩිත පන්තිය බවට පත්කර උද්ඝෝෂණ අරගලවලට පමණක් හිර කරන්නට ඇතැම් පක්ෂ කටයුතු කළා. එලෙස පීඩිත පන්තියක් ඇතිකරගත්තේ තමන්ගේ දේශපාලන ගමන යාම සඳහායි. එක්සත් ජාතික පක්ෂය කිසිදිනක වැඩකරන ජනතාව උද්ඝෝෂණවලට හිර කළේ නැහැ. ජනතාවට වරප්‍රසාද ලබා දී හොඳ ජීවිත ගත කරන්නට හැකි තැනකට ගෙන ඒමට අප කටයුතු කළා.ඉතිහාසයේ ඇතැම් අවස්ථාවල ජනතාවට සන්තෝසම් දීලා කෙටිකාලීන ප්‍රතිපත්ති මත ආණ්ඩු කළා. රට දියුණු කරන්න නම් කෙටිකාලීන තීන්දු ගන්න බැහැ. දිගුකාලීන සංවර්ධන සැලසුම් සහ ප්‍රතිපත්ති සමඟ රට ඉදිරියට ගෙන යා යුතුයි.

එජාප ජාතික සංවිධායක හා ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක මහතා –

ගෑස්, තෙල් පෝලිම් නැති කිරීමට රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා පියවර ගත්තා. විදේශීය සබඳතා නිසිලෙස කළමනාකරණය කරන්න එතුමා කටයුතු කළා. රටේ ආර්ථිකය ස්ථායීකරණය කරන්න පියවර ගත්තා. ආර්ථිකය නැවත සකස් කරන්න පියවර ගත්තා. යල කන්නයට අවශ්‍ය පොහොර ලබා දුන්නා. මහ කන්නය වන විට නැවත පොහොර ලබාදුන් නිසා හොඳ අස්වැන්නක් ලැබුණා. ජනාධිපතිතුමා රට භාර ගත්තේ උද්ධමනය සියයට 70ක්ව පැවති රටක්. ගිය මාසයේ අග වන විට උද්ධමනය සියයට 50කට ගෙන ආවා. මේ වසරේ අග වන විට උද්ධමන අගය තනි ඉලක්කමකට ගැනීමට උත්සාහ කරනවා. බිංදුවට වැටී තිබූ විදෙස් සංචිතය දැන් ඇමරිකානු ඩොලර් මිලියන 1.3 ක් දක්වා වැඩි වුණා. භාණ්ඩ මිලත් අඩු වෙමින් පවතිනවා. තෙල් මිල තවත් අඩු වුණා. තව ටික දවසකින් ගෑස් මිලත් තව අඩු වෙනවා.

එජප සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා –

බංකොලොත් වූ රට ගොඩගන්න පුළුවන් නායකයෙක් ආරක්ෂා වෙලා හිටියා. ඒ රනිල් වික්‍රමසිංහ මහතායි. ඒ නායකයා නිසා තමයි අද මේ කොළඹ වටේ තිබෙන සෑම මැයි රැළියකටම මහජනතාව පැමිණ තිබෙන්නේ. එතුමා ජනාධිපති ධූරයට පත්වීමෙන් පසු ඩීසල්, පෙට්‍රල්, පොහොර නොඅඩුව ලබා දුන්නා. ජාති ආගම් බේදයකින් තොරව රනිල් වික්‍රමසිංහ නමැති ජාතික නායකයාට සහයෝගය ලබා දිය යුතුයි. ශ්‍රී ලංකාව ලෝකයේත්, ආසියාවේත් ඉහළටම ඔසවා තැබිය හැකි එකම නායකයා රනිල් වික්‍රමසිංහ මහතා පමණයි. මුළු පාර්ලිමේන්තුවම ආණ්ඩුවක් කරන්න එතුමා උත්සාහ කරනවා.

එජාප මහ ලේකම් පාලිත රංගේ බණ්ඩාර මහතා –

2001 වසරේදී මේ රටේ ආර්ථිකය සම්පූර්ණයෙන්ම කඩාවැටිලයි තිබුණේ. රනිල් වික්‍රමසිංහ මහතා අගමැතිවරයා විදිහට එදා කඩාවැටුණු රට භාර ගත්තා. එදා රටේ ආර්ථිකය සෘණ අගයක් ගත්තා. නමුත් එතුමා මාස තුනක් යන්නට පෙර රටේ ආර්ථිකය ධන අගයක් බවට පරිවර්තනය කළා. 2015දීත් රට නිවැරදි ලෙස කළමනාකරණය කරමින් රට ඉදිරියට ගෙන යෑමට අගමැතිවරයා විදිහට එතුමා සමත් වුණා. 2022දීත් ජනාධිපතිවරයා විදිහට එතුමා බංකොලොත් වූ රටේ ආර්ථිකයක නිසි මාවතකට ගෙන එමින් රට ඉදිරියට ගෙන යෑමේ අභියෝගය භාරගෙන තිබෙනවා.

එජාප උප නායක අකිල විරාජ් කාරියවසම් මහතා –

අද වෙද්දි විපක්ෂයට මහා ඛේදවාචකයක් අත්ව තිබෙනවා. විපක්ෂයට පංච මහා ශෝකයක් ඇති වෙලා. මොකක්ද මේ ශෝකය. පෝලිම් නැති වීමේ ශෝකය, විදුලිය නොකැපිමේ ශෝකය, පෙට්‍රල් සහ ගෑස් මිල අඩු වීමේ ශෝකය, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය සහනය ලැබීමේ ශෝකය. විපක්ෂය දේශපාලනය කළේ මේවා තුළින් තමයි.

හිටපු අමාත්‍ය රවී කරුණානායක මහතා – අපි ඉන්නේ අයිතිවාසිකම් වෙනුවෙන් පමණක් සටන් කරන යුගයක නෙවෙයි. රටේ නව යුගයක් වෙනුවෙන් අපි සටන් කරන්නට අවශ්‍යයි. ආයෝජකයින්ට තම ව්‍යාපාර සාර්ථකව පවත්වාගෙන යාමට හැකි පරිසරයක් අප රට තුළ නිර්මාණය කළ යුතුයි. වැඩකරන ජනතාවටප්‍රතිලාභ ලැබෙන, සියලු‍ දෙනාට ජීවත්විය හැකි සාමකාමී පරිසරයක් රට තුළ තිබිය යුතුයි.

සංචාරක හා ඉඩම් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා –

එදා අභියෝග භාර නොගත් නායකයන් අද පෙළපාලි ගිහිල්ලා වැඩක් නැහැ. ඒක තේරුම් යන්න සමගි ජන බලවේගයට ගොඩක් කල් යයි. තේරුම් ගත්ත පිරිස තමයි අද මෙතැන ඉන්නේ. ජනාධිපතිතුමා මට භාර දුන්නේ විශාල අභියෝගයක්. ලබන වසර වන විට සංචාරයකයන් පැමිණිම අතින් ලෝකයේ පළමු රටක් බවට ශ්‍රී ලංකාව පත් කිරීම අපේ අපේක්ෂාවයි. විදේශ රැකියා සහ මගේ සංචාරක අමාත්‍යාංශයෙනුත් දැනටමත් බිලියන 2.5ක් ගෙනැත් තිබෙනවා. එනිසා මේක හරියට කළොත් ඉලක්කයට වැඩ කළොත්, හරි වෙනසක් කළොත් රට හදන්න බැරිකමක් නැහැ.

මෙහිදී එක්සත් ජාතික පක්ෂ මැයි දින සැමරුමේදී කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා විසින් කරුණු එකොළහකින් යුත් යෝජනාවලියක් ඉදිරිපත් කරන ලදී. මෙම මැයි දින සැමරුම් උත්සවයට එජාප හිටපු අමාත්‍යවරු, මන්ත්‍රීවරු, පළාත් සභා සහ පළාත් පාලන නියෝජිතයන්ද, එක්සත් ජාතික පක්ෂයට අනුබද්ධිත වෘත්තිය සමිති ඇතුළු අනෙකුත් සංවිධානවලට අයත් ක්‍රියාකාරීන් හා පාක්ෂිකයන් විශාල පිරිසක් සහභාගි වී සිටියහ.
චමින්ද සිල්වා ඡායාරූප නිශාන් එස්. ප්‍රියන්ත

advertistmentadvertistment
advertistmentadvertistment