බොරු කිව්ව වෙබ් එකට නීතිමය පියවර ගන්නවා – ගෝලීය ශ්‍රී ලාංකික කොංග්‍රසයේ මංජු නිශ්ශංක

362

මම නැවෙන් කොමිස් ගත්තේ නෑ:

ශ්‍රී ලංකා මුහුදු සීමාවේ දී ගිනි ගෙන විනාශ වූ ‘එක්ස්ප්‍රස් පර්ල්’ නෞකාවේ වන්දි මුදලින් කොමිස් ලබා ගත්තේ තමන් නොවන බවත්, එසේ තමන් කොමිස් ලබාගත් බවට කළ ප්‍රකාශවලට එරෙහිව එංගලන්තයේ සිට ක්‍රියාත්මක වන වෙබ් අඩවියට එරෙහිව එරටට ගොස් නීතිමය පියවර ගැනීමට අවශ්‍ය කටයුතු සම්පාදනය කළ බවත් ගෝලීය ශ්‍රී ලාංකික කොංග්‍රසයේ නායක මංජු නිශ්ශංක මහතා කටුනායක ගුවන් තොටුපළ පැමිණීමේ පර්යන්තයේ දී 09 වැනිදා සවස ප්‍රකාශ කළේය.

පසුගිය දිනවල අධිකරණ ඇමැති විජේදාස රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේ, මෙම නෞකාවෙන් ශ්‍රී ලංකාවට අයවිය යුතු වන්දි මුදල ලබා ගැනීම වැළැක්වීම සඳහා, එම සමාගමෙන් චාමර ගුණසේකර නමැති පුද්ගලයකු කොමිස් මුදලක් ලබා ගෙන ඇති බවය.

එහිදී එම වෙබ් අඩවිය වාර්තා කර සිටියේ චාමර ගුණසේකර යනු මංජු නිශ්ශංක බවය.

මෙම ප්‍රකාශයට එරෙහිව අධිකරණමය ක්‍රියාමාර්ග ගැනීම සඳහා තමන් ලන්ඩන් නුවර දින 05 ක කාලයක් ගත කළ බවත්, එම කටයුතු සාර්ථක ලෙස නිමා කිරීමෙන් පසුව තමන් මෙසේ යළි ශ්‍රී ලංකාව වෙත පැමිණි බවත් මංජු නිශ්ශංක මහතා පැවසීය.

මෙම වෙබ් අඩවිය එංගලන්තයේ පදිංචිකරුවකු විසින් එරට පවත්වා ගෙන යන බැවින්, තමන් ද එංගලන්තයේ ලන්ඩන් වෙත ගොස් මෙම අධිකරණමය ක්‍රියාමාර්ග වෙත එළඹි බව හෙතෙම වැඩිදුරටත් පැවසීය.

මෙම ප්‍රකාශය සාවද්‍ය බවට පිළිගෙන එම වෙබ් අඩවිය පොදු ප්‍රකාශයක් සිදු කිරීම සහ තම කීර්තිනාමයට වූ හානියට වන්දියක් ලබා ගැනීම මෙම නඩු පැවැරීම මගින් තමන් ලන්ඩන් අධිකරණයෙන් අපේක්ෂා කරන බව ද ඔහු පැවසීය.
කටුනායක ටී.කේ.ජී. කපිල

advertistmentadvertistment
advertistmentadvertistment