රාජ්‍ය සේවා ක්‍රිකට් අංශයේ සියලු දක්ෂයන් එක කණ්ඩායමකට ගන්නවා

145

රාජ්‍ය සේවා ක්‍රිකට් සංගමයේ අභිනව සභාපති ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි කමල් පුෂ්පකුමාර

රාජ්‍ය සේවා ක්‍රිකට් කණ්ඩායම් නියෝජනය කරන ක්‍රීඩකයන්ගෙන් දක්ෂ ක්‍රීඩකයන් තෝරා සංචිතයක් ඇති කර එම කණ්ඩායම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ අවසරය ලබා ගැනීමට ඉදිරියේදී කටයුතු කරන බව ශ්‍රී ලංකා රාජ්‍ය සේවා ක්‍රිකට් සංගමයේ අභිනව සභාපති ධුරයට පත් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි කමල් පුෂ්පකුමාර මහතා සඳහන් කළේය.

නාවල සෝලිස් හෝටලයේ දී පෙරේදා (18 වැනිදා) සවස පැවැති ශ්‍රී ලංකා රාජ්‍ය සේවා ක්‍රිකට් සංගමයේ නිලවරණයේදී ඒකමතිකව සභාපති ධුරයට පත් කමල් පුෂ්පකුමාර මහතා මීට පෙර ශ්‍රී ලංකා හොකී සංගමයේ සභාපතිවරයා ලෙස ද කටයුතු කළේය.

එහිදී තව දුරටත් අදහස් දැක්වූ කමල් පුෂ්පකුමාර මහතා මෙසේද පැවසීය.

රාජ්‍ය සේවා ක්‍රිකට් සංගමය පිළිබඳ මෙතෙක් පැවති විශ්වාසය සහ හොඳ නම රැකගෙන කටයුතු කිරීමට අපි අද මෙහිදී ඔබ හමුවේ පොරොන්දු දෙනවා. අපි හැමෝම රාජ්‍ය සේවකයෝ. අපේ හිතේ කහටක් නැහැ. රාජ්‍ය සේවා ක්‍රිකට් සංගමය නියෝජනය කරන ක්‍රිකට් කණ්ඩායම් අතරින් දැනට පළමු පෙළ තරග නියෝජනය කරන්නේ පොලිස් සහ කස්ටම් ක්‍රීඩා සමාජ දෙක පමණයි. අනිත් ක්‍රීඩා සමාජ නියෝජනය කරන්නේ ඊට පහළ තරග අංශයයි. බන්ධනාගාර කණ්ඩායම ඊට පසුව නැගී එන කණ්ඩායමක් ලෙස හඳුන්වන්න පුළුවන්. අපි ඒ වගේ කණ්ඩායම් ඉදිරියට ගන්න ඕන. ඒ වගේම ඇතැම් කණ්ඩායම්වල ඉතා දක්ෂ ක්‍රීඩකයන් දෙතුන් දෙනා ඉන්නවා. අපි ඒ දක්ෂයන් තෝරා එක කණ්ඩායමක් හදන්න බලාපොරොත්තුවක් තිබෙනවා. රාජ්‍ය සේවා එක්සත් කණ්ඩායම ලෙසින්.

රාජ්‍ය සේවා ක්‍රිකට් අංශයේ සියලු දක්ෂයන් එක කණ්ඩායමකට ගන්නවා

ලංකාවේ තිබෙන පැරණිම ක්‍රිකට් සංගමය තමයි රාජ්‍ය සේවා එක්සත් ක්‍රිකට් සංගමය. අපි ගෞරවය සහ පෞඩත්වය රැකගෙන කටයුතු කළ යුතුයි.

මම මීට පෙර ශ්‍රී ලංකා හොකී සංගමයේ සභාපති ලෙස කටයුතු කළා. එතකොට ශ්‍රී ලංකා හොකී එකට ඉන්න තැනක් තිබුණෙ නැහැ. මම මාස දෙකකින් ඔවුනට ඉන්න තැනක් හොයලා දුන්න. මම යන තැනට වැඩ කරන කෙනෙක්. හැබැයි මගේ ක්‍රීඩාව හොකී නොවෙයි. මගේ ඇඟේ තියෙන්නේ ක්‍රිකට්.

අපි ක්‍රිකට්වලට හරියට උදව් කරන්න කැමතියි. දැන් රාජ්‍ය සේවයේ ක්‍රිකට් ක්‍රීඩා කරන්නේ ආයතනයේ අවශ්‍යතාවය මත නොවෙයි. නිලධාරීන්ගේ අවශ්‍යතාවය මතයි. ඔවුන් තරගාවලි කරන්නේ, පුහුණුවීම් කරන්නේ තමන්ගේ සල්ලිවලින්. බෝල්, බැට් ගන්නේ ක්‍රීඩාංගණ හොයා ගන්නේ තමන්ගේ සල්ලි වලින්.

රාජ්‍ය සේවා ක්‍රිකට් සංගමයේ තරගාවලි ආකෘතිය වෙනස් වෙන්නත් ඕනා.

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ කුසල් ජනිත් පෙරේරා මේ වන විට පොලිස් ක්‍රීඩා සංගමයේ නායකයා ලෙස කටයුතු කරනවා. ඒ වගේම ජාතික කණ්ඩායම නියෝජනය කළ තවත් ක්‍රීඩකයන් පහක් පොලිස් ක්‍රීඩා සමාජය නියෝජනය කරන්න මං බඳවා ගෙන තිබෙනවා. අශේන් බණ්ඩාර, චාමර සිල්වා, ප්‍රියමාල් පෙරේරා, නුවන් ප්‍රදීප් සහ මාලින්ද පුෂ්පකුමාර එම අනෙක් ක්‍රීඩකයන් වෙනවා.

අපිට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් වාර්ෂිකව අනුග්‍රහයක් ලැබුණද අපි ස්වයංපෝෂිතව මුදල් හොයාගන්න මහන්සි වෙනවා නම් තමයි වඩාත් හොඳ. උනන්දු වුණොත් අපිට ඒක බැරි වෙන එකක් නැහැ. අපි අද පටන් හැමෝම එකම අරමුණකින් කටයුතු කරමු. ජාතික කණ්ඩායම නියෝජනය කරන ක්‍රීඩකයන් අපි අතරෙන් බිහි කරමු. ඒ සඳහා අවශ්‍ය සියලු සහයෝගය ලබා දෙන්න සභාපතිවරයා ලෙස මම සූදානම් බව අද ඔබ හමුවේ පවසා සිටිනවා.

රාජ්‍ය සේවා ක්‍රිකට් සංගමය සඳහා තේරී පත්වූ නව නිලධාරී මණ්ඩලය

සභාපති – කමල් පුෂ්පකුමාර

උප සභාපති – සමන් හේවාවිතාරණ, සමන් පීරිස්, මනෝජ් සමරසේකර, චන්දන වීරසිංහ, සංජීව ජයසිංහ

ලේකම් – එම්. කේ. සී. නාලක

උප ලේකම් – දර්ශන අමරසිරි, ආර්. පී. ජී. සමන් කුමාර

භාණ්ඩාගාරික – ගාමිණී සෙනරත් යාපා

උප භාණ්ඩාගාරික – තිළිණ අමරසිංහ

කුෂාන් සුබසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment