ජනාධිපතිවරණය විපක්ෂය මුහුණ දෙන අභියෝගය!

501

සමගි ජන බලවේගය (සජබ) මන්ත්‍රී (ගම්පහ දිස්ත්‍රික්කය) ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා තම පක්ෂයෙන් පිට දේශපාලන ක්‍රියාවලියකට අවතීර්ණ වී ඇත. අගෝස්තු 11 වන දින සිකුරාදා විහාරමහාදේවි උද්‍යානය අසල එතුමාගේ නායකත්වයෙන් වික්‍රමසිංහ-රාජපක්ෂ ආණ්ඩුවට එරෙහිව පැවති උද්ඝෝෂණය අවධාරණය කළේ පාර්ලිමේන්තුව නියෝජනය කරන ප්‍රධාන විපක්ෂයේ බෙදීමයි. ‘ජනතා විප්ලවය’ (Peoplezs Revolution) ලෙස නම් කර තිබූ එම උද්ඝෝෂණයට සජබ පාර්ලිමේන්තු කණ්ඩායමේ වෙන කිසිදු මන්ත්‍රීවරයකු සහභාගි වූයේ නැත.

දූෂිත රජයට එරෙහිව නව ‘විප්ලවයකට’ ජනතාවට ආරාධනා කළ ෆීල්ඩ් මාර්ෂල්වරයා එම අවස්ථාවේදී අනතුරු ඇඟවීමක් කළේය. ඒ දූෂණය, නාස්තිය, අක්‍රමිකතා සහ පරිපාලන දුර්වලතා නැති කරන තුරු ශ්‍රී ලංකාවට කිසිසේත් බංකොළොත්භාවයෙන් ගොඩ ඒමට නොහැකි බවයි.

හිටපු අමාත්‍යවරයා ගෝඨාභය රාජපක්ෂ පලවා හැරීමේ මෙහෙයුමේද යම්තාක් දුරකට කොටස්කරුවකු විය. ජුලි 9 වන දින ‘අරගලකරුවන්’ ජනාධිපති මන්දිරයට කඩා වැදීමට පැය කිහිපයකට පෙර ඔවුන්ව ඇමතූ එකම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා එතුමා බව සඳහන් කළ යුතුමය. සජබ නායක සජිත් ප්‍රේමදාසට ඇතුළු එම පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායමකට ගාලු මුවදොර මැයි 09 වන දින ප්‍රහාරයක් එල්ල කිරීමෙන් පසුව ‘අරගලය’ සමඟ ප්‍රසිද්ධියේ සම්බන්ධ වූ එකම විපක්ෂ මන්ත්‍රීවරයා ඔහුය.

ෆීල්ඩ් මාර්ෂල්වරයා සජබ සමඟ තමන්ගේ දේශපාලන ගමන අවසන් කිරීමට තීරණය කර ඇතිද? තව අවුරුද්දක් තුළ පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයේ ෆීල්ඩ් මාර්ෂල්වරයා ‘ස්ථානගතවීම’ කෙසේ විය හැකිද? එතුමාට නැවතත් ජනාධිපතිවරණයකට ඉදිරිපත් වීමේ අදහසක් යාන්තමින් හෝ තිබේද? එවැනි අවස්ථාවක් වර්තමාන දේශපාලන භූමිය තුළ තිබේද? ජනාධිපතිවරණයට තව වසරක්වත් නැත. සජබ සහ විපක්ෂය ජනාධිපතිවරණයකට මුහුණ දීමට සූදානම්ද?

වර්ධනය වෙමින් පවතින අර්බුදකාරී තත්ත්වය තුළ සියලුම ‘විදේශීය’ සාධක රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාට වාසිදායක බව අවධාරණය කළ යුතුය. පාර්ලිමේන්තුවේ නීති පනවා විදේශීය මැදිහත්වීම් වැළැක්වීමට නොහැකිය. ගෝඨාභය රාජපක්ෂ බලයෙන් පහකරන අවස්ථාවේදී රනිල් වික්‍රමසිංහ බටහිර – ඉන්දීය සන්ධානයේ පළමු තේරීම නොවූවත් වසරක් තුළ තත්ත්වය වෙනස් වී ඇත. ෆීල්ඩ් මාර්ෂල්වරයා මෙම තත්ත්වය දැන නොගැනීමට හේතුවක් නැත. ඒ ඔහුද 2010 ජනාධිපතිවරණයට ඉදිරිපත්වූ අවස්ථාවේ ඇමෙරිකාව ඔහුට උපරිම සහයෝගය පලකළ බවයි. ‘අරගලයේ’ පළමුවන තේරීම රනිල් වික්‍රමසිංහ නොවූ බවද ෆොන්සේකා දනී. (යුක්රේන යුද්ධය සම්බන්ධයෙන් පකිස්තානු අගමැති ඉම්රාන් ඛාන් ගත් රුසියාවට වාසිදායක ස්ථාවරය මත ඇමෙරිකාව ඔහුව ඉවත් කිරීමට එම රටේ පාර්ලිමේන්තුව හරහා ක්‍රියාත්මකවූ බව රහසක් නොවේ. පසුගිය වසරේ සිදුවූ ආණ්ඩු පෙරළිය විමසා බැලිය යුතු වන්නේ ඇමෙරිකාව පකිස්ථානයේ කළ මැදිහත්වීම ද සලකා බැලීමෙනි)

ද්‍රවිඩ ත්‍රස්තවාදය 2009 පරාජය කිරීමෙන් පසුව පැවති පළමුවන ජනාධිපතිවරණයට එජාප – ජවිපෙ – ද්‍රවිඩ ජාතික සන්ධානය ඉදිරිපත් කළ ෆොන්සේකා ඡන්ද ලක්ෂ 18 කින් පරාද විය. ඇමෙරිකාවේ උපදෙස් මත ද්‍රවිඩ ජාතික සන්ධානය එදා විශ්‍රාමික ජෙනරාල් ෆොන්සේකාට ඡන්දය දුන් බව රහසක් නොවේ. උතුරු සහ නැගෙනහිර සියලුම දිස්ත්‍රික්ක ෆොන්සේකාට හිමිවිය.

ඊට පසුව 2015 පැවති මහ මැතිවරණයට තමන්ගේම ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයෙන් ඉදිරිපත් වූ ෆොන්සේකාට එකම ආසනයක්වත් දිනාගැනීමට හෝ අවම වශයෙන් ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරයක්වත් ලබා ගැනීමට නොහැකි විය. එතුමා කොළඹින් පරාද විය. නමුත් වික්‍රමසිංහ එජාප නායකයා ලෙස ෆොන්සේකාට ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පැමිණීමට 2016 දී අවස්ථාවක් දුන්නේය. ඒ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයකුගේ අභාවයත් සමඟය.

එජාපය 2019/2020 දෙකඩ වූ අවස්ථාවේදී ෆොන්සේකා සජබ නායක සජිත් ප්‍රේමදාස සමග එකතු විය. නැවතත් ‘ජනතා විප්ලවය’ සමගින් ත්‍රස්තවාදය පරාජය කළ යුද හමුදාපතිවරයා (දෙසැම්බර් 2005 – ජුලි 2009) නව දේශපාලන ක්‍රියාවලියකට පිවිස ඇති බව පෙනේ.

විහාරමහාදේවි උද්‍යානය අසල උද්ඝෝෂණය නැවත නැවතත් අවධාරණය කළේ සජබ හෝ සමස්ත විපක්ෂයට ඒකාබද්ධ වැඩපිළිවෙළක් නොමැති කමයි. නිදහස ජනතා සභාවේ ප්‍රධානියකු වන මහාචාර්ය ජී. එල්. පීරිස් එම උද්ඝෝෂණයෙන් දින කිහිපයකට පසුව තම නාවල පක්ෂ කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදී විපක්ෂයට තවමත් ආණ්ඩුවට එරෙහි වැඩපිළිවෙළ සම්බන්ධයෙන් එකඟතාවයක් නොමැති බව ප්‍රකාශ කළේය. පොදු වැඩපිළිවෙළක් නොමැතිව විපක්ෂයේ වගකීම ඉටු කිරීමට නොහැකි බව හිටපු විදේශ අමාත්‍යවරයා පෙන්වා දුන්නේය. අවම වශයෙන් ප්‍රධාන කරුණු සම්බන්ධයෙන්වත් පොදු එකඟතාවයක් නොමැතිවීම කනගාටුවට කරුණකි.

පාර්ලිමේන්තුවේ එක ආසනයක් පමණක් ඇති එජාපයට විධායකය හිමිවී ආණ්ඩුව පළාත් පාලන සහ පළාත් සභා ඡන්ද නොපවත්වන තත්ත්වයක් තුළවත් විපක්ෂයට පොදු එකඟතාවයක් ඇතිකර ගැනීමට නොහැකිය. ඇත්තවශයෙන්ම වික්‍රමසිංහ ජනාධිපතිවරයාගේ ශක්තිය විසිරුණු විපක්ෂයයි. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් (පොහොට්ටු පක්ෂයෙන්) පත්කළ මහින්ද යාපා කථානායකවරයා වික්‍රමසිංහ ජනාධිපතිවරයාගේ දේශපාලන උපායමාර්ගික ක්‍රියාවලියේ ප්‍රධාන කොටස්කරුවකු ලෙස විපක්ෂය කරන චෝදනාව බැහැර කර දේශපාලන භූමියේ තත්ත්වය තේරුම්ගත නොහැක.

පලවා හැරපු ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාගේ අනුප්‍රාප්තිකයා ලෙස එජාප නායකයා පාර්ලිමේන්තුව තුළ ඡන්දයෙන් පත් කරගත් පොහොට්ටු පක්ෂය බරපතළ ගැටලුවකට මුහුණ දී ඇත. ජනාධිපතිවරයා සම්බන්ධයෙන් පොහොට්ටු පක්ෂයට එකඟතාවයක් නැත. විදුලිබල සහ බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර නියෝජනය කරන පාර්ලිමේන්තු කණ්ඩායම අවධාරණය කරන්නේ ඊළඟ ජනාධිපතිවරණයට පක්ෂය වික්‍රමසිංහ ඉදිරිපත් කළ යුතු බවයි. රෝහිත අබේගුණවර්ධන මන්ත්‍රීවරයා නියෝජනය කරන කණ්ඩායම අවධාරණය කරන්නේ වික්‍රමසිංහ සහ පක්ෂය අතර එකඟතාවය අදාළ වන්නේ 2019 නොවැම්බර් මාසයේ ගෝඨාභය රාජපක්ෂ දිනාගත් වසර පහේ කාලයට පමණක් බවයි.

කවුරු කෙසේ කීවත් පොහොට්ටුව ළඟ එන ජනාධිපතිවරණය සම්බන්ධයෙන් ලිහාගත නොහැකි ගැටලුවකට හිරවී ඇත. කටකාර විජේසේකර අමාත්‍යවරයා මෑතකදී පෙන්වා දුන්නේ තමන් පක්ෂය සහ එජාපය වෙන වෙනම දේශපාලන ක්‍රියාවලියක දී සිටියත් අවසානයේ ජනාධිපතිවරණයට ඉදිරිපත් වන්නේ එක කණ්ඩායමක් ලෙස බවයි. වර්තමාන කැබිනට් මණ්ඩලයේ සිටින පොහොට්ටුවෙන් පත්වූ සහ ජාතික ලැයිස්තුවෙන් පැමිණි බහුතර කණ්ඩායම වික්‍රමසිංහ ජනාධිපතිවරයා සමඟ අනිවාර්යෙන්ම රැඳෙනු ඇත.

පොහොට්ටු පක්ෂය සහ සජබ ප්‍රමුඛ විපක්ෂය තුළ වර්ධනය වෙමින් පවතින අවිනිශ්චිතභව ජනාධිපතිවරයාගේ වාසියට හේතුවන බව අමුතුවෙන් කීමට අවශ්‍ය නැත. එජාපයට එක ජාතික ලැයිස්තු අසුනක් පමණක් තිබෙන අවස්ථාවක වික්‍රමසිංහ ජනාධිපතිවරයා ඒකාධිපතියකු හැසිරෙන බව කීමට විපක්ෂය ලැජ්ජා විය යුතුමය. පාර්ලිමේන්තුව තුළ ජනාධිපතිවරයාගේ ශක්තිය පොහොට්ටු පක්ෂයයි. එම ශක්තිය නොවන්නට වසරක් තුළ මේතාක් දුරට රටේ තත්ත්වය ස්ථාවර කරගත නොහැක.

පොහොට්ටු පක්ෂයේ ප්‍රධානතම ඉල්ලීමක් වන තව කැබිනට් අමාත්‍යධුර ගණනාවක් තම පක්ෂයට ලබා දෙන ලෙස පසුගිය වසරේ ජුලි මාසයේදී කළ ඉල්ලීම වික්‍රමසිංහ ජනාධිපතිවරයා අදටත් ඉටු කර නැත. නමුත් පොහොට්ටු පක්ෂයට අකමැත්තෙන් හෝ වික්‍රමසිංහ ජනාධිපතිවරයා සමඟ කටයුතු කිරීමට සිදුවී ඇත. ජනාධිපතිවරයාට පාර්ලිමේන්තුව විසිරුවා හැර ඉක්මන් මහා මැතිවරණයක් කැඳවීමේ බලය ව්‍යවස්ථානුකූලව මේ වන විට ලැබී තිබුණත් එජාපය හෝ පොහොට්ටු පක්ෂය මහා මැතිවරණයකට මේ අවස්ථාවේ මුහුණු දීමට සූදානම් නැත. භූමියේ යථාර්ථය එයයි. වසර 5 කින් පමණ පළාත් සභා ඡන්ද පවත්වා නැත. පළාත් පාලන ඡන්දය පසුගිය මාර්තු තුන්වන සතියට පෙර පැවැත්වීමට නීතියෙන් බලකර සිටියත්, ජනාධිපතිවරයා එම ඡන්දය නොපවත්වන බව අමුතුවෙන් කිව යුතු නැත. හදිසියේ මහ මැතිවරණයක් කැඳවන්නේ ද නැත. වික්‍රමසිංහ ජනාධිපතිවරයාට අභියෝග කිරීමට ජනාධිපතිවරණයක් පවත්වනතුරු විපක්ෂයට බලා සිටීමට සිදුවේ. විපක්ෂයේ වැඩපිළිවෙළ සම්බන්ධයෙන් පොදු එකඟතාවයක් නොමැතිසේම ජනාධිපතිධූර අපේක්ෂකයකු සම්බන්ධයෙන් නිශ්චිත තීරණයක් ගැනීමට අවශ්‍යතාවයක් නැත.

සජබ හැරයෑම

ශ්‍රී ලංකාව ආර්ථික – දේශපාලනික – සමාජීය අස්ථාවරත්වය තුළ හිරවීම විමසා බැලිය යුතුවන්නේ පක්ෂ දේශපාලන ක්‍රමය තුළ තමන් පත්වූ/පත්කළ පක්ෂයට එරෙහිව මහජන නියෝජිතයන් කටයුතු කිරීමයි. අද වනවිට මෙම තත්ත්වය පාලනය කළ නොහැකි පිළිකාවක තත්ත්වයට පත්වී ඇත. ෆීල්ඩ් මාර්ෂල්වරයා සජබයෙන් පිටත දේශපාලන ක්‍රියාමාර්ගයකට අවතිර්ණවීම පුදුමයට කාරණාවක් විය යුතු නැත. එතුමාට පක්ෂය සම්බන්ධයෙන් විශ්වාසයක් නැති බව පෙනේ.

මහ මැතිවරණයේදී ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූර 7 හතක් සමඟ සජබ ට ආසන 54 හිමිවිය. පළමුවෙන්ම ජාතික ලැයිස්තු මන්ත්‍රිනී ඩයනා ගමගේ සජබ අතහැර පොහොට්ටු පක්ෂයට එකතු විය. රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා යටතේ ඇය රාජ්‍ය අමාත්‍ය ධූරයක් හිමි කර ගැනීමට සමත්විය. ඩයනා ගේ ජාතික ලැයිස්තු මන්ත්‍රීධුරය ඇයගේ බි්‍රතාන්‍ය පුරවැසිභාවය මත අධිකරණය ඉදිරියේ අභියෝගයට ලක්වීම විමසා බැලිය යුත්තේද සමස්ත දේශපාලන ක්‍රමයේ පරිහානිය තුළය. බි්‍රතාන්‍ය පාර්ලිමේන්තු ක්‍රමය පිළිබඳව උදම් අනන රටක එක මහජන නියෝජිතයකු බි්‍රතාන්‍ය පුරවැසිභාවය ලබා තිබෙන බවට චෝදනා එල්ල කර තිබෙන්නේ මහා මැතිවරණයේදී එජාප නායක රනිල් වික්‍රමසිංහ සමග කොළඹට තරග කළ සමාජ ක්‍රියාකාරී ඕෂල හේරත්ය. කලක් මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයා ට සේවය කළ ඕෂල හේරත් තමන් පැවරූ නඩුවේ තීන්දුව සැප්තැම්බර් 14 වැනි දින ප්‍රකාශයට පත්කිරීම අභියාචනාධිකරණයේ විනිසුරුවන් පස්දෙනකුගෙන් සමන්විත කණ්ඩායමකින් කරන්නැයි එම අධිකරණයෙන් පසුගියදා ඉල්ලා සිටීම වර්තමාන අර්බුදයේ තවත් පැතිකඩකි.

කළුතරින් පාර්ලිමේන්තුවට තේරී පත්වූ කුමාර වෙල්ගමද නව පක්ෂයක් නව ලංකා නිදහස් පක්ෂය ලෙස ලියාපදිංචි කළේය. ඔහුද සජබ මන්ත්‍රීවරයෙකි. සජබ මන්ත්‍රී පාඨලී චම්පික රණවක එක්සත් ජනරජ පෙරමුණ නව ගමනක් ආරම්භ කර ඇත. සජබ ජාතික ලැයිස්තු මන්ත්‍රී හරින් ප්‍රනාන්දු සහ සජබ ගාල්ල දිස්ත්‍රික් මන්ත්‍රී මනුෂ නානායක්කාර කැබිනට් අමාත්‍යධූර දරයි. පක්ෂය හැරගිය එම මන්ත්‍රීවරුන් දෙදෙනා ඊට පසුව තමන් පක්ෂයෙන් ඉවත් කිරීමට එරෙහිව අධිකරණයට ගොස් ඇත.

එජාප නායක විධායක ධූරයට පත්වූ පසුව සජබ දේශපාලන කුණාටුවකට හසුවන බවට සැකයක් ඇතිවිය. නමුත් අවසානයේ සජබ අතහැර වික්‍රමසිංහ – රාජපක්ෂ ආණ්ඩුවට එකතු වූයේ හරින් සහ මනුෂ පමණය (ඩයනා ගමගේ පාර්ලිමේන්තුවට පත්වූ විගස පැත්ත මාරු කළේය).

පොහොට්ටු පක්ෂයේ මැදිහත්වීමෙන් එජාප නායක වික්‍රමසිංහ විධායක ධූරයට පත්වීම සම්බන්ධයෙන් එජාප පාක්ෂිකයන් දක්වන ප්‍රතිචාරය ජනාධිපතිවරණයේදී දැන ගත හැකිය. වත්මන් ජනාධිපතිවරයා අනිවාර්යෙන්ම ජනාධිපතිවරණයට තරග කරන නමුත් ඉදිරිපත් වන ආකාරය තවමත් පැහැදිලි නැත. මෙහිදී ඔහු තරග කරන ලාංඡනය තීරණාත්මක වනු ඇත. වර්තමාන ජනාධිපතිවරයාට කිසිසේත් පොහොට්ටුවෙන් ඉදිරිපත් විය නොහැක. පොහොට්ටු පාර්ලිමේන්තු කණ්ඩායමෙන් ලොකු කුට්ටියක් කඩා ගැනීම වෙනමම කතාවකි.

සජබ ජනාධිපති අපේක්ෂක ලෙස දැනටමත් පක්ෂ නායක සජිත් ප්‍රේමදාස නම් කර ඇත. ඒ පසුගිය මැයි මාසයේ පැවති කෘත්‍යාධිකාරී රැස්වීමකදීය. විපක්ෂයේ බහුතරය සජබ තීරණය සමඟ එකඟ කර ගැනීම ඇත්තවශයෙන්ම අභියෝගයකි. රාජපක්ෂ ආණ්ඩුව සමඟ සිටි පුද්ගලයකුට ද සැබෑ විපක්ෂයේ අපේක්ෂකයා වීමට අවස්ථාවක් නැත. විපක්ෂය එකතු කිරීම රට බංකොලොත්භාවයෙන් ගොඩගැනීමට වඩා අභියෝගාත්මක විය හැකියි.

එජාප නායකත්වයෙන් 2010, 2015 සහ 2019 ජනාධිපතිවරණයට පිළිවෙළින් ඉදිරිපත් කළ එවකට ජෙනරාල් සරත් ෆොන්සේකා, මෛත්‍රිපාල සිරිසේන සහ සජිත් ප්‍රේමදාස තරග කළේ නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණෙන් (හංසයා ලාංඡනය) බව සිහියේ තබා ගත යුතුය. එම අවස්ථා තුනේදීම ආර්. සම්පන්ධන්ගේ ද්‍රවිඩ ජාතික සංධානය එජාපය නායකත්වය දුන් කණ්ඩායමේ සිටියේය. එම සියලුම අවස්ථාවල උතුර සහ නැගෙනහිර දිස්ත්‍රික්ක සියල්ල තම අපේක්ෂකයාට දිනා දුන්නේය. ද්‍රවිඩ ත්‍රස්තවාදය මුළු රටම වෙලාගෙන තිබූ 2005 පැවති ජනාධිපතිවරණයේදී කොටි සංවිධානය සහ ද්‍රවිඩ ජාතික සංධානය එක්වී මහින්ද රාජපක්ෂ දිනෙව්වේ (උතුරේ ඡන්ද රනිල් වික්‍රමසිංහට අහිමි කිරීමෙන්) අවසන් යුද්ධයට ප්‍රවේශයක් ලබා ගැනීමටය. වෙච්ච හරිය නැවත කීමට අවශ්‍ය නැත. ඇත්ත වශයෙන්ම ද්‍රවිඩ ත්‍රස්තවාදය විනාශ කිරීම නිසා සම්බන්ධන්ගේ කණ්ඩායමට නැවත දේශපාලනය කිරීමේ අවස්ථාව උදාවිය. ඒ ද්‍රවිඩ කතාකරන ජනතාවගේ එකම නියෝජිතයා ලෙස කොටි ත්‍රස්තවාදීන් 2001 දී සම්බන්ධන්ගේ කණ්ඩායම පිළිගැනීම හේතුවෙන් සමස්ත තීන්දු තීරණ ගැනීමේ ක්‍රියාවලිය වේලුපිල්ලේ ප්‍රභාකරන් සහ පොට්ටු අම්මාන් (රහස් ඔත්තු සේවා ප්‍රධානි) අත තිබූ බැවිනි.

අප රටේ අවාසනාවකට ඇත්ත තත්ත්වය ලෝකයට අවධාරණය කිරීමට ආණ්ඩුවට හෝ විපක්ෂයට වුවමනාවක් නැත.

13 වැනි සංශෝධනයෙන් ඔබ්බට

තිව්‍ර වෙමින් පවතින ව්‍යාකූල දේශපාලන තත්ත්වය ජනාධිපතිවරණය ආසන්න වීමත් තවදුරටත් අර්බුදකාරී වනු ඇත. ඊට ප්‍රධානතම හේතුවක් වන්නේ 13 වැනි සංශෝධනය සම්පූර්ණයෙන්ම බලාත්මක කිරීමට ද්‍රවිඩ ජාතික සන්ධානය ජනාධිපතිවරයාට කරන බලපෑමයි. මෑතකදී ජනාධිපති නීතිඥ මනෝහර ද සිල්වා අවධාරණය කළේ සැබෑ තර්ජනය 13 වැනි සංශෝධනය හෝ ඊට එහා යන ව්‍යවස්ථා සංශෝධනය නොව වික්‍රමසිංහ ජනාධිපතිවරයා 2017 දී සැලසුම් කළ පරිදි ඉදිරිපත් කළ ව්‍යවස්ථා යෝජනා ක්‍රියාත්මක කිරීමයි. එතුමා චෝදනා කළේ ජනාධිපතිවරයාගේ වෑයම ශ්‍රී ලංකාව ඒකීය රටක් යන ගෞරවාන්විත තත්ත්වය වෙනස් කිරීම බවයි.

ගෝඨාභය රාජපක්ෂ රජයේ තීරණයක් මත නව ව්‍යවස්ථාවක් සම්පාදනය කළ නම දෙනකුගෙන් සමන්විත කණ්ඩායමේ සාමාජිකයකු වූ එතුමා පෙන්වා දුන්නේ රටේ ඒකීයභාවයට එල්ලවන තර්ජනය හමුවේ අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධනට තව දුරටත් නිශ්ශබ්දව සිටිය නොහැකි බවයි. ඉන්දියාව බලහත්කාරයෙන් ශ්‍රී ලංකාව මත පැටවූ 13 වැනි සංශෝධනයට එරෙහිව ඡන්දය දුන් මහජන එක්සත් පෙරමුණ නායකයා තව දුරටත් පැහැදිලි ස්ථාවරයක් නොගෙන සිටීම කණගාටුදායක තත්ත්වයක් බවද පැවසීය. ආණ්ඩු පක්ෂයේ ආසන තුනක් හිමි මහජන එක්සත් පෙරමුණ තව කොපමණ කලක් නිහඬ ප්‍රතිපත්තියක් 13 වැනි සංශෝධනය සම්බන්ධයෙන් අනුගමනය කළ හැකිද? ගෝඨාභය රාජපක්ෂගේ ව්‍යවස්ථා ව්‍යාපෘතිය සම්බන්ධයෙන් අදහස් ප්‍රකාශ කිරීමේදී දිනේෂ් ගුණවර්ධන කිසිදු පැකිලීමකින් තොරව ඒකීය රටක් වෙනුවෙන් පෙනී සිටියේය.

අද තත්ත්වය උඩු යටිකුරු වී ඇත. යෝජිත ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලුම පක්ෂවලට අඩුවැඩි වශයෙන් අතිශය තීරණාත්මක බලපෑමක් කරයි.

ජනතාව අවබෝධ කරගත යුතු සත්‍යය වන්නේ ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩුවේ තීරණය මත නව ව්‍යවස්ථාවක් යෝජනා කළ ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා නායකත්වය දුන් කණ්ඩායමද 13 වැනි සංශෝධනය නව ව්‍යවස්ථාවෙන් ඉවත් කිරීමට යෝජනා නොකළ බවයි. ඒ සමස්තයක් ලෙස එම කණ්ඩායමට ඉදිරිපත් වූ යෝජනා 13 වැනි සංශෝධනය තව දුරටත් ව්‍යවස්ථාවේ කොටසක් විය යුතු බවට මතයක් පල කළ බැවිනි.

ෂමින්ද්‍ර ෆර්ඩිනැන්ඩෝ

advertistmentadvertistment
advertistmentadvertistment