පාර්ලිමේන්තුව – ධීවර කර්මාන්තයේ දියුණුවට පෞද්ගලික හා ජගත් සහාය ලබාගන්නවා – රාජ්‍ය ඇමැති පියල් නිශාන්ත

68

නව ධීවර පනතින් කන්න තියෙන මාළු ටිකත් නැති කරන්නයි හදන්නේ – දිලිප් වෙදආරච්චි (සජබ)
අධිකරණයෙන් වැරදිකරුවන් වූ ජනාධිපතිවරුන් නඩත්තුවට කෝටි 11 ක් වෙන් කරලා – විජිත හේරත් (ජාජබ)
ගොවි නිෂ්පාදනයේ 40% ක වනජීවී හානිය අවම කර ගැනීමට වැඩපිළිවෙළක් යොදන්න – ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා (සජබ)

ධීවර කර්මාන්තය දියුණු කිරීමට පෞද්ගලික අංශයෙන් ජාත්‍යන්තරයෙන් සහාය ලබාගැනීමට සැලසුම් ක්‍රියාත්මක කර ඇති බව ධීවර රාජ්‍ය ඇමැති පියල් නිශාන්ත මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (11දා) පැවැසීය.

ධීවර හා ජලජ සම්පත් හා වාරිමාර්ග අමාත්‍යාංශයේ කාරක සභා විවාදයට එක් වෙමින් රාජ්‍ය ඇමැතිවරයා මේ බව කියා සිටියේය.

විවාදය ආරම්භ කරමින් කතා කළ හම්බන්තොට දිස්ත්‍රික් මන්ත්‍රී දිලීප් වෙදආරච්චි (සජබ)

සාගරයේ අයිතිය ධීවර ජනතාවටයි. නව ධීවර පනත ධීවරයන්ට මහ මුහුද එපා වෙන්න සකස් කළ එකක්. ධීවර ක්‍ෂේත්‍රයේ සංවර්ධනය අරමුණු කරගත් යෝජනා එකක්වත් නව පනතේ නෑ. මසුන් ඇල්ලීම සීමා කිරීම, කෝටා ක්‍රමය ඇති කිරීම, විවිධ ප්‍රදේශ සමාගම් යටතට පත් කිරීම ඇතුළු කරුණු මෙහි තියෙනවා. මෙය දරුණු පනතක්. තියෙන පනත හොඳයි. අවශ්‍යනම් සුළු සංශෝධන ගෙනාවට කමක් නෑ. එහෙම නැතිව සම්පූර්ණයෙන් වෙනස් කළ යුතු නෑ.

මිනිස්සුන්ට කන්න තියෙන මාළු ටික නැති කරන්නයි ආණ්ඩුව මේ උත්සාහ කරන්නේ. බහුදින යාත්‍රා 6500 ක් තියෙනවා. ඉන්ධන මිල වැඩි වුණාම කොහොමද ධීවරයා මුහුදු යන්නේ. මාසයකට අවශ්‍ය තෙල් අරගෙන යනවා. මේ ප්‍රශ්න විසඳන්න එදා අගමැති ලෙස සිටියදී රනිල් වික්‍රමසිංහ එකඟ වුණා. මෙහෙම තියෙද්දී තෙල්වලට අලුතෙන් සියයට 18 ක් ටැක්ස් ගැහුවොත් අපේ ධීවරයා සදහටම ඉවරයි. ජනාධිපති මේ ප්‍රශ්නය විසඳිය යුතුයි. ලොව සෑම රටකම රජයන් එරට ධීවරයන්ට සහනාධාර දෙනවා. අපේ රටේ ධීවරයාට ආණ්ඩුවේ කිසිම සරණක් නෑ.

පුත්තලම දිස්ත්‍රික් මන්ත්‍රී නිරෝෂන් පෙරේරා (සජබ)

ධීවර ජනතාවට තෙල් සහනාධාරයක් දෙනවා කියලා එදා ආණ්ඩුව පොරොන්දු වුවත් මේ දක්වා එය ඉටුකළේ නෑ. බහුදින යාත්‍රා වලින් ගේන මත්ස්‍යයන් සියයට 60 ක් තැලිලා පොඩි වෙනවා. නිවැරදි තාක්‍ෂණය හා අයිස් ගබඩා නැති නිසයි මේවා වෙන්නේ. තාක්‍ෂණය වෙන රටවලින් ගෙනල්ල හඳුන්වා දිය යුතුයි. බහුදින යාත්‍රා අලුත්වැඩියා කිරීමේ වැඩපිළිවෙළක් අවශ්‍යයි. ගොවියා වගේම ධීවර ජනතාව වෙනුවෙන් අපි පෙනී සිටිය යුතුයි. ධීවර ආම්පන්න අධික මිල ගණන්. ඒ වගේම ඉන්ධන මිල ඉහළයි. ධීවර කර්මාන්තය කරගෙන යාම අසීරුයි. ඉන්දියන් ධීවරයාට මෙරටින් බලපත්‍රයක් දීමට ධීවර ඇමැති විරුද්ධවිය යුතුයි.

වනජීවී හා වාරිමාර්ග ඇමැතිනි පවිත්‍රා වන්නිආරච්චි

පැවැති රජයන් මෙරට වැව් තිස්දහසක් පමණ සංවර්ධනය කර තිබෙනවා. උතුරු ප්‍රදේශයේ හැර අනෙකුත් ප්‍රදේශවල ගංගා හා ඇළවේලිවලින් ප්‍රයෝජන ගන්නවා. උතුරේ ජල ප්‍රශ්නයට කඩිනමින් විසඳුම් ලබාදීමට හැකි වෙනවා.

කෘෂිකර්මාන්තයට ජලය ලබාදීමේදී අනෙකුත් අමාත්‍යාංශත් සමඟ එක්ව කටයුතු කළ යුතුයි. අනෙක් අමාත්‍යාංශ සමඟ ගැටුමක් ඇති නොකළ යුතුයි.

යාං ඔය, ඇල්ලවැව ආදී ව්‍යාපෘති ක්‍රියාත්මකයි. මල්වතු ඔය ව්‍යාපෘතිය 2024 දී ක්‍රියාත්මක වෙනවා. ඒ සඳහා අවශ්‍ය මුදල් වෙන්කර තිබෙනවා.

ගිං, නිල්වලා ව්‍යාපෘති නැවත ක්‍රියාත්මක කිරීමට තීරණය කර තියෙනවා. කළ ශක්‍යතා අධ්‍යනයක් අවසන් වෙමින් පවතිනවා.

පොළොන්නරුව දිස්ත්‍රික් මන්ත්‍රී රොෂාන් රණසිංහ-

ආර්ථිකය පිබිදෙන අලුත් ගමනක් යාමට නම් ඇමැතිවරුන්ටත් වැඩපිළිවෙළක් දිය යුතුයි. කන්න 4 ක් අපි හිටියා වාරිමාර්ග ඇමැති ලෙස ජලය ඉල්ලා කිසිම ගොවියෙක් උද්ඝෝෂණය කළේ නෑ. සමනලවැව නිවැරදිව හසුරුවන්න තිබුණා. විදුලි බලය නිපදවීමට එක් ඇමැතිවරයෙක්ගේ ඉල්ලීම මත ගැටලු ඇතිවුණා. සාමූහිකව ක්‍රියාකළා නම් ඒ ප්‍රශ්නය එන්නේ නෑ.

වැට් බද්ද වැඩි වෙනවා. අයි.එම්.එෆ්. එකට ඕන විදිහට වැඩ කරන්න වෙලා තියෙන්නේ පසුගිය අවුරුදු 45 දී කිහිපදෙනෙක් ගත්ත තීන්දු නිසයි. ඒ ක්‍රමවේදය තවදුරටත් සිදු නොවිය යුතු නිසයි මම එලියට ආවේ. හරි දේ කතා කරලා එලියට දැම්මා.

කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී ජයරත්න හේරත්

මෙරට පත්වූ වාරිමාර්ග ඇමැතිවරු වාරිමාර්ග ක්‍ෂේත්‍රයට විශාල සේවාවක් කළා.සමහර වාරිමාර්ගවල ඇනිකට් හා අනෙක් කොටස් නිවැරදිව නැති නිසා ජලය අපතේ යනවා. ඒ ගැන අවධානය යොමු කරන්න. වාරි කර්මාන්ත පිළිබඳ සියලු සිතියම් ඇස්තමේන්තු සකස් කරන්නේ වාරි ඉංජිනේරුවරු. මොවුන් 75 ක් නිවැරදිව කරන විට සියයට 25 ක් හරියට ක්‍රියා නොකිරීම නිසා කෝටි ගණන් මුදල් අපතේ ගිහින් තියෙනවා. තාක්‍ෂණ වාර්තා සකස් කරන විට මීට වඩා වගකීමකින් ක්‍රියා කළ යුතුයි.

ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රී විජිත හේරත් (ජාජබ)

අපේ භූමිය වගේ අට ගුණයකටත් වඩා විශාල සාගරයක් අපට තියෙනවා. ධීවර කර්මාන්තය දිනෙන් දින කඩා වැටෙනවා. ඊට හේතුව ආණ්ඩුවේ වැරදි ප්‍රතිපත්තියයි. ධීවර කර්මාන්තය නැංවීමට නම් නිෂ්පාදන වැඩිකර ගැනීමට දිරිදිය යුතුයි.

අයවැයෙන් වෙන්කර ඇති මුදල ධීවරයන්ගෙන් බෙදුවහම එක් අයකුට රුපියල් 5 යි වෙන්වෙලා තියෙන්නේ. ඒත් අධිකරණයෙන් වැරදිකරුවන් කරපු ජනපතිවරුන් නඩත්තු කරන්න රුපියල් කෝටි 11 ක් වෙන්කරලා. ජනාධිපතිවරුන් 7 න් 3 ක් නෑ. 4 දෙනා නඩත්තුවට මේ මුදල වෙන්කරලා. ධීවරයාට රුපියල් 5 යි. කොහොමද ධීවරයා කටයුතු කරන්නේ. ධීවර යටිතල පහසුකම් වලට සතපහක් වෙන්කරලා නෑ.

ධීවර උපකරණවලට වැට් ගැහුවම ඒවා දෙතුන් ගුණයකින් මිල ඉහළ යනවා. ඩීසල් ලීටරය රුපියල් 340 යි. එයට සියයට 18 ක් වැට් බද්ද ගැහුවම රුපියල් 63 කින් ඩීසල් මිල ඉහළ යනවා. එවිට මුහුදු රස්සාව කරන්නට බැරිවෙනවා. අතින් වියදම් කරගෙන පාඩු ලබා ධීවර වැඩ කරන්න වෙලා තියෙන්නේ.

ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා (සජබ)

වැව් ප්‍රතිසංස්කරණය කිරීමේදී විශාල ලෙස වංචා සිදුවන නිසා වැව් ප්‍රතිසංස්කරණය හරියට සිදුවන්නේ නෑ. පහළ මල්වතුඔය ව්‍යාපෘතිය ක්‍රියාත්මක වීම මගින් තන්තිරිමලේ පවුල් 2000 කට විතර ඉඩම් නැති වෙනවා. ඔවුන්ට අවශ්‍ය ඉඩම් නොදී යන්න වෙලා.

මොරගහකන්ද ව්‍යාපෘතියේදී අලින්ට වාසස්ථාන අහිමි වුණා. වයඹ ඇළ ව්‍යාපෘතිය මගින් ද අලි අස්ථානගතවීම් සිදුවිය හැකියි. මේවාට නිසි පියවර නොගත්තොත් අලි මිනිස් ගැටුම් ඇතිවේවි. කෘෂිකර්ම නිෂ්පාදනයෙන් සියයට 40 ක් වනජීවීන් හානි කරනවා. මෙය නිසි ලෙස කළමනාකරණය කළහොත් හානිය සියයට එකට අඩුකරගත හැකියි.

වන අලි 500 ක් පමණ ගම්වැදීම් සිදුවන බවට අපි හඳුනාගෙන තිබුණා. ආහාර ජලය සොයාගෙනයි ගම් වැදුණේ. එක අලියෙකුට දිනකට ආහාර කිලෝ 150 ක් පමණ අවශ්‍යයි. අලි 500 කට ටොන් 80 ක් අවශ්‍යයි. මේ ප්‍රදේශයේ මේ ප්‍රමාණය ඇති කළානම් සිදුවන හානිය සියයට 90 කින් අඩුකරගත හැකියි. ආහාර හා ජලය ලබාදීමට තෘණ භූමි ඇති කළ යුතුයි. වනජීවියෙන් ලබන ලාභයෙන් මේ ව්‍යාපෘති කරන්න පුළුවන්. අලින් විනාශ වීමට ඉඩදීම අපේ ජාතියටත් ලැජ්ජාවක්.

ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රී අජිත් මාන්නප්පෙරුම (සජබ)

එක්ස්ප්‍රස් පර්ල් නැවේ ගින්න නිසා අපේ මත්ස්‍ය සම්පතට දැඩි හානි සිදුවුණා. ධීවර ප්‍රජාවට මුහුදු යෑම තහනමට ලක්වුණා. අද වනවිටත් ප්ලාස්ටික් කැබලි ගල් පතුරු අස්සේ හිරවීම නිසා මාළු බිත්තර දාන්න එන්නේ නෑ. ධීවරයන් යාවත්කාලීන කිරීමට නැව් රක්‍ෂණ සමාගම්වලින් ඩොලර් මිලියන 51 ක් ඉල්ලුවා. නමුත් ලැබුණේ 14 යි. සිංගප්පූරුවේදී යළිත් රුපියල් මිලියන 705 ක් දෙනවා කිව්වට තාම ලැබුණේ නෑ.

ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රී කාවින්ද ජයවර්ධන (සජබ)

අද වන විට අපේ ධීවරයන්ට කිසිදු සහනාධාරයක් ලැබෙන්නේ නෑ. ධීවරයන් තාම කර්මාන්තයේ යෙදෙන්නේ සම්ප්‍රදායික ක්‍රමයටයි. නව තාක්‍ෂණය හඳුන්වාදී පහසුකම් දීමට තාම සමත්වී නෑ. එක්ස්ප්‍රස් පර්ල් නැවේ ගින්නෙන් රටට වූ හානියට තවම වන්දි ලබාදී නෑ. අපේ මුහුදු මත්ස්‍ය සම්පත විනාශ වුණා. ධීවරයන්ටත් තවම හරි වන්දියක් ලැබුණෙ නෑ.

රාජ්‍ය ඇමැති පියල් නිශාන්ත

විපක්‍ෂය හිතාගෙන ඉන්නේ රටේ ධීවර ජනතාව මැරිලා ඉපදිලා කියලා. චන්ද්‍රිකා රජය සමයේ ධීවර ක්‍ෂේත්‍රය භාර වුණේ ජවිපෙට. ධීවරයන් ගැන මේ තරම් අනුකම්පාවක් තිබුණා නම් ඒ කාලයේ කරන්න තිබුණා.

ධීවර ජනතාවට තිබූ නැව් ටික ගිල්ල කට්ටියක් ධීවරයා ගැන දුක කියනවා. ඔවුන් ජනතාවට විහිළු සපයනවා. තිබුණු අර්බුදයෙන් ධීවරයා බේරාගන්න අපි විශාල වැඩ කොටසක් කරමින් පවතිනවා.

මෙතරම් අමාරු අවස්ථාවක අපට අයවැයෙන් මුදල් ලබා දී තිබෙනවා. ජාත්‍යන්තර සහාය ලබාගෙන ධීවර කර්මාන්තය දියුණු කරන්නත් පුද්ගලික අංශයේ සහන ලබාගෙනත් මේ කර්මාන්තය දියුණු කරනවා.

සීනෝර් ආයතනයේ සේවකයන්ට පඩිවත් ගෙවාගන්න බැරිව තිබුණේ. අද වනවිට ඒ ආයතනය ඉහළ මට්ටමක තියෙනවා. නාරා ආයතනය හා සීනෝර් ආයතනය එක්ව අස්වනු නාස්තිය වැළැක්වීමේ වැඩසටහන් සකස් කරනවා. මිරිදිය කර්මාන්තය දියුණු කරන්න රුපියල් මිලියන සීයක් රජයෙන් ලබාගත්තා. මත්ස්‍ය අස්වැන්න වැඩිකිරීමට තාක්‍ෂණය යොදා ගන්නවා. එක්දින ධීවර යාත්‍රා 28000 ක් තිබෙනවා. ඔවුන්ට භූමිතෙල් ලීටර් 153 ක් බැගින් ලබාදෙන්න පියවර ගන්න. ආයෝජන කලාප ඇති කරනවා.

ධීවර ජනතාවගේ දරුවන්ගේ සුභ සාධනයට විශාල පියවරක් ගත්තා. ඉතුරුම් වැඩිකිරීමටත් කටයුතු කරමින් ඉන්නවා.
අකිත පෙරේරා, රනිල් ධර්මසේන

advertistmentadvertistment
advertistmentadvertistment