බුද්ධිකට වයස දහතුනයි… හදපු හැන්ද රටක් වටියි

621

අපි ඉස්කෝලෙ යන්නෙ කළු ගඟ හරහා ඔරුවෙන් එගොඩ වෙලා…
ජීවත් වෙන්නෙ දුම්බර මිනිරන් පතල පාමුල…
පුළුවන් විදිහට හැඳි හදලා අත පය වෙව්ළන අයට දෙනවා…

බුද්ධික ප්‍රමෝද් පුංචි පුතා අති දක්‍ෂයෙකි. නව නිර්මාණකරුවෙකි. ඔහු රටට ඉදිරිපත් කර ඇති නව නිර්මාණය පුංචි හැන්දක් වුවද බත් අහුරක් කටට දා ගැනීමට නොහැකි තරමට දෑත් වෙව්ළන ස්නායු ආබාධ සහිත අසරණ මිනිසුන්ට එම හැන්ද මිල කළ නොහැකි තරමේ වටිනා උපකරණයකි. එහෙයින් මේ පුංචි දක්‍ෂයා ගැන කෙටි සටහනක් තැබීමට අපි අදහස් කළෙමු.

බුද්ධික ප්‍රමෝද් අධ්‍යාපනය ලබනුයේ ඉංගිරිය බප / හො / නම්බපාන කනිෂ්ඨ විද්‍යාලයේ අට වසර පන්තියේය. ඔහුට වයස අවුරුදු දහතුනකි. උපන්ගම දුම්බර ය. මෙරට ප්‍රසිද්ධ මිනිරන් පතල පිහිටි ගමය. එම මිනිරන් පතල පිහිටා තිබෙන්නෙ බුද්ධිකගේ නිවසට ඉහළින් ය. අවට ප්‍රදේශය මිනිරන් මැණික් ආදී ස්වභාවික සම්පත්වලින් පෝෂණය වී තිබුණ ද දුම්බර තවමත් දුප්පත් ය. ගමට හරි හැටි ප්‍රවාහන පහසුකම්වත් නොමැති තත්ත්වයක දුම්බර, දුමිසියාවත්තෙ පදිංචිකරුවන් ගමන් බිමන් යන්නෙ කළු ගඟ හරහා ඔරුවෙනි. අති දුෂ්කර ගමනකි. එහෙත් බුද්ධික මෙන්ම දුම්බර ගමේ බොහෝ දරුවෝ හිමිදිරි පාන්දර පාසල්වලට යෑමට දුම්බර තොටුපළේ ඔරුවක නැඟී කළු ගඟෙන් එගොඩ වෙති.

බුද්ධික අධ්‍යාපනය ලබන නම්බපාන කනිෂ්ඨ විද්‍යාලය ද ප්‍රදේශයේ දුෂ්කර පාසලකි. එක වසරේ සිට එකොළහ වසර දක්වා පන්ති පැවැත්වෙන පාසලේ අධ්‍යාපනය ලබනුයේ ළමයි දෙසීය අසූවක් පමණි. ක්‍රීඩා ගුරුවරයෙක් නොමැති, කාලයක සිට දෙමළ විෂයට ගුරුවරයෙක් නැති නම්බපාන කනිෂ්ඨයේ අඩුපාඩු ගොඩකි. එහෙත් ශිෂ්‍යත්ව, සාමාන්‍ය පෙළ විභාග ප්‍රතිඵල සතුටුදායක මට්ටමක පවතින බව එම පාසලේ විදුහල්පතිනිය ඩබ්ලිව්. ඒ. කාංචනා පෙරේරා මහත්මිය අප සමග පැවසුවා ය. එමෙන් ම ඇය ළමයින්ගේ කුසලතා වර්ධනය ගැන මෙන්ම බුද්ධිකගේ දක්‍ෂතා ගැන ද කරුණු පැහැදිලි කළා ය. මොහොතකට ඇයගේ හඬ ඉස්මතු කර අපි නිහඬ වීමු.

බුද්ධිකට වයස දහතුනයි… හදපු හැන්ද රටක් වටියි

විසිඑක් වන සියවසේ පවතින අධ්‍යාපන ක්‍රමය තුළ දැනුම විතරක් නෙමෙයි, ළමයින්ගේ කුසලතා වර්ධනයට වැඩි ඉඩක් ලබාදී තියෙනවා. විදුහල්පතිනියක් විදිහට ඒ ප්‍රවණතාවය මම අගය කරනවා. බුද්ධික පුතාගෙ වගේ ම, අපේ පාසලේ තවත් දරුවන්ගේ දක්‍ෂතා ඉස්මතු වුණේ කුසලතා වර්ධනය ඇගයීම නිසයි. ඒ වගේම බුද්ධිකගේ නව නිර්මාණකරණය පාසලේ අනෙකුත් ළමයින්ටත් ආදර්ශයක්. මම, මේ පාසලේ විදුහල්පතිනිය විදිහට වැඩ භාරගත්තෙ මෑතක. මීට පෙර හිටපු විදුහල්පතිතුමා බුද්ධික පුතාගේ නව නිර්මාණය ඉහළට ම අරගෙන ගිහින් තිබුණා. පාසලේ දරුවන්ගේ කුසලතා වර්ධනයට වගේම පාසල දියුණු කිරීමට මට පුළුවන් උපරිමය කරනවා. ඒත් ක්‍රීඩා ගුරුවරයෙක් නැති නිසා දරුවන්ගේ ක්‍රීඩා කෞෂල්‍ය ඉස්මතු කරගන්න අසීරුයි. තිබෙන සීමිත සම්පත්වලින් උපරිම ප්‍රයෝජනය ගනිමින් ගර්ල් ගයිඩ්, සෞඛ්‍යදාන ව්‍යාපාර ආරම්භ කිරීමට සැලසුම් සකස් කර තියෙනවා. අක්‍රිය වී තිබෙන ළමා සමාජ සක්‍රීය කරනවා. ප්‍රාථමික අංශයෙන් ආදේශක තූර්යවාදක කණ්ඩායමක් පුහුණු කරගෙන යනවා. ඒ වගේ ම මේ පාසලේ දියුණුවට වගේ ම දරුවන්ගේ අධ්‍යාපන කටයුතු පවත්වාගෙන යෑමට හොරණ බොඩිලයින් ඇඟලුම් ආයතනයෙන් විශාල දායකත්වයක් ලබාදෙනවා. ඒක අපට විශාල ශක්තියක්. පාසල දියුණු කිරීමට වගේ ම ළමයින්ගේ කුසලතා වර්ධනයට ලබාදෙන දායකත්වය සම්බන්ධයෙන් එම ආයතනයට ස්තුතිවන්ත වෙනවා…” විදුහල්පතිනිය නිහඬ විය. ජනප්‍රිය අධ්‍යාපන ක්‍රමය තුළ දුෂ්කර පාසල් වැසී යෑමේ පසුබිමක නම්බපාන කනිෂ්ඨ විද්‍යාලයට පමණක් නොව, හොරණ කලාපයේ සියලු දුෂ්කර පාසල් නැංවීමට හොරණ බොඩිලයින් ආයතනය ලබාදෙන දායකත්වය රටක් වශයෙන් අප අගය කළ යුතුය. විශේෂයෙන් ම අති දුෂ්කර ජීවිතයක් ගෙවමින් ජීවිතය සොයන බුද්ධික වැනි දුප්පත් පවුල්වල දරුවන්ගේ අධ්‍යාපන කටයුතු නැංවීමට බොඩිලයින් ආයතනය ලබාදෙන දායකත්වයට පින්දිය යුතුය. සිත තුළ එවැනි පින්සාර සිතුවිලි නැඟෙනවිට අපි බුද්ධිකට පුංචි පැනයක් ඉදිරිපත් කළෙමු.

මෙවැනි උපකරණයක් නිෂ්පාදනය කරන්න පුතා පෙළඹුණේ කොහොම ද?

“අසල්වැසි නිවසක අත් පා වෙව්ළන ආච්චි කෙනෙක් ඉන්නවා. දෑත් වේව්ළීම නිසා ඒ ආච්චිට කෑම කන්න බෑ. හැන්දකින්වත් කන්න බෑ. වෙන කෙනෙකුගේ උපකාරයක් නැතිව ඒ ආච්චිට කෑම කන්න පුළුවන් ක්‍රමයක් ගැන මම කල්පනා කළා. විවිධ ක්‍රම ඔස්සෙ අත්හදා බලනකොට තමයි මේ හැන්ද නිර්මාණය කරන්න පුළුවන් වුණේ. ඊට පස්සෙ හොරණ බොඩිලයින් ආයතනයෙන් අපේ ඉස්කෝලෙ පැවැත්වූ නව නිපැයුම් තරඟයට මගේ නිර්මාණය ඉදිරිපත් කළා. එම තරගයෙන් මගේ හැන්දට පළමු ස්ථානය හිමි වුණා. මම මේ නිර්මාණය කළේ පසුගිය අවුරුද්දෙ මැයි මාසයේ දී. මේ වෙනකොට හොඳ ප්‍රසිද්ධියක් තියෙනවා. මේ මාසෙ 31 වැනිදා කුරුණෑගල පැවැත්වෙන නව නිපැයුම් තරගයට මගේ නිර්මාණයත් ඉදිරිපත් කරනවා. ඒ තරඟයෙන් ජයග්‍රහණයක් ලැබුණත්, නැතත් අපිට පුළුවන් විදිහට මේ හැන්ද හදලා දෑත් වෙව්ළන ස්නායු රෝගීන්ට නොමිලේ ලබාදෙන්න කටයුතු කරනවා. දැනටත් අත පය වෙව්ළන පස්දෙනකුට නොමිලේ හැඳි ලබාදීලා තියෙනවා. ඒ හැන්දෙ උපකාරයෙන් ඔවුන් පස්දෙනාම දැන් පහසුවෙන් ආහාර ගන්නවා…”

බුද්ධිකගේ යාන්ත්‍රික හැන්ද නව නිර්මාණයකින් ඔබ්බට ගිය අසීමිත කුසල් රැස්වෙන සමාජ සද්කාරයක් බව සැබෑය. එමෙන්ම බුද්ධිකගේ යාන්ත්‍රික හැන්දෙන් දෑත් වෙව්ළන ස්නායු රෝගීන්ට පහසුවෙන් ආහාර කෑමේ හැකියාව තිබෙන බව හේ ඔප්පු කළ පෙන්වා ඇත. පුංචි බැටරියක විදුලියෙන් ක්‍රියාත්මක වන යාන්ත්‍රික හැන්ද නිෂ්පාදනයට බුද්ධික භාවිත කර ඇත්තේ පුංචි උපකරණ කිහිපයක් පමණි. චලනය වන දිසාව හඳුනාගෙන වෙව්ළීමට ප්‍රතික්‍රියාවක් ලෙස චලනය කිරීම තුළින් හැන්දෙ රැඳෙන ආහාර නොවැටී පහසුවෙන් මුඛය තුළට රැගෙන යෑමට හැකියාව තිබෙන බව බුද්ධික අපට පෙන්වා දුන්නේය. එමෙන් ම ඔහුගේ කුසලතා වර්ධනය සඳහා හොරණ බොඩිලයින් ආයතන මගින් නිරන්තරයෙන් උපකාර කරන බව ද බුද්ධික අප සමග පැවසුවේය. බොඩිලයින් ආයතනයේ තිරසාර සංවර්ධන කණ්ඩායමේ නෙත්මි, සඳමාලි සහ යුරේෂා බුද්ධිකට අතිශය ලෙන්ගතුව උපකාර කරන බව ද හේ විශේෂයෙන් සිහිපත් කළේය. අවසානයේ අනාගත බලාපොරොත්තු බුද්ධිකගේ ම වචනවලින් සටහන් තැබීමට අපි අදහස් කළෙමු.

බුද්ධිකට වයස දහතුනයි… හදපු හැන්ද රටක් වටියි
බුද්ධික මව සහ සහෝදරිය සමඟ

“මගේ විනෝදාංශය නව නිෂ්පාදන කිරීම. මේ දවස්වල රිමෝට් එකෙන් ධාවනය කරන බස් එකක් නිර්මාණය කරගෙන යනවා. දැන් ගොඩක්ම වැඩ ඉවරයි. ඉදිරි ප්‍රදර්ශනයකට මගේ බස් එක ඉදිරිපත් කරනවා. ඒ වගේම පැළ සිටුවන්න යන්ත්‍රයක් නිෂ්පාදනය කරන්නත් සැලසුම් කරගෙන ඉන්නවා. ඉදිරියටත් නව නිර්මාණ කරගෙන යෑම තුළ මගේ ජීවිතයට සාර්ථක ගමනක් තිබෙන බවට ලොකු විශ්වාසයක් තියෙනවා…’ පුංචි කොල්ලගේ අදහස් දැක්වීම ද මල් හතකි. එමෙන් ම දක්‍ෂතා හඳුනාගෙන බුද්ධිමත්ව අනාගතයට මුහුණදෙන කිසිවකුට නොවරදින බව ද සැබෑය. එහෙත් බුද්ධික ප්‍රමෝද් සහජ කුසලතා සහිත දක්‍ෂ දරුවෙක් වුවද ජීවන ගමනේ දී දැනෙන අඩුපාඩු බොහෝය.

බුද්ධිකගේ පියා සී. ඒ. රංජිත් ය. වයස අවුරුදු හතළිස් අටකි. ඔවුන් ජීවත්වන දුම්බර ගමේ තේ කම්හලක රියැදුරෙක් ලෙස සේවය කරන්නේය. බුද්ධිකගේ මව ඩී. ඒ. සුනේත්‍රා ය. ඇයගේ වයස ද අවුරුදු හතළිස් අටකි. සුනේත්‍රා රැකියාවක් නො කරන්නීය. බුද්ධිකගේ එකම සහෝදරිය මල්කි අමාෂා මෙවර වාණිජ අංශයෙන් උසස් පෙළ විභාගයට පෙනී සිට ප්‍රතිඵල බලාපොරොත්තුවෙන් සිටින්නීය. රට තුළ පවතින ආර්ථික අවපාතය තුළ පවුලේ හතරදෙනාට තුන්වේල කෑමටවත් රංජිත්ට ලැබෙන පඩිය ප්‍රමාණවත් නොවන තත්ත්වයක බුද්ධිකගේ නව නිර්මාණ කිරීමට අවශ්‍ය උපකරණ මිලදී ගැනීමේ දැඩි අපහසුතා මතු වන බව සුනේත්‍රා අප සමග පැවසුවාය. බුද්ධිකගේ නව නිර්මාණකරණයට ආයතනික හෝ පුද්ගලික උදව්, උපකාර ලබාගැනීමට කැමැත්තෙන් සිටින බවද ඇය අපට පැවසුවා ය. පුංචි බුද්ධික අනාගතයේ දී රටට වැඩදායී ව්‍යවසායකයෙක් වෙනවා දැකීමට කැමැති, පින්වතුන්ට දසත සුවඳ විහිදෙන මලක් පුබුදුවීමට අවස්ථාව තිබේ. පසුබට නොවී ඒ මල පුබුදුවීමට මෙරට දානපතියන් ඉදිරිපත් වන බව අපගේ විශ්වාසයයි.

තරංග රත්නවීර

advertistmentadvertistment
advertistmentadvertistment