වැසි සමය කියාදෙන අර්ථවත් ධර්මය

97

පිංවත අපි සද්ධර්මය නොතකා හැරියොත් අසද්ධර්මය අපිව ගිලගන්නවා. පිංවත අසද්ධර්මය යැයි කියන්නේ දුකට එකම හේතුව පංචඋපාදානස්කන්ධය කෙරෙහි තෘෂ්ණාව යැයි නොදැනීමයි. දුක නිරෝධය කරන මාර්ගය ආර්ය අශ්ඨාංගික මාර්ගය යැයි නොදැනීමයි. පිංවත අපි අපේ හෘදසාක්ෂියට තට්ටු කරලා නිදහසේ අහමු, වර්තමානයේ කාගේ ළඟද තෘෂ්ණාව නැත්තේ, පිංවත් ගිහි ඔබ ගැන කුමන කතාද වර්තමානයේ තමන් රහත් යැයි කියන අය තුළත් තෘෂ්ණාව තිබෙනවා. පිංවත රූපය කියන්නේ මාරයාට. රූපය මාරයා වූ කල්හි රූපය ඇසුරින් සකස් වෙන ඵස්ස, වේදනා, සංඥා, සංස්කාර, විඤ්ඤාණයෝ මාරයාම වෙනවා. පිංවත මාර ධර්මයන් පහක් මමය, මගේය, මගේ ආත්මය යැයි සතුටින්ම පිළිගන්න අපි, සැප සොයාගෙන තවමත් මේ යන්නේ දුක පසුපසම නේද. පිංවත ඔබේ රූපය දෙස හොඳින් බලන්න, ඔය ඇස කවදාහරි දවසක මහපොළවට පස්වෙන ඇසක්. ඔය කන, නාසය, දිව, ශරීරය කවදාහරි දවසක මහපොළවට පස්වෙන සළායතනයෝමයි. පිංවත ඔබේ ඔය රූපය කවදාහරි පවුලේ සුසාන භූමියේ පසට මුහුවෙන රූපයක්මයි. මොහොතක් දෑස් පියාගෙන මහ පොළවේ පසත්, ඔබේ රූපයත් එකක් කොට දකින්න. ඒ ඔබ දකින්නේ ධර්මයයි. ඒ ඔබ දකින්නේ සංස්කාරයන්ගේ අනිත්‍යභාවයයි.

පිංවත සම්මා සම්බුද්ධ ශාසනයට පණදෙන තවත් සුන්දර වස්සානයක් උදාවෙලා. මේ උදාවුණේ භික්ෂුවගේ දහසය (16) වැනි වස්සානයයි. වැසි සමය කියන අර්ථයට පටහැණි වූ වියළි පරිසරය, සුන්දර වස්සානයේ අපේම අමිහිරි අකුසල් සංස්කාරයන් ගැන, අපි හැමෝටම අර්ථවත් ධර්මයක් කියලා දෙනවා. පිංවත දැන් වෙලාව සවස හයට පමණ ඇති, ඒ කියන්නේ සුන්දර සන්ධ්‍යාවක්. ඒත් පරිසරය හරිම උණුසුම්, පරිසරයෙන් ඇසෙන එකිනෙකට වෙනස් කුරුල්ලන්ගේ කිචි බිචිය සතර අපායේ කෙටි ආශ්වාදය ගැන බණක් කියනවා වගෙයි. කුටියේ ආලින්දයේ බාගෙ බිත්තිය ළඟ වාඩිවෙලා, භික්ෂුව ඒ බණ නිවීසැනසිල්ලේ අහනවා. සංසාර බය, සංසාර දුක, සංසාර ගැඹුර, ලස්සන කුරුළු ගීතයක සැඟවිලා තිබෙනවා. මෙය සටහන් තබන භික්ෂුවත්, මේ සටහන කියවන පිංවත් ඔබත්, කුරුල්ලෙක් නොවී මනුෂ්‍යයෙක් වුණේ, අතීතයේ මේ ඇත්ත දැනගෙන සිටිය නිසාමයි. මේ ලස්සන කුරුල්ලෝ ලස්සනට ගීත කියනවා වගේම, පටිච්චසමුප්පන්නව අතීතයේ මනුෂ්‍ය ජීවිත ලබලා මොනතරම් ලස්සනට ධර්ම දේශනාවන් කරන්නට ඇතිද. පිංවත සංස්කාර ලෝකය අවිද්‍යාවෙන් හැඩ වැඩ වෙන නිසාම හරිම වියරුවක්. මේ වියරු සංස්කාර ක්‍රියාන්විතය අපි හඳුනානොගෙන වර්තමානයේ අපි දේශනා කරන බණ, වැදි බණ වුණොත්, අනාගත භව ගමනේ අපිටත් අවස්ථාව ලැබේවි, ලස්සන කුරුල්ලෙක් වෙලා ලස්සනට නාද කරන්නට. පිංවත අවිද්‍යාව හරිම දක්ෂයි භික්ෂුවකගේ බණත්, කුරුල්ලෙකුගේ මිහිරි නාදයන් ආශ්වාදයෙන්ම රස විඳින්නට.

පිංවත සිතකින්, තවත් සිතකට එබී බලන්න නම්, සමාධිමත් සිතක් තිබෙන්නටම ඕනේ. සමාධිමත් සිතකට පුළුවන් තවත් පිංවතෙකුගේ වචන විනිවිද සිතේ හැඩරුව යම් පමණකට හෝ දකින්නට. පිංවත අවිද්‍යාව මහමෙරක් වූ සමාජයක යම් පිංවතෙක් කථා කරන වචන වලින් පමණක් ලෝකය හඳුනාගැනීම ලෙහෙසි නැහැ. ලස්සන වචන මාලාවක් තුළ, ගෞරවණීය යැයි හැඟවෙන හැසිරීමක් තුළ, අවලස්සන සිතකට සැඟවී සිටින්නට පුළුවන්. පිංවත විවේකය අඩු, සමාධිය හිඟ, අපි ජීවත්වෙන සමාජය තුළ, රැවටීම සහ රැවටීමට ලක්වීම වැඩිවෙලා තිබෙන්නේ, සමාධිමත් සිත් දුර්වල වී පංචනීවරණයෝ බහුල වීම නිසාමයි. පිංවත කරුණාකර ලෝකයට අවංක වෙන්න. පිංවත් ඔබ සිනාමුසු මුහුණින් ලෝකයට වංක වුණොත්, ඔබමයි අවසානයේ රැවටීමට ලක්වෙන්නේ. රැවටීමෙන් ලොකුම රැවටීම සංඝයා රැවටීම බව සිහිනුවණින් තේරුම් ගන්න. සංඝ සමාජයේ අපි අතින් සිදුවිය හැකි ලොකුම රැවටීම උතුම් තෙරුවන් රැවටීම බව අපි කාරුණිකව තේරුම්ගත යුතුව තිබෙනවා. මෙය සටහන් තබන භික්ෂුව සෑම නිමේෂයකදීම සිතනවා භික්ෂුව උතුම් තෙරුවන්ව රවට්ටනවාද කියලා. පිංවත ඇලීම් සහ ගැටීම් බහුල ලෝකය තුළ උතුම් තෙරුවන් අමතක වෙලා යනවා. පිංවත් තරුණ භික්ෂුවක් කියනවා, ස්වාමින් වහන්ස මට බුදුරජාණන් වහන්සේ සිහිපත් වෙන කොට, කේන්ති යනවාය කියලා. පිංවත භික්ෂුවකට උරුම උතුම් ශීලයන් රැකීම කෙරෙහි අකමැත්ත, ඒ නිසාම සකස් වෙන ඉන්ද්‍රීය අසංවරය, මෙවැනි මානසික ව්‍යාධීන් අපි තුළ ඇතිකොට දෙන්න පුළුවන්. පිංවත බුද්ධානුස්සතියෙන්,ධම්මානුස්සතියෙන්, සංඝානුස්සතියෙන්, ඔය වැනි මෝහ සිතුවිලි වලට වැට බඳින්න. පිංවත ඔබේ ජීවිතය අධ්‍යාත්මිකව ශක්තිමත් කොටගන්න අවශ්‍ය නම්, කායිකව ඔබ යම් පාලනයක් ඇතිකොට ගන්න ඕනේ. බුදුරජාණන් වහන්සේ සංඝ සමාජයේ අපිට විකාළ භෝජනා ශිල්පදය පනවන්නේ, ප්‍රත්‍යවෙක්ෂා ශීලය අපිට උගන්වන්නේ, කාම, රාගයන්ගෙන් අපිට සිදුවෙන පීඩාවන් අවම කොට දෙන්නමයි. මේ උතුම් පැනවීම් මගහැර අපි කය සතුටින් පෝෂණය කරනවා නම්, ඉපිලෙන කයේ ඕජාවෙන් අපි කෙසේ නම් කාම, රාගයෝ අවනත කොටගන්නද. පිංවත අවිද්‍යාවෙන් උපන් කාත් කවුරුවත් නැති ලෝකයක, තවදුරටත් අතරමං වෙන්න එපා. අපි මේ සොයන්නේ ජාති, ජරා, ව්‍යාධි මරණයි, පිංවත ඔබ රජ කෙනෙක්, සිටු කෙනෙක් වෙන්න පුළුවන්, ඔබ ඔය සොයන්නෙත් ජාති, ජරා, ව්‍යාධි, මරණයන්මයි. පිංවත ජාති, ජරා, ව්‍යාධි, මරණ ලෝකය තුළ තියලා, අපි කවදාද ලෝකයෙන් නිදහස් වෙන්නේ.

පිංවත පංචඋපාදානස්කන්ධ ලෝකය කියන්නේ මිරිඟුවක්. ලෝකය ලස්සනට පෙනුනත් ජරා, ව්‍යාධි, මරණ සැඟවිලා තිබෙනවා. පිංවත ලෝකය මිරිඟුවක් වුණත්, අපිට පුළුවන් නම්, ලෝකය මිරිඟුවක් යැයි දකින සිත, චිත්තානුපස්සනාවෙන් හෝ ධම්මානුපස්සනාවෙන් දකින්න, එතැන භව නිරෝධයට වැටෙන පොද වැස්සක් තිබෙනවා. පිංවත නිවනට පොද වැසි වැටෙන්න නම්, මනුෂ්‍ය ජීවිතවලට සතුට තිබෙන්නට ඕනේ. සතුට අහිමි ජීවිතවලට කෙසේ නම් විදර්ශනාවේ පොද වැසි වැටෙන්නද. අපි අහිංසක ජනතාවට ධර්මය දේශනා කළත්, ජනතාව පසුවෙන්නේ දෙලොවක් අතර, ඇළ කණ්ඩිය දිගේ භික්ෂුව පිණ්ඩපාතයේ වඩිද්දී සිඳීගිය ඇළ මාර්ග විඩාබර මුහුණින් භික්ෂුව දෙස බලාගෙන සිටිනවා. ඇය කැමතියි වතුර පුරවාගෙන ආශ්වාදයෙන් ගලා බසින්න. ඇය කැමතියි පූදින්න නලියන ගොයමට ජීවිතය දෙන්නට. ඇය කැමතියි අහිංසක ගොවි ගෙවල් බත බුලතින් පුරවලා දෙන්න. අජීවි ඇය, සජීවී අපිට පූර්වාදර්ශයක්. පිංවත වලාකුළු නැති ථීනමිද්ධයෙන් බරවුණ අහස්කුස වැස්ස අමතක කරලා. කුටියේ කැපකරු මහත්තයා භික්ෂුවට කියනවා, ස්වාමින් වහන්ස, එක යායට ගොයම පූදින්න වෙහෙසෙනවා, ඒත් වැව්වල වතුර නැහැය කියලා. පිංවත ඇළ මාර්ග වතුර බලාපොරොත්තු වුණත්, පූදින ගොයම තෙතමනය බලාපොරොත්තු වුණත්, මෙවර වැසි ඇවිල්ලා නැහැ. වැස්ස අපි සමග විරසක වෙලා. පිංවත අපිත් සමග වැස්ස තරහා වෙන්න හේතුවක් තිබෙනවා. අජීවි වැස්ස සජීවී අපිට ධර්මයක් කියලා දෙනවා. පිංවත යම් රටක පාලක පිංවතුන්ලා අධර්මිෂ්ඨ වෙද්දී, සමාජය අධර්මිෂ්ඨ වෙලා, සෘතු විකෘති වෙනවා, අව්ව වැස්ස විකෘති වෙනවා. මහ පොළව නිසරු වෙනවා. භව භෝග සම්පත් ශරීරයට විෂ සහිත වෙනවා, එහි අවසාන ඵලය ජනතාව කර්ම රෝගයන්ට ගොදුරුවීමයි කියලා ධර්මයේ සඳහන් වෙනවා. පිංවත අජීවී ඇළ දොල, වතුර යදිද්දී, අජීවී කෙත්වතු අස්වනු උදෙසා තෙතමනය බලාපොරොත්තු වෙද්දී, අජීවී පරිසරය මනුෂ්‍යයා ජීවත් කරවද්දී, ජනතාවගේ ඡන්දයෙන් තෝරාගත් සජීවී නායකයෝ වැස්සේ නැතිනම් විදුලිය නැහැය කියනවා. වැවේ වතුර නැතිනම් කුඹුරු කරන්න එපා යැයි කියනවා. පිංවත පිංවත් පාලකතුමන්ලා රටට අවශ්‍ය වෙන්නේ නැතිවාදම කියන්න නොවේ. කැලෑ විනාශ කරලා තිබෙන වැස්සත් අවමකොට ගන්න නොවේ. වැව් ගොඩවෙන්න ඇරලා ඉඩෝරයට හූල්ලන්න නොවේ. ස්වභාවික අභියෝගයන් ඉදිරියේ, “ස්වභාවධර්මයට් ජනතාවගේ අපේක්ෂාවන් උදෙසා කළමනාකරණය කොට ගැනීමටයි. පිංවත පාලක පිංවතුන්ලාගේ අපේක්ෂාව බලයම වූ කල්හි, ජනතාවගේ අපේක්ෂාවන් දංගෙඩියට යෑම හේතුඵල ධර්මයක්ම වෙනවා.

පිංවත අපි මේ සංවර්ධනය යැයි පුන පුනා වෙන්දේසි කරන්නේ අධර්මිෂ්ඨභාවයම නේද. මිච්චා වාචාවන්ට මනුෂ්‍යත්වය තවරා, විසඳුම් නාමයෙන්, වචනයෙන් වචනය බෙදා දෙන්නේ අධර්මිෂ්ඨභාවයම නේද. පිංවත අපි කවුරුන් ගැනවත් උදහස් වියයුතු නැහැ. ධර්මය රවට්ටන්න කාටවත්ම බැහැ. නමුත් වර්තමානයේ අකුසල් ධර්මයෝ බලවත් නිසාම, පැටවු ගහන්නෙත් අකුසල්මයි. නමුත් අපි මේ ඔඩුදුවන අකුසලය සතුටින් පිළිගත යුතු නැහැ. අකුසලය සතුටින් පිළිගත්තොත් අකුසලයමයි අපේ ජීවිතය වෙන්නේ. පිංවත ජනතාවට දුක් වැඩි නිසාම, දුක ගැන හැඟීමක් ජනතාවට නැහැ. දුක සතුටින් පිළිගන්න තත්වයට සමාජය පත් කරලා තිබෙනවා. පිංවත, සැප විඳින ඇත්තෝ සුවසේ සැප විඳින්න නම්, දුක් විඳින ඇත්තෝ දුක අමතක කරලා ජීවත්වෙන්න ඕනේ. පිංවත අධර්මිෂ්ඨ පාලක පිංවතුන්ලා සමාජයට සීමාව ඉක්මවා දුක් දෙන්නේ, දුක ඔබේ ජීවිතයට ජීරණය කොට දෙන්න. පිංවත දුක ළඟ නවතින්න එපා.

ගෞරවණීය පිංවත ඔබ පුණ්‍යවන්ත මනුෂ්‍යයෙක් වුණේ එක්කෝ දුක නිරෝධය දෙසට ගමන් කරන්න, එක්කෝ දුක ජයගෙන සැපයෙන් තාවකාලිකව හෝ නැගීසිටින්න. පිංවත මේ කාරණා දෙකෙන් එකක් තෝරාගන්න, එවිටයි ඔබ මනුෂ්‍යත්වයට වටිනාකමක් දුන්නා වෙන්නේ. පිංවත අධර්මිෂ්ඨභාවයෙන් ඔබව පීඩාවට පත්කරන පිංවතුන්ලාගේ සැපය උදෙසා පිංවත් ඔබ දුක සතුටින් පිළිගන්න නම් එපා. පිංවත දුක ජයගන්නා අවිය ශීලයයි, මෛත්‍රියයි, මේ සෘතු විකෘතීන්, අව්ව වැස්ස විකෘතීන් ඔබට බලකරනවා, සිහිනුවණින් දුකට හේතුව දෙස බලන්නය කියලා.

පූජ්‍ය රාජගිරියේ
අරියඥාන ස්වාමින්වහන්සේ

advertistmentadvertistment
advertistmentadvertistment