පන්හිඳක තැවරුණු සංඝනායක දිවිමඟ

845

පන්නිපිටිය, මොරකැටිය පරමධම්ම විහාරය, දෙපානම ශ්‍රී දේවාධාර විහාරය යන උභය විහාරාධිපති සල්පිටි කෝරළයේ ප්‍රධාන සංඝනායක, ප්‍රවචන කීර්ති ශ්‍රී පියදස්සි, ශාස්ත්‍රපති සාම විනිසුරු කොට්ටාවේ පේමරතන නාහිමිපාණන් වහන්සේගේ ආගමික හා සමාජ සත්කාරය ඇගයීමට දරන ලද වෑයමකි.

නිල් අහසේ ඉගිලීමට මානව සංහතියට ඉගැන්වීමට වෙර ගත්තත් රාගාදී අකුසල සිතුවිලිවලින් බරිත සිත් ඇති, මනසින් උසස් යැයි සලකන ‘මිනිසා’ නම් සත්ත්වයාගෙන් පිරි සමාජයක් වත්මනේ පවතින බව කාටත් නොරහසකි. එබැවින් එවන් වූ සමාජයක උතුම් වූ පැවිදි දිවියක් ලබා ලාභ සත්කාර පසෙකළා සියලු සත්ත්වයින් වෙනුවෙන් මුළුමනින්ම කැප වූ සංඝ සමාජයක් පවතී ද? එය මවිසින් පාඨක ඔබට සිතීමට ඉතිරි කරමි. නමුත් මඩගොහුරුවේ පිපෙන නිමල සියපත සේ රුදුරු මිනිසුන් අතරේ සොඳුරු මිනිසෙකු සිටී නම් එවන් උතුම් පුද්ගල චරිතයකට සිල්වත් සමාජයකට සවිමත් පාදමක් නිර්මාණය කළ හැක. එබැවින් එවන් පාදමකට මා හොඳින් හඳුනන, කරුණාව, දයාව, මෛත්‍රිය පිරි උතුම් ජීවමාන නිදසුන නම් අපේ ‘ලොකු හාමුදුරුවන්’ වහන්සේයි.

ක්‍රි.ව. 1942 මැදින් මස එක්විසි දින දෛවඥ ඩී. එස්. බාලසූරිය මහතාට හා එච්. සෝමාවතී බාලසූරිය මහත්මියට දාව සහෝදර සහෝදරියන් දස දෙනෙකුගෙන් යුක්ත වූ පවුලක හයවන දරුවා ලෙස පින්වත් පුත්‍ර රත්නයක් උපත ලැබීය. ඔහු දොන් පේමදාස නම් විය.

ක්‍රි.ව. 1946 දී තව මූලික අධ්‍යාපනය සඳහා කොට්ටාවේ ආනන්ද මහා විද්‍යාලයට ඇතුළත් වූ පේමදාස පුතු ක්‍රි.ව. 1955 දී 8 ශ්‍රේණිය සමත්ව පාසල් අධ්‍යාපනයට සමු දී ක්‍රි.ව. 1956 දී වෙසක් මස සුවිසි දින බුද්ධ ජයන්තිය නිමිති කර ගනිමින් කොට්ටාවේ පේමරතන නමින් සසුන්ගත විය. ගෞර්වාර්හ පන්නිපිටියේ පියදස්සි මාහිමි, අතුරුගිරියේ සද්ධාතිස්ස මාහියන් මෙන්ම ඇරැව්වල සුමනතිස්ස මාහිමිපාණන් යන වන්දනීය ස්වාමීන් වහන්සේ පේමරතන සාමනේරයාණන් වහන්සේගේ ගුරුවරුන් විය. ක්‍රි.ව. 1957 දී තම මූලික පිරිවෙන් අධ්‍යාපනය අරඹමින් ගුරු සිත නොරිදවා, මනා හික්මීමෙන් අති දක්‍ෂව තම පිරිවෙන් අධ්‍යාපනය සම්පූර්ණ කර පේමරතන සාමනේරයාණෝ ක්‍රි.ව. 1964 දී තම උසස් අධ්‍යාපනය සඳහා විද්‍යෝදය විශ්වවිද්‍යාලයට ඇතුළත් වූ අතර එම වසරේම ඇසළ මස පහළොස් වැනි දින කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමග්‍රී ධර්ම මහා සංඝ සභා උපෝසථාගාරයේ දී උතුම් උපසම්පදාව ලද්දෝය. ක්‍රි.ව. 1967 දී ශාස්ත්‍රවේදී උපාධිය සම්පූර්ණ කළ අප මාහිමිපාණෝ ඉන් නොනැවතී බුද්ධ ධර්මය පිළිබඳ ගෞරව ශාස්ත්‍රවේදී උපාධියත්, පශ්චාත් උපාධි අධ්‍යාපනය ඩිප්ලෝමාව මෙන්ම පාලි හා බෞද්ධ විශ්වවිද්‍යාලයේ ශාස්ත්‍රපති උපාධියත් ලබාගැනීමට සමත් වූ අතර පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ බෞද්ධ දර්ශනය පිළිබඳ පාඨමාලාවක් ද හැදෑරීමට සමත් වූවෝය.

සිය බුද්ධ පුත්‍ර භූමිකාවේ සිට ස්තිථික නොවූ ගතික ප්‍රපචංයක් වූ සමාජයේ දිවි ගෙවූවන්ට ධර්මඥානය මෙන්ම කරුණාව ද දායාද කළ පේමරතන හිමිපාණෝ පාසල් වියේ පසුවූ බාලක බාලිකාවන්ට ද සිය ගුරු භූමිකාව හරහා අධ්‍යාපන හා සමාජ ඥානය ද ආදරය, කරුණාව ද නොමඳව දායාද කරමින් ක්‍රි.ව. 1959 දී පරමධම්ම දහම් පාසලින් ඇරඹි ගුරු දිවිය, වසර 21ක් පුරාවට දූ දරුවන්ගේ නැණ පහන් දල්වමින් ගත කර ක්‍රි.ව. 1996.12.16 දින සිය ගුරු භූමිකාවට ද සමු දුන්නෝය.

බුද්ධ පුත්‍රයෙකු, ගුරුවරයෙකු මෙන්ම සමාජ ක්‍රියාකාරිකයෙකු ලෙස සමාජයට විවිධ සේවා ඉටුකරන පේමරතන ස්වාමීන් වහන්සේ පරම ධම්ම දහම් පාසල තුළ ප්‍රශස්ථ අධ්‍යාපනික වටපිටාවක් නිර්මාණය කර ඇත. එහි ප්‍රතිඵල ලෙස හැදියාවෙන් හා දැනුමින් පොහොසත් දුවාදරුවන් විශාල ප්‍රමාණයක් අප දහම් පාසල මගින් සමාජගත කර ඇත. ප්‍රදේශයේ පාසල්, පෙර පාසල්, ජංගම පුස්තකාල ආරම්භ කරමින් සමාජ සංවිධානවලට ද තම නොමඳ දායකත්වය දුන් අප නායක ස්වාමීන් වහන්සේ විදෙස් රටවල ද ධර්ම දූත සේවාවන්වල යෙදුනහ.

වර්තමානය වනවිට පන්නිපිටියේ ශාසනාරක්‍ෂක බල මණ්ඩලයේ සභාපති ධුරය දරන අප මාහිමියෝ 2006 දී කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවෙන් පිරිනමන ‘ප්‍රවචන කීර්ති ශ්‍රී’ යන ගෞරව නාමයෙන් ද පිදුම් ලබා සල්පිටි කෝරළයේ ප්‍රධාන සංඝනායක පදවියට සම්මත වන ලදි. තවද මහරගම සමථ මූල මණ්ඩලයේ සභාපතීත්වය දැරූ උන් වහන්සේ නිබඳවම පරාර්ථය වෙනුවෙන් කැපවූ අසහාය පුද්ගල චරිතාපදානයකි. එබැවින් තවත් චිරාත් කාලයක් මෙවන් වූ සේවා සමුදායක් මේ මිහිතලයට සිදුකිරීමට ඔබ වහන්සේට සියලු ශක්තිය ධෛර්ය ලැබෙනු නිසැකය.

සමාධි දහනායක

advertistmentadvertistment
advertistmentadvertistment