ලංකාවේ සැබෑ අයිතිකරු කවුද? – (ඉන්දියාවද නැත්නම් චීනයද?)

962

ශ්‍රී ලංකාව යනු ඉන්දියාවේ කොටසක් බව සංචාරක ඇමැති හරින් ප්‍රනාන්දු පසුගියදා ඉන්දියාවේ මුම්බායි නගරයේ පැවැති සම්මන්ත්‍රණයකදී පැවැසීය. ඔහුගේ කතාවට කිසියම් තර්කයක් තිබේ. ත්‍රිකුණාමලයේ පැවැති තෙල් ටැංකිවලින් විශාල කොටසක් ඉන්දියානු සමාගම්වලින් බදු ගෙන ඇත. ලංකාවට සූර්ය බලශක්තිය සැපයීමේ ලොකුම කොටස්කාරයා ඉන්දියාවය. එසේම ඉන්දියානුවන් විදේශ සංචාරයෙහි යෙදෙන්නේ නම් පළමුවත් දෙවනුවත් තෙවනුවත් ලංකාවේ සංචාරය කරන ලෙස ඉන්දීය විදේශ කටයුතු ඇමැතිවරයා පසුගියදා කී බවද හරින් ප්‍රනාන්දු කීවේය. ලංකාව ඉන්දියාවේ කොටසක් ලෙස ඔහු හඳුන්වන්නේ මේ තර්කය පදනම් කරගෙනය. මෙහිදී විදේශ ඇමැතිවරයාගේ කතාව ගැන කීමට යමක් අපට තිබේ. ඔහු ලංකාවටම යන ලෙස ඉන්දියානු සංචාරකයන්ගෙන් ඉල්ලා සිටියේ මාලදිවයිනට ෂොට් එක දීම සඳහාය. මාලදිවයින සහ ඉන්දියාව අතර මේ දිනවල රාජ්‍ය තාන්ත්‍රික අර්බුදයක් පවතී. පැහැදිලිවම පෙනෙන ලෙස චීනය විසින් මාලදිවයින බාගනු ලැබ ඇත. මේ නිසා මාලදිවයිනේ අලුත් ජනාධිපති චීනය සමඟ විශාල සම්බන්ධකම් ආරම්භ කරමින් චීන ආර්ථිකය මත්තෙහි ජීවත්වීමට තීන්දු කර තිබේ. මේ සම්බන්ධයෙන් ඉන්දියාව තුළ බලවත් කෝපයක් පවතී. වෙනදා ඉන්දියානුවෝ විශාල වශයෙන් මාලදිවයිනෙහි සංචාරය කළහ. ලංකාවට පමණක් එන ලෙස ඉල්ලමින් ඉන්දියන් විදේශ ඇමැතිවරයා කළ ප්‍රකාශයට අනුව මාලදිවයිනට සෑහෙන ඩොලර් ප්‍රමාණයක් අහිමිවීමට නියමිතය. මෙහිදී අන්තිමටම ලංකාවට කෙළවෙන්නේය. මාලදිවයින තුළ ලාංකිකයන්ගේ ආයෝජන විශාල වශයෙන් පවතී. මාලදිවයිනේ සංචාරක හෝටල් වැඩිහරියක් අයත් වන්නේ ලංකාවටය. මාලදිවයිනේ සුපර් මාර්කට් සියල්ලටම බඩු යන්නේද ලංකාවෙනි. මාලදිවයිනේ පිහිටි වෙනත් වෙළෙඳ ආයතන වලටත්, හෝටල්වලටත් බඩු යන්නේද ලංකාවෙනි. මේ නිසා ඉන්දියානුවන් නොපැමිණීමෙන් ඇතිවන විදේශ විනිමය හිඟය ඉදිරිපිට මාලදිවයින් මුදලාලිලා දණගහන විට ලාංකික ආයෝජකයන්ට සිදුවන්නේ බඩගෑමටය. මේ නිසා ඉන්දියන් විදේශ ඇමැති දැන හෝ නොදැන කරන ලද ප්‍රකාශයෙන් ලංකාවට ලොකු ඩැමේජ් එකක් සිදුවී ඇත. කෙසේ වුවද හරින් කියන පරිදි ලංකාව ඉන්දියාවේ කොටසක් නම් ලංකාවේ අයිතිකරු ද ඉන්දියාවය.

ලංකාව සහ ඉන්දියාව අතර පවත්නා සම්බන්ධකම් ගැන දීර්ඝකාලීනව කතාකරනු ලැබේ. බුදුහාමුදුරුවන් ඉන්දියාවේ නොව ලංකාවේ උපන් බව කීමට පසුගිය අවුරුදු 10 ක පටන් සිංහල බෞද්ධයන් පිරිසක් ඉදිරිපත්ව සිටිති. මෙහි ශාසනික ප්‍රමුඛයා වන්නේ මීවනපලානේ හාමුදුරුවන් නැමැති භික්‍ෂුවකි. උන්වහන්සේගේ පිටිපසින් ගමන්ගන්නා පුරාවිද්‍යාවට ලොල්වූ කිහිප දෙනෙක් ද මේ මතයෙහි එල්ලී සිටී. බුදුහාමුදුරුවන් උපන් තැන උන්වහන්සේ මෙලොවට බිහිවන අවස්ථාවේදී වෙරගැනීම සඳහා මහාමායා දේවිය විසින් අල්ලා ගන්නා ලද සල්අත්ත සහිත ගස තිබූ තැන නේරංජනා නදිය, අනෝමා ගඟ, බුදුන් වහන්සේ බුදුවූ බෝ ගස පිහිටි තැන, උන්වහන්සේ සක්මන් කළ සක්මන් මළුව, උන්වහන්සේ සත්සතිය ගතකළ එක් තැනක් වූ රුවන්ගෙය පිහිටි තැන, මුචලින්ද නාගරාජයාගේ විල යන භෞතික මූලාශ්‍ර පමණක් නොව අනෝතත්ථ විල පිහිටි තැනද පොතුහැර සහ ඒ අවට වූවායි පිළිගන්නා පිරිස් දැන් සෑදෙමින් සිටිති. අප මේ කියන්නේ කිසියම් විඥානවාදී කතන්දරයක් ගැනය. මන්ද අප පෙර කී සියලුම තැන් ඉන්දියාවේද ඒ ආකාරයෙන්ම පිහිටා තිබේ. කෙසේ වුවද ලංකාව සහ ඉන්දියාව අතර භූගෝලීය සම්බන්ධකමක් තිබී ඇත. ඒ අවුරුදු මිලියන තුන්සියයකට පමණ ඉහතදීය. මෙකල ලංකාව සහ ඉන්දියන් උප මහාද්වීපය නැමැති බිම්කඩවල් දෙකම තිබුණේ පැන්ජියාව නැමැති යෝධ මහාද්වීපයක කොටසක් ලෙසය. එහෙත් පෘථිවියෙහි තිබෙන භූ තැටි චලනය වෙමින් ගමන් කිරීමේ ක්‍රියාවලයට අනුව ඉන්දියාව පැන්ජියාවෙන් වෙන්විය. ඉන් පසු ලංකාව ඉන්දියාවෙන් වෙන්විය. ලංකාව සහ ඉන්දියාව පැන්ජියාවට සෙට්වී තිබූ යුගය පර්නියන් යුගය ලෙස හඳුන්වනු ලැබේ. එසේම ලංකාව සහ ඉන්දියාව පැන්ජියාවෙන් වෙන්වූ යුගය ටි්‍රයාසික් යුගය ලෙස හඳුන්වනු ලැබේ. මීට අමතරව ඉන්දියාවේ රාමේශ්වරම් සිට ලංකාවේ මන්නාරම දක්වා දීර්ඝ හුණුගල් වැටියකින් ලංකාව සහ ඉන්දියාව අදටත් සම්බන්ධ වී තිබේ. මෙය රාමායනය නැමැති ප්‍රවාදයට සම්බන්ධ කර රාමපාලම යන නම එයට ලබාදී තිබේ. මීට අවුරුදු බොහෝ ගණනකට පෙර මන්නාරමේ කරන ලද කැණීමකදී රයිනෝසිරස්ලාගේ දත් කිහිපයක් හමුවිය. ලංකාවේ රයිනෝසිරස්ලා නැත. එහෙත් ඉන්දියාවේ කැලෑවල රයිනෝසිරස්ලා ඇත. මීට අවුරුදු මිලියන ගණනකට පෙර මන්නාරමේ රයිනෝසිරස්ලාගේ දත් ගලවන ඩෙන්ටල් එකක් තිබූ බවත් ඉන්දියාවේ කැලෑවලින් රාමපාලම දිගේ පැමිණි රයිනෝසිරස්ලා එම ඩෙන්ටල් එකෙන් දත් ගලවා ගන්නට ඇති බවත් කෙනකුට තර්ක කිරීමට පුළුවන. විශේෂයෙන්ම මෙවැනි විකාර තර්ක ඉදිරිපත් කිරීමට කැමැති කට්ටිය ලංකාවේ සිටිති. එහෙත් ඇත්තම කතාව නම් ලංකාව සහ ඉන්දියාව එක් යුගයකදී එකම බිම්කඩක්ව තිබූ අතර ඉන්දියාවේ කැළෑ වල සිටි රයිනෝසිරස්ලා ලංකාවේද සැරිසරන්නට ඇති බවය. දැන් අපි ඇත්තටම ලංකාව අයිති කාටදැයි බලමු. අපට පෙනෙන හැටියට ලංකාව චීනයට අයිති වෙමින් පවතී. චීනය මේ රටේ සල්ලි ආයෝජනය කර පෝර්ට්සිටිය නැමැති අලුත්ම දූපතක් තැනුවේය. එය මුහුද ගොඩකර තනන ලද්දකි. එසේම ලංකාවේ චීන වරායවල් දෙකක්ම තිබේ. ඉන් එකක් ත්‍රිකුණාමලයේ පිහිටි අතර අනෙක ඇත්තේ හම්බන්තොටය. මීට ශත වර්ෂ ගණනාවකට පෙර මෙහි පැමිණි චීන සෙනවියෙක් එකල සිටි රජතුමාට කණට දෙකක් දී පවුල පිටින්ම කුදලාගෙන චීනයට ගෙන ගියේය. ලංකාවට වැඩිම මුදලක් ණයට දී ඇත්තේ චීනයයි. චීනයේ ආර්ථිකය මේ වනවිට ක්‍රමයෙන් අවුල් වෙමින් පවතින අතර ලංකාවට ණයට දුන් සල්ලි චීනා එකවර ඉල්ලා සිටියොත් අප සියලු දෙනාටම සිදුවන්නේ ඉන්දියන් සාගරයට පැන මියයෑමටය. එවිට ලංකාවට දී ඇති ණය මුදල සලකා බලා ඊට හිලව්වට මුළු ලංකාවම අත්පත් කරගැනීමට චීනුන්ට අවකාශය ලැබෙන්නේය.

advertistmentadvertistment
advertistmentadvertistment