චෞර චක්‍රය සහ ජන වරම

1501

සිංගප්පූරුවේ බලගතුම දේශපාලනඥයන්ගෙන් කෙනකු වන ප්‍රවාහන ඇමැති එස්. ඊස්වරන් ජූලි 11 අඟහරුවාදා උදේ අත්අඩංගුවට ගන්නා ලදි. හාවඩ් විශ්වවිද්‍යාලයේ කීර්තිමත් ආදි ශිෂ්‍යයකු වන ඊස්වරන් බිස්නස්කාරයෙකි. ඔහු මැලේසියාව සමග ව්‍යාපාර කළේය. ඒ අතර මැලේසියාවේ සිටින ඔහුගේ ව්‍යාපාරික හවුල්කාර ඔං බෙං සෙං එරට පොලිසිය මගින් මුදල් වංචා චෝදනා යටතේ අත්අඩංගුවට ගෙන තිබිණ. ඔහු දේපළ වෙළෙඳාම් කළ අයෙකි. ඔං බෙං සෙං ගේ කට උත්තරයේදී ඊස්වරන්ගේ නම කියවිණ. සිංගප්පූරු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඊස්වරන් අත්අඩංගුවට ගන්නේ එම කටඋත්තරයට අනුවය. ඊස්වරන්ට වඩා මුදල් ඔං බෙං සෙං සතුව ඇත. ඔහු බිලියනපතියෙකි. මූල්‍ය වංචාවකට සිය ප්‍රවාහන ඇමැතිවරයා සම්බන්ධ බව දැනගත් වහාම සිංගප්පූරු අගමැති ලී සියෙන් ලුං පොලිසියට පණිවිඩයක් යවා ඇමැතිතුමා අත්අඩංගුවට ගන්නැයි නියෝග කළේය. පැය 48 ක් ඇතුළත ප්‍රවාහන ඇමැතිතුමාට ඇප දෙන ලදි. ඉන්පසු ඇමැතිකමින් වහාම අස්වන ලෙස අගමැති විසින් ප්‍රවාහන ඇමැතිට නියෝග කරන ලදි. වර්තමාන සිංගප්පූරු අගමැතිතුමා වූකලී සිංගප්පූරුවේ පීතෘවරයා වූ ලී ක්වාන් යූ ගේ පුත්‍රයා ය.

ලී ක්වාන් යූ සිංගප්පූරුව යන රට නිර්මාණය කළේ බොහෝ අමාරුවෙනි. එක්දහස් නවසිය පනස් ගණන්වල මුල භාගය වනතුරුත් සිංගප්පූරුව නමැති රටක් ආසියාවේ තිබුණේ නැත. අද සිංගප්පූරුව තිබෙන තැන එදා තිබුණේ නමක් නැති කුඩා ධීවර ගම්මානයකි. එය මැලේසියාවට අයත් විය. එම භූමියේ තිබුණේ වැලි පස් පමණි. ගහ කොළ හෝ පානීය ජලය එහි තිබුණේ නැත. එහි ජන ප්‍රධානියා වූ ලී ක්වාන් යූ මේ නිසරු භූමිය රටක් බවට පරිවර්තනය කරන්නට 1965 දී තීරණය කොට එම අවුරුද්දේ අගෝස්තු 9 දා මැලේසියාවෙන් වෙන් විය. ලී ක්වාන් යූ සමග එක්වී අලුත් රටක් නිර්මාණය කිරීමට කැමැති වූ චීන සම්භවයක් ඇති මැලේසියානු ධීවරයෝ දහසක් පමණ මැලේසියාවේ පිහිටි සිය ගම් බිම් අතහැර පැදුරු කොට්ට හිස තබාගෙන අලුත් ජනාවාසයට පැමිණියහ. මුලදී කාන්තාරයක් වැනි මේ භූමියේ විසූ ජනතාවට තිබුණු එකම ආදායම් මාර්ගය වූයේ මැලේසියාවට මාළු විකිණීම පමණි. ලී ක්වාන් යූ චීන සම්භවයක් ඇති මැලේසියානු ධීවරයන් අමාරුවේ දමන බව කියමින් එවකට මැලේසියාවේ විසූ නායකයෝ සිනාසුනහ. ලී ක්වාන් යූ කෑම බීම හා වතුර හිඟය නිසා සිය අනුගාමිකයන් ද සමග ළඟදීම පරලොව යනු ඇතැයි මැලේසියානු නායකයෝ ප්‍රසිද්ධියේම කීහ. එහෙත් ලී ක්වාන් යූ වැඩේ අත්හැරියේ නැත. ඔහු සිය අනුගාමිකයන් එකතුකොට ඔවුන් සියලු දෙනාටම උදලු ලබාදී වැලි පස හාරා එහි යට තිබෙන සාරවත් පස ගොඩදමන ලෙස ඉල්ලා සිටියේය. වර්ග සැතපුම් 283 ක භූමි වපසරියකින් සමන්විත මේ ඉතා කුඩා භූමිය සාරවත් පස්වලින් වැසීමට හය මාසයක් තුළ ධීවර ප්‍රජාවට හැකි විය. ඊළඟට තවත් ප්‍රශ්නයක් මතු විය. ඒ වූකලී පස සාරවත් වුවද සිංගප්පූරුව තවදුරටත් ගහ කොළ නැති කාන්තාරයක් පමණක් වීමය. සිංගප්පූරුවේ වැවීම සඳහා තමන්ට ගස් ලබා දෙන්නැයි ලී ක්වාන් යූ ආසියාවේ රටවලින් ඉල්ලා සිටියේය. ඒ ඉල්ලීම ඇසූ මැලේසියානු නායකයෝ ගසක් තබා තණකොළ පැලයක්වත් ලී ක්වාන් යූ ට ලබාදීම ප්‍රතික්ෂේප කළේය. එම ඉල්ලීමට සවන් දී ලී ක්වාන් යූ ට උදව් කළේ ශ්‍රී ලංකාවේ අගමැතිව සිටි ඩඩ්ලි සේනානායක පමණි. ලංකාවේ වනාන්තරවලට ගොස් ඕනෑ තරම් පැළ වර්ග ගලවාගෙන යන ලෙස ඔහු ලී ක්වාන් යූ ට දැන්වීය. යාත්‍රා කිහිපයක් කුලියට ගත් සිංගප්පූරු ධීවරයෝ ලංකාවට පැමිණ ඇති තරම් ගස් ගලවාගෙන ගියහ. මේ පැළෑටි මහා වෘක්ෂයන් බවට පත්වී අදටත් සිංගප්පූරුවේ ජාතික උද්‍යානයේ පවතී. රටේ ගහ කොළ ඇතිවීමත් සමගම වතුර ප්‍රශ්නය විසඳින. ඒ අතර ලී ක්වාන් යූ මුළු ලෝකයටම ආමන්ත්‍රණය කරමින් සිංගප්පූරුවට පැමිණ කර්මාන්ත පටන් ගන්නා ලෙසත් එරට බද්දෙන් නිදහස් වෙළෙඳ කලාපයක් බවත් ප්‍රකාශයට පත් කළේය. සිංගප්පූරුව දියුණු වීමට පටන්ගන්නේ එතැන් සිටය. ඊළඟට ලී ක්වාන් යූ ලෝකයේ හොඳම වරායවලින් එකක් සිංගප්පූරුවේ ඉදි කළේය. ලංකාවේ වරාය කම්කරුවන් නිතර වැඩ වර්ජනය කරනු දුටු ඔහු එම වර්ජන නිසා අපහසුවට පත්වන නැව් තම වරායට කැඳවාගෙන අඩු ගාස්තු ක්‍රමයක් යටතේ සේවා සපයන්නට පටන් ගත්තේය. සිංගප්පූරුව අද වනවිට ලෝකයේ තිබෙන ධනවත්ම රාජ්‍යවලින් එකකි. රට තුළ තඹ සල්ලියක හොරකමක් සිදුවීමට ඉඩ නොදුන් මේ ධෛර්ය සම්පන්න රාජ්‍ය නායකයා සොරුන්ට දැඩි දඬුවම් පැන වූයේය. පසුකාලයේදී ස්වකීය ජීවන අත්දැකීම් සහ දේශපාලන අත්දැකීම් අලළා ලී ක්වාන් යූ විසින් පොතක් ලියන ලදි. From Third World To First නමැති මේ පොතේ එන පරිදි තුන්වන ලෝකයේ දේශපාලනඥයන් බලයෙන් යම් තරමකට වැඩි වන්නේද, ඔවුන්ගේ ගෙවල්ද ඒ තරමටම ලොකු වන්නේය. ඔවුනට බිරින්දෑවරු ගහනයක්ම සිටින්නේය. ඔවුන් සතු දේපළ සහ රන් අබරණද විශාල නොව සුවිශාල වන්නේය. තුන්වන ලෝකයේ පිහිටි මෙකී දූෂිත ලක්ෂණ සහිත රටවල ව්‍යාපාර හෝ කර්මාන්ත කරන සිංගප්පූරු ජාතිකයන් පෙරකී දුර්ගුණ සිංගප්පූරුවට ගෙන ඒමෙන් වැළකී සිටිය යුතුය.

එදා ලී ක්වාන් යූ තුන්වන ලෝකයේ දූෂිත රටවල් ලෙස හඳුනාගත් රටවල් අතර ලංකාව ද ස්ථිර වශයෙන්ම තිබෙන්නට ඇත. අපේ රට 1948 සිට දූෂිත ය. ඉංග්‍රීසි අධිරාජ්‍යවාදියා එදා නිදහස ලබා දුන්නේ දූෂිත හොරෙකුටය. මේ හොරා එදා පටන්ම කළේ හොරකමය. අද පාර්ලිමේන්තුවෙන් නෙරපා දමා ඇති සිංගප්පූරු ප්‍රවාහන ඇමැතිතුමා වැනි අය මේ රටේ දේශපාලනය තුළ ඕනෑ තරම් දැකිය හැකිය. හැබැයි මේ හොරුන්ට විරුද්ධව අතක් එසවීමට කව්රුවත් සූදානම් නැත. එයට හේතුව එසේ ඔසවන අත සදාකාලිකවම අහිමි කරගැනීමට කව්රුත් අකමැති වීමය. මේ රටේ දේශපාලනය කරන වැඩිහරියකට දූෂණ වංචා පිළිබඳ නඩු තොග පිටින් තිබේ. එහෙත් අවසන් ඵලයේදී ඒවායින් නිදහස් වී පිරිසිදු පුද්ගලයන් ලෙස සමාජයට අවතීර්ණ වන ඒ හොරු නැවත වරක් සිය චෞර චක්‍රය කරකැවීමට පටන් ගනිති. හැම දේශපාලන නායකයකුම දුවන්නේ ඡන්ද ගොඩවල් පසුපසය. ජනතාවගේ ඡන්දයෙන් බලයට එන ජනතා නියෝජිත චෞරයන්ගේ සහය මේ නායකයන්ට නිතරම අවශ්‍යය. ඒ නිසා මේ රට දියුණු කළ හැක්කේ ජන වරමකින් තොරව බලයට එන නායකයකුට පමණි. එවැනි නායකයකුට කා සමගවත් කිසිදු බැඳීමක් නැත.

advertistmentadvertistment
advertistmentadvertistment