මේ මගේ කතාව – අසිහියෙන් ලියූ සටහන්

212

දෛවවාදය

මං හුඟක් දෛවය විශ්වාස කරන මිනිහෙක්. ඒ කිව්වෙ දෛවවාදියෙක්. මං එහෙම වුණේ ඇයි කියන්න මං දන්නෙ නෑ. සමහර විට ඒ, මගේ අම්මාගෙ ආභාසය නිසා වෙන්න ඇති. මොකද මොනවාහරි ගමනක් යන්න පිටත් වෙද්දි හූනෙක් චුක් චුක් ගෑවොත් අම්මා මට ගමන පිටත් වෙන්න දෙන්නෙ ප්‍රමාද කරලා. හැබැයි මගෙ දෛවවාදය අම්මාට එහා ගියා. අම්මා හුඟක් ඇදහුවේ හූනු සාස්තරේ, කපුටු සාස්තරේ, පොල්කිචි සාස්තරේ වගේ පොඩි පහේ දේවල්. මං මගෙ ජීවිතයම දෛවයට බාර දුන්නා.

මං විශ්වවිද්‍යාලෙන් අවුට් වෙලා අවුරුදු පහක් ගෙදරට වෙලා බලාගෙන හිටියා රස්සාවක් ලැබෙනකන්. ඒත් කවුරුවත් මට රස්සාවක් දුන්නෙ නෑ. කපුටා, මයිනා, තුසිල්-කුසිල්වත් දුන්නෙ නෑ. විභාගයට ඇඩ්මිෂන් නිකුත් කරලාත් තිබුණා. ඒත් විභාගෙ හෙට තියෙද්දි අද විභාගෙ අවලංගු කළා. ඒක කළේ අධිකරණයෙන්. පස්සෙ තුසිල්-කුසිල් කාටදෝ බැණගෙන බැණගෙන ගියා. ඊට පස්සෙ මිනිහා බුදියගත්තා. ඉතිං පස්වෙනි අවුරුද්දෙ අම්මා මාව ගෙයින් එළියට දැම්මා. “දැන් උඹ රස්සාවක් හොයාගනින්!”, අම්මා කිව්වා. මං පාරට බැහැලා යාළු මිත්‍රයින් ගේ බෝඩිම්වල නැවතුණා. ලොකු කාලයක් නැවතිලා හිටියා. දවසක් එක යාළුවෙකුට රස්සාවක් බලන්න මං පත්තර කන්තෝරුවකට ගොඩවැදුණා. යාළුවා හෙව්වෙ පරිගණක ටයිප් සෙටින් අංශයේ රස්සාවක්. පත්තරේ ඇබෑර්තුව තිබුණෙ කර්තෘ මණ්ඩලයට. යාළුවාට ඒකට සුදුසුකම් තිබුණෙ නෑ. මට තිබුණා. මොකද මං විශ්වවිද්‍යාලෙදි කැලෑ පත්තර ලියලා තිබුණා. අපේ සිංහල මහාචාර්යතුමාගේ උදව්වට ඒ වැඩේ කළේ. කාටහරි බැටේ දෙන්න ඕන වුණාම එතුමා මගෙන් ඒ උදව්ව ඉල්ලුවා. මං කරලා දුන්නා. විභාගෙ ගොඩදාගන්න ඕන හින්දා. ආචාර්ය මණ්ඩලේට බැඳීමේ අදහසකුත් මට තිබුණා. ඉතිං මාව පත්තරේට ගත්තා. ගත්තා කියන්නෙ ලියපු පළවෙනි ලිපියේ ඉඳලාම පත්තරේ පළ වුණා. පැදුරු වගේ. මගේ කැලෑ පත්තර ශෛලියේ ලිපිවලට කර්තෘතුමා කැමති වුණා. පත්තර අයිතිකාරයාත් කැමති වුණා. පත්තරේ අලෙවියත් වැඩි වුණා. හැබැයි එතනදීත් මං කල්පනා කළේ මට රස්සාව දුන්නෙ දෛවය කියල. වෙලාව ආවාම වැල්ලෙ වුණත් බඹරේ කැරකෙනවා කියල.

දෛවය මාව පාලනය කරන්න පටන්ගත්තෙ කවදා ඉඳලාද? මට ඒක මතක නෑ. මට මතකයි සාමාන්‍ය පෙළ පන්තියේදි අපට නිව්ටන් නියම කියා දුන්නා. උඩ දැම්මොත් බිම වැටේ යන්න නිව්ටන්ගේ එක නියමයක්. ඒත් මං ඒක පිළිගත්තෙ නෑ. ඒකට මට සාක්ෂි තිබුණා. මං වතාවක් යූටියුබ් එකට සිංදුවක් කරලා දැම්මා. ඒක ටිකක් ජනප්‍රිය වුණා. පස්සෙ කවුද කෙල්ලෙක් ඒකට කවර් සිංදුවක් කරලා යූ ටියුබ් එකට දැම්මා. ඒක කොච්චර ජනප්‍රිය වුණාද කිව්වොත් කෙල්ලට ඉන්දියාවෙනුත් ප්‍රසංග ලැබුණා. දැන් කෙල්ල ඉන්දියාවේ නතර වෙලා බොලිවුඩ් සිංදු කියනවා. මං මෙහේ දොයිතුව නැතුව ඉන්නවා.

තව දවසක් මට මතකයි මාව බස් එකෙන් ඇදගෙන වැටුණා. මගේ කොන්ද කැඩුණා. ඒත් මං බෙහෙත් ගත්තෙ නෑ. මං හිතුවා මට යන්න කාලෙ ඇවිත් කියල. මං මගේ ජීවිතේ දෛවයට බාර දීලා ඇඳට වෙලා බලා සිටියා අවුරුදු දෙකක්. අන්තිමේ මල්ලි ඇවිත් මාව වෙද මහත්තයෙක් ළඟට එක්කගෙන ගියා. මං එතනින් සුව වෙලා ආවේ තව අවුරුදු දෙකකට පස්සෙ. එතකොට මං හිතුවේ මං ළඟට මල්ලි ආවේත් වෙද මහත්තයා ළඟට මට යන්න ලැබුණෙත් දෛවය නිසා කියල. දැන් මට හිතෙනවා එදා කොන්ද කැඩිලා තොලොංචි නොවුණේ මගෙ කරුමෙට කියල. මොකද බස් එකෙන් වැටිලා කොඳු කැඩෙන එකෙයි ජීවත් වෙන්න විධියක් නැතිව කොඳු කැඩිලා ඉන්න එකෙයි වෙනසක් නෑ.

මගේ දෛවවාදය ඇතැම් වෙලාවට විඥානවාදයටත් හැරුණා. මං මැච් පිස්සෙක් විත්තිය තමුන්නාන්සේලා දන්නෙ නැතුව ඇති. මං කොච්චර මැච් පිස්සෙක්ද කියනවා නම් ශ්‍රී ලංකාවයි ඉන්දියාවයි ක්‍රිකට් මැච් එකක් තිබුණොත් එදාට මං වැඩට යන්නෙ නෑ. මැච් එක බලන්න යනවාද? නෑ. එච්චර මට ඇඟේ අමාරුවක් නෑ. ඒ කියන්නෙ මැච් එක ටීවී එකේ බලනවා. විකාරද? එහෙම පිස්සෙක් නෙවෙයි මං. මං එදාට අපේ වත්තෙ තියෙන උසම පොල් ගහට නැඟලා ඒකෙ ලොකුම පොල් ගෙඩිය කඩාගෙන අපේ ක්‍රිකට් කැප්ටන්ගේ ගෙදරට ගෙනිහින් එයා ගේ තාත්තාට දීලා එනවා. හදිසියේවත් ඒක කරන්න බැරි වුණොත් මැච් එක පරදිනවා. දැන් පසුගියදා අපි පැරදුණු ඇෆ්ගනිස්ථානයයි ලංකාවයි අතර පළවෙනි මැච් එකේදි මට ඒක කරන්න බැරි වුණා. මොකද ගහේ පොල් ඉවර වෙලා. කඩේ පොල් තිබුණෙත් නෑ. බිත්තර තිබුණෙත් නෑ. දැන් තමුන්නාන්සේලා අහයි ඔහොම කරලාත් ලංකාව පහුගිය කාලෙ දිගට හරහට මැච් පැරදුණේ කොහොමද කියල. ඒ කාලෙ තත්ත්වෙ ඔහෙලා දන්නවා ඇතිනෙ. පොල් තියා සුදුළුෑනු, සීනිවත් ඒ කාලෙ හොයාගන්න බැරි වුණා නෙව. හැබැයි ඒ වුණත් මං පොල් සොයාගත්තා. ප්‍රශ්නය වුණේ පොල් ගෙඩිය අරන් කැප්ටන්ගේ ගෙදරට යන ටිකට කැප්ටන්කම තව කෙනෙකුට දීලා. උදාහරණයකට මං අපේ ඒ දවස්වල ටීම් එකේ කැප්ටන් වුණු ඇන්ජලෝ මැතිව්ස්ගේ තාත්තාට පොල් ගෙඩිය දීලා එද්දි බස් එකේ රේඩියෝ එකේ ඇහුණා කැප්ටන්සි එක දිමුත්ට දීලා කියල. තව දවසක් දිමුත්ගේ තාත්තාට පොල් ගෙඩිය දීලා එද්දි ඇහුණා දසුන්ට කැප්ටන්කම දීලා කියල. ඔහොම අකරතැබ්බ වෙද්දි මොන මැච් දිනිල්ලක්ද? ඔය කාලෙ මං තව දෙයක් කරන්නත් පුරුදු වුණා. ඒ, ජෙරොම් මහත්තයාගේ ස්ටේජ් එකකට නැඟලා යාඥා කරන එක. ඒක මට හොඳයි කියල කිව්වෙ අපේ යෙහාලි නෝනා. තැන්ක් යූ යෙහාලි මැඩම්! සංගාටත් ස්තූතියි කියන්න. ඉන්දියාවට ක්‍රිකට්කාරයො හදලා දෙනවාට. මොනවා වුණත් දැන් ඒකත් කරන්න විධියක් නෑ. මොකද ජෙරොම් මහත්තයාට මේ අන්තවාදියො රට ඇතුළට එන්න දෙන්නෙ නෑ.

ඇත්ත වශයෙන් දෛවවාදියෙක් වෙනවා කියන එක හුඟක් අමාරු වැඩක්. සමහර වෙලාවට දෛවවාදියෙක් වෙනවාට වඩා හොඳයි මැරෙන එක කියල හිතෙනවා. මොකද මේ හැම දේම සිද්ධ වෙන්නෙ දෛවයට අනුවය, දෙයියො තීරණය කරන වෙලාවේ ඇර වෙන වෙලාවක කක්කුස්සිවත් යන්න බෑය කියල හිතලා ඒ වෙලාව එනකන් මළපහ තද කරගෙන ඉන්න අමාරුයි. දෛවවාදය නිසා ලොකුම අමාරුවක වැටෙන්නෙ කසාද පුරුෂයො කියල මට හිතෙන්නෙ. මොකද දෛවය අදහන පිරිමින්ගේ ගෑනු ඔක්කොම වගේ හේතුවාදියො. ඔවුන් සැමියන්ට අහස දිහා බලන් ඉන්න ඉඩ දෙන්නෙ නෑ. නිදාගන්න දෙන්නෙත් නෑ පාඩුවේ. “හැමදාම මේ පඩියෙමද තමුසෙ ඉන්න බලන්නෙ? හවසට හවසටවත් මොනවා හරි කරනවා අමතරව. නැත්නම් කොහොමද මේ නරා වළෙන් ගොඩ එන්නෙ?” අන්න ප්‍රේමියගේ කතාව. මං හිතන්නෙ දෛවවාදියෙක් හේතුවාදී ගෑනියෙක්ව කසාද බඳිනවාට වඩා හොඳයි පොළොවේ පස් කන එක. අනික් අතට හේතුවාදය තුහ් ගාලා එළියට දාන ගෑනු පවා කසාද බැන්දාට පස්සෙ හේතුවාදයේ පියවරු වෙනවා. අරක නැතුව මේක බෑ, පඩිය නැතුව ගෙදර එන්න බෑ. ඔය කතා අහන්නෙ නැති පිරිමි ඉන්නවාද? අන්න පිං කරපු පිරිමි.

ඒත් ඔක්කොටම ගෑනුන්ට ඇඟිල්ල දික් කරන්න පුළුවන්ද? බෑ. මෙතන කාරණය වෙන එකක්. දැන් අපි ජීවත් වෙන්නෙ අවාසනාවන්ත යුගයක කියල තමුන්නාන්සේලා දන්නවා ඇතිනෙ. මේක මේ කාලයේ ප්‍රශ්නයක්. මිනිස්සුන්ගේ ප්‍රශ්නයක් නෙවෙයි. දැන් අපේ ටවුමේ බැංකුව හොරු බින්දා. පොලිසියත් ඇවිත් රට පෙරළලා හොරු අල්ලාගත්තා. ඒත් හොරු උසාවියට ඉදිරිපත් කළාම කිව්වෙ ඔවුන් කළේ සේප්පුවල හොර නෝට්ටු තියෙනවාද කියල බලපු එක කියල. ඉතින් හොරු නිදහස් වුණා. ඔය කාලෙම ටවුමෙ නගරාධිපතියා භාණ්ඩාගාරය කඩලා සල්ලි අරන් රට පැන්නා. ඒ පැන්නේ උගන්ඩාවට කියනවා. ස්විට්සර්ලන්තෙටත් කියනවා. එහිදී ඔහු කළු සල්ලි සුදු කළා කියලත් කියනවා. කොහොම වුණත් දැන් ටවුමේ මිනිස්සුන්ට කන්න – බොන්න විධියක් නෑ. රෑට වැඩ කරන්න ලයිට් නෑ. ලයිට් කපලා බිල් නොගෙවා. හන්දියට බස් එකේ යන්න හැටියකුත් නෑ. බස්කාරයො ඉතුරු සල්ලි දෙන්නෙ නෑ. උදේ ගාන නෙවෙයි, හවස ගාන. පාන් බාගයක් ගන්නවත් බෑ. ගත්තොත් බේකරියට දර පලන්න වෙනවා. ඉතින් ඔවුන්ට මොකක්ද කරන්න වෙලා තියෙන්නෙ? අහස දිහා බලාගෙන දෙයියොවත් කෑම වේලක් ගෙනත් දෙයි කියල කල්පනා කරන එක. ඔන්න දෛවය ඉස්සරහට එන හැටි. ගෑනුත් ඔතනම තමයි මුලදි හිටියේ. ඒත් ගෑනු කියන්නෙ වෙනස් වෙන ජාතියක්නෙ. ඒවගේම චපල ජාතියක්. ඉතින් ඔවුන් දෛවයේ රෙදි ගලෝලා විසි කරලා හේතුවාදයේ සිල් රෙදි පෙරෝගත්තා. සිල් රෙදි නඩුව එහෙමමයි නේද? අවසානයේ ගෑනු අරක නැතුව මේක බෑ, මේක නැතුව අරක බෑ කියන කොන්දේසි දාද්දි පිරිමි දෛවයෝගයේ ආතුරයො වුණා. එහෙම වීම සාධාරණයි. එහෙම නැතුව පැවැත්මක් නෑ. ජීවත් වෙන්න බෑ. ලෝකය ක්‍රෑරයි. සාහසිකයි. දුෂ්ටයි. තුච්චයි. එච්චර දරුණු තැනක හුස්ම අරගෙන ඉන්න බෑ. පියවි ඇහින් ලොව දකින්න බෑ. ඉතින් ඇස් පියාගන්න වෙනවා. තමන්ව රවට්ට ගන්න වෙනවා. වෙස් මුහුණක් පැළඳගන්න වෙනවා. ඒක තමයි මං කරන්නෙ. දෛවය, මෙහෙ වරෙන්! පුළුවන් දෙයක් කරපන්! මට කරන්න තවත් දෙයක් නෑ. උඹ දිහා බලන් ඉන්න එක විතරයි කරන්න පුළුවන්. මෙහෙම අපායක වසන්න ඉඩ තියන්න එපා මිනිහෝ !

● රවීන්ද්‍ර විජේවර්ධන
[email protected]

advertistmentadvertistment
advertistmentadvertistment