කූරගල තපෝවනයේ සැබැ අයිතිය!

1132

සබරගමු පළාතේ රත්නපුර දිස්ත‍්‍රික්කයේ බලන්ගොඩ ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ තන්ජන්තැන්න ග‍්‍රාම නිලධාරී වසමට අයත්ව කූරගල බෞද්ධ ආරාම සංකීර්ණය පිහිටා තිබේ. ගැඹුරු පර්වත ප‍්‍රාන්තයක උස්ව පිහිටි කූරගල හා හිටුවන්ගල කඳු ශිඛර දෙක ප‍්‍රධාන කොටගෙන මෙම තපෝවන අරණ පිහිටා ඇත. දකුණු – ගිණිකොන දිශානුගතව අඩි 500- 1500 ක් සමෝච්ඡු රේඛා අතර බෑවුමක විහිදෙන පර්වත මාලයේ උසම ශිඛරය කූරගල වේ. මෙම ප‍්‍රදේශය කඳුකර වියළි වෘක්ෂලතා කලාපයට අයත් වුවද තෙත් හා වියළි සංක‍්‍රාන්ති කලාපයක අවසාන ඉමෙහි පිහිටා ඇත. කඳුවැටියේ පිළිවෙලින් අනෙකුත් උසම ස්ථාන වන්නේ හිටුවන්ගල, කවුඩුමානහෙළ, කලුගල හා බඹරගලයි. නෙතට රසඳුනක් වූ හාත්පස පරිසරය භාවනානුයෝගී භික්ෂූන් වහන්සේලාගේ නිරාමිස පී‍්‍රතිය ජනනය කරන කදිම තෝතැන්නක් බව නොරහසකි. කඳු මුදුනත හිස් අවකාශයට යොමු වූ ලෙන් ආරාම තුළින් දැකිය හැකි වලවේ නිම්නයේ හාත්පස පරිසරය චමත්කාර ජනකය. ක‍්‍රි. පූ. 2-3 සියවට අයත්සේ ගැනෙන කටාරම් කොටා පූර්ව බ‍්‍රාහ්මී අකුරින් සටහන්ව පවතින ලෙන් ආරාම භික්ෂූන් වහන්සේලා මෙම ස්ථානයේ වැඩ විසූ බවට කදිම සාධකය. කඳු මුදුනත හිස් අහස සිපගන්නා සංරක්ෂිත ස්ථූපය එයට පිවිසීමට ගලින් තැනූ පාද ගන්ඨිකා මෙහි ඓතිහාසික අගය තීව‍්‍ර කරයි. කූරගල තපෝවනය හුදකලා නොකරමින් තදාසන්නයේ පිහිටි ගල්ටැම්යාය, බුදුගල, ඇඳගල, දහයියාගල, දියඉන්න ආදී ක‍්‍රී. පූ. 2 වන සියවසේ සිට ක‍්‍රි. ව. 10 වන සියවස දක්වා කාලයට අයත් පුරාවිද්‍යාත්මක නටඹුන් විහිද ඇත. එබැවින් කූරගල හා සබැඳි මෙම ප‍්‍රදේශය අතීත බෞද්ධ උරුමයේ තෝතැන්නක් බව සත්‍යමය.

දිග්විජය ප‍්‍රතිපත්තියෙන් සෝ සුසුම් ලද අධිරජ ධම්ශෝරදුන් ධර්මවිජය ප‍්‍රතිපත්තියෙන් ලොව සනහාලනු පිණිස අදිටන් කර ගන්නා ලදී. එහි ලාංකේය කූටප‍්‍රාප්තිය වන්නේ මහින්දාගමනයයි. මිහිඳු මාහිමිගේ ආගමනයත් සමඟ බුද්ධ දර්ශනය මෙරට රාජ්‍ය ආගම බවටත්, අරිට්ඨ කුමරු ප‍්‍රමුඛ රාජකුමාරවරුන්ගේ පැවිද්දත් සමඟ සංඝ සමාජය මෙරට සනුහරේ මාර්ගෝපදේශකයන් බවට පත් විය. සඟ පරපුරේ වර්ධනයත් සමඟ බුද්ධ දර්ශනයේ නියමාර්ථය සෙවූ එම උත්තමයන්ගේ පරිභෝජනය සඳහා රට වට පැතිරගත් ස්වාභාවික ලෙන් සකසා පිදීමේ පූජා විධියක් මෙරට ඇරඹෙන්නට විය. ප‍්‍රාග් ඓතිහාසික යුගයේ සිටම දඩයමින් හා පලවැල නෙළාගනිමින් ජීවත් වූ මානවයන් ලැගුම් ස්ථාන වශයෙන් මූලිකවම ස්වාභාවික ගල්ලෙන් භාවිතා කරන ලද බවට සාදක හමුවේ. එනම් ලක්දිව ඉතිහාසයේ මානව ක‍්‍රියාකාරකම්වල මූලාරම්භය ලෙන් ආශ‍්‍රිතව සිදු වී ඇත. මෙරට තෙත් කලාපයට අයත් පාරිසරික කලාපය තුළින් කිතුල්ගල බෙලිලෙන, කුරුවිට බටදොඹලෙන, බුලත්සිංහල ෆාහියන් ලෙන, අත්තනගල්ල අලවල ලෙන හා රත්නපුර බෙලිගල්ගේ ලෙන් ප‍්‍රාග් මානව ක‍්‍රියාකාරකම් හඳුනාගත් ලෙන් කිහිපයකි. කූරගලද එවන් අතිත ප‍්‍රාග් මානවයන්ට සෙවන සෑදූ ලෙන් පද්ධතියකින් සමන්විතය මෙම තපෝවන ආරාමයේ සිදුකරන ලද පුරාවිද්‍යා කැණීමකින් අදින් වසර 16000 කට පූර්වයේ මෙම පුණ්‍ය භූමියේ බලංගොඩ මානවයාද දිවිගෙවා ඇති බවට සාදක සොයාගන්නා ලදී. එපමණක් නොව එම මානවයාගේ අස්ථි සැකිල්ලක්ද මෙම බිමේ සැඟව තිබී මතු කරගන්නා ලදී. ප‍්‍රාග් මානවයාගේ වාස භවනෙන් පසුව මෙම පුණ්‍ය භූමිය කමටහන් වැඩූ යතිවරයාණන් වහන්සේලාගේ පා පහස ලැබූ භූමියක් බවට පත්විය. ඒ ක‍්‍රි. පූ. 2-3 සියවස්වලදීය. එනම් මීට වසර 2300 කට පමණ පූර්වයේදීය.

බුදුන් වහන්සේ ජීවමානව වැඩ විසූ එක් නිවාස වර්ගයක් ලෙස ගල්ලෙන් හඳුනාගත හැකිවේ. උන්වහන්සේ වැඩ විසූ මෙවැනි ගල්ලෙන් පිළිබඳව අට්ඨකතා සාහිත්‍ය තුළින් මෙන්ම වංශකතා ලේඛණවලින් අපට හමුවේ බුදුරජාණන් වහන්සේ වැඩ විසූ රත්ගල ගුහාව ගඳකිලිය, ගන්ධකුටිය ලෙස සිංහල බෝධිවංශයෙන් හඳුන්වා දී තිබේ. එසේම බුදුන් වහන්සේ නිතර වාසය කළ පිප්පාල ගුහාව අලලා ඉන්දීය පුරාවිද්‍යාඥයන් විසින් පර්යේෂණ සිදුකර ඇත. එසේම ගිජ්ඨකූටයේ බුදුන් වාසය කළ ගුහා දෙකක්ද වේ. එසේම ‘‘භාග්‍යවතුන් වහන්සේ වේදියක පර්වතයෙහි ඉන්දසාල ගුහාවෙහි වාසය කරන සේක’’ යනුවෙන් මජ්ක්‍ධිමනිකායට්ඨ කතාවෙහි සඳහන් කර තිබේ. තවද භාග්‍යවතුන් වහන්සේට වාසය පිණිස පූජා කළ එක් ලෙනක් පිළිබඳව දීඝනබො සූත‍්‍රයේ සඳහන්ව ඇත. එම ලෙනෙහි නාමය සූකරබත වෙයි. බුදුන් ජීවමානව ගල් ලෙන් තුළ වාසය කළා සේම තම ශ‍්‍රාවක සංඝයාටද ගල්ලෙන් තුළ වාසය උචිත ලෙස අනුදැන වදාරා තිබේ. සාරත්ථප්පකාසිනියෙහි සඳහන් වනුයේ ලෙන්, මණ්ඩප හා කූටාගාර යනු පුණ්‍යවන්ත වූ භික්ෂුවක් විසින් අයත් කර ගනු ලබන බොහෝ උසස් සෙනසුන් වශයෙනි. විශුද්ධි මාර්ගයට අනුව ගුහාවල සහ ලෙන්වල වසන භික්ෂූන් ද මහේශාඛ්‍ය ශ‍්‍රමනයන් ලෙස හඳුන්වා දී ඇත. තවද මහා පින් ඇති භික්ෂූන්ට ලැබෙන බොහෝ ප‍්‍රණීත සේනාසන අතරට ලෙන් අයත් කර තිබේ. එම නිසා ලක්දිව බුදු සසුනේ සමාරම්භක අවධියේ මුල්ම භික්ෂූ නිවසක් වූයේ ස්වාභාවික පර්වත සහ ගල් ලෙන්ය. ඒ බව හඳුනා ගැනෙනුයේ මෙවැනි ගල් ලෙන්වල වැසිදිය ආවරණයක් ලෙස ඒවායේ ඉහළ මුහුණතේ කොටවා තිබෙන කටාරමට මඳක් පහළින් දැකිය හැකිවන පූර්ව බ‍්‍රාහ්මීය අක්ෂර සහිත ශිලා ලේඛනවල අනුසාරයෙනි. මෙවැනි ගල්ලෙන් සහිත භික්ෂු ආරාමයක් පිළිබඳව වංශකතා සාක්ෂි හමුවන පළමු අවස්ථාව දීපවංශයේ සඳහන් වන මිහිඳු හිමියන්ගේ වස් විසීම ක‍්‍රියාවලය සබැඳේ. උන්වහන්සේ වස් විසීම සඳහා මිහින්තලයට ගිය බවද ඒ සඳහා අටසැට ලෙන් පූජා කළ බව සහ ලෙන් ආරාමයක් බවට පත් කළ ආකාරය එහි දැක්වේ. මෙවැනි ගල්ලෙනකට ගෘහය හෙවත් ගෙය යන වචනය ව්‍යවහාර කළ බවට පිඳුරන්ගල ලෙන් සංකීර්ණයෙන් හමුවූ එක් ශිලා ලිපියකින් සනාථ වේ. එම ලිපියේ සඳහන්ව තිබෙන ලෙනගේ යන පදය සංස්කෘතයේ ගෘහය යන්නට පර්යාය වෙයි. එම වචනය ලෙන යන වචනය සමඟ යෙදෙන බැවින් ලෙන හෙවත් ගුහාව ගෘහය හෙවත් නිවාසය බවට පත්ව ඇත. මේ ආකාරයෙන් පර්වත භූමි භින්ෂු නිවාස සඳහා තෝරාගැනීමට බලපෑ ප‍්‍රධාන කාරණා අතර ප‍්‍රාග් ඓතිහාසික ලෙන් නිවාස භාවිතයේ ඌරුව, කඳු මුදුන් හා බැඳුනු පුරාණ ආගමික හා අභිචාර විධි, පර්වත බෑවුම් සහ ලෙන් වැනි ස්ථානවල තිබෙන ස්වාභාවික ආරක්ෂාව මෙන්ම භාවනානුයෝගී භික්ෂූන්ට අවශ්‍ය වූ හුදෙකලා බව මෙවන් පරිසර පද්ධතීන්හි නිරන්තරයෙන් ගැබ්වී තිබෙන අතර බෞද්ධ සාහිත්‍යයෙන් ඉගැන්වීම්වලින් ගුහා නිවස්නය භික්ෂූන්ට කැපවූ එක් නිවස්න වර්ගයක් ලෙසින් අනුදැන වදාරා තිබීමද ඊට බලපෑ හේතුවක් වන්නට ඇත. මෙවැනි ස්වාභාවික ලෙනක් ගෘහයක් ලෙස හෙවත් ගෙයක් දක්වා පරිවර්තනය කිරීමේදී ඒ වෙනුවෙන් සිදුකළ යුතුවන අනිවාර්ය මිනිස් මැදිහත්වීම අංගුත්තර නිකායට්ඨ කතාවේ සඳහන් වන සිතුල්පව්වේ තිස්ස තෙරුන්ගේ කථාවෙන් මොනවට නිරූපණය වේ. සිතුල් පව් වැසි තිස්ස තෙරුන් තම වැඩිමහලු තෙරුන් වෙනුවෙන් ගල්ලෙනක් තෝරාගෙන එය වාසස්ථානයක් බවට පත්කළ අයුරු එහි දැක්වේ. ඊට අනුව එම ගල්ලෙන තුළ දැව පුරවා, දවා, ඉන්පසුව ලෙන සෝදා, ගඩොල් වලින් වටකර බිත්ති පිරියම්කර ලෙන් කර්මාන්තය කර ඇත. දීඝනබො සූත‍්‍රයේ සඳහන් වන බුදුන්ට පූජා කරන ලද සූකරබත නම්වූ ලෙනද සෝදා පවිත‍්‍ර කොට බිත්තිවලින් ආවරණය කොට ලෙනේ චිත‍්‍ර කර්ම යොදා ලෙන් මිදුලේ රිදීපටත් වැනි වූ වැලි අතුරා ලෙන තුළ පුටු පනවා දීඝනබො නමැති පිරිවැජියා විසින් බුදුන්ට පූජා කර තිබේ.

කූරගල තපෝවනයේ සැබැ අයිතිය!

කූරගල තපෝවන ආරාම සංකීර්ණයෙන් කටාරම් රහිත ලෙන් කටාරම් හා පූර්ව බ‍්‍රාහ්මී ලෙන් ලිපි සහිත ලෙන් හා කටාරම් පමණක් සහිත ලෙන් ගණනාවක් දැකගත හැකි වේ. මෙම සියලු ලෙන් අතීත යතිවරයාණන් වහන්සේලාගේ පරිභෝජන අවශ්‍යතා සැපිරූ බවට සැකයක් නොමැත. මෙහිවන ලෙන් ද්විත්වයක කටාරමට පහළින් පූර්ව බ‍්‍රාහ්මී අකුරින් කොටන ලද ශිලා ලිපි ද්විත්වයක් දැකගත හැකිවේ. මුල් සමයේ සී. එච්. කොලින්ස් මහතා විසින් වාර්තා කර අර්ථගන්වන ලද මෙම ලිපි පරණවිතාන මහතා විසින් 1970 වර්ෂයේ රචිත පූර්ව බ‍්‍රාහ්මී ශිලා ලේඛන නම් ග‍්‍රන්ථයේ නිවැරදිව කියවීමක් සහිතව පලකර ඇත. එක් ලිපියක ‘‘දතහ ශමුදහ ලෙන’’ යන්නද අනෙක් ලිපියේ ‘‘පරමුඛ ශූමනහ පමුරුකලු ශූමය’’ යන්නද වේ. ඒවාහි අරුථ පිළිවෙළින් දත්තගේ සහ සමුදගේ ලෙන හා ප‍්‍රධාන සුමනගේ සහ ප‍්‍රධානී සුමයගේ ලෙස දැක්විය හැක. මෙම කෙටි ලෙන් ලිපි වලින් අවධාරණය කර ඇත්තේ ඉහත නම් සඳහන් ප‍්‍රදේශාධිපති බෞද්ධ ප‍්‍රභූවරු සඟසතු කොට මෙම ලෙන් පුදූ බවය. බොහෝ ලෙන් ලිපිවල දැකගන්නට ඇති

අගත අනගත චතුදිශ ශගශ දිනෙ (අතීත අනාගත සතර දිශාවෙන් පැමිණියාවූ නොපැමිණියා වූද භික්ෂු සංඝයාට පූජා කළ වගයි) යන වචන මෙම ලෙන් ලිපිවල දැකගන්නට නොලැබීමෙන් පෙනී යන්නේ මෙම ලිපි අනුරාධපුර යුගයේ මුල් අවධියට නෑකම් කියන බවය. එසේම කඳු ශිඛරය මත ඇති ස්ථූපය, ස්ථූපයට පිවිසීමට කඳු බෑවුම හරහා යොමුව ඇති සකසන ලද පඩි වාස්තු විද්‍යාවේ කදිම නිර්මාණයකි. මෙම ආරාම සංකීර්ණයේ වන බොහෝ ලෙන් තුළ සිට පිටත බැලුවිට පෙනෙනුයේ තෙරක් නොපෙනෙන අහස හා සොබා සිරියයි. මෙම අපූරු පිහිටීම වීතරාගි භික්ෂූන්ට සිත එක්තැන් කරගෙන මාර්ගඵල අවබෝධ කර ගැනීමටත් සසර මග කෙටි කරගෙන නිවන් මග පසක් කරගැනීමටත් හැකිවන්නට ඇත. දුමින්දාගමනයත් සමග සිදුවූ මහා බෝධි රෝපණයත් සමග එයින් පැනනැඟුනු පළමු අෂ්ඨඵල බෝධි අංකුරයන්ගෙන් එක් පැළයක් රෝපිතව ඇතත් මෙම කූරගල පින්බිමට නුදුරින් පිහිටි ප‍්‍රදේශයක වේ. එය වර්තමානයේ හඳගිරිය ලෙස හඳුනාගනු ලබයි. එහිවන බෝධීන් වහන්සේ අද පවා විරාජමානව ශාන්ත සුන්දර පරිසරයක වැඩ හිඳිනා අතර මෙහි බෝධිඝරය අනුරාධපුර පැරැණි බෝධිඝර හා සම්‍යරූපී ලක්‍ෂණවලින් යුක්තවේ. කූරගල පින්බිම ස්ථානගතව ඇත්තේ තවත් මෙවන් බෞද්ධාගමික ආරාමික නටඹුන් ගොන්නක් වටකරගෙනය.

ලක්දිවින් සොයාගත හැකි ආරණ්‍ය සෝනාසන වර්ග 7ක් පිළිබඳ තොරතුරු විශුද්ධි මාර්ගයෙන් දත හැකිය. එයට අමතරව පශ්චාත් අනුරාධපුර යුගයේ වර්ධනය වූ පංචායතන පිරිවෙන් හා පඨානඝර පිරිවෙන් යනුවෙන් තවත් ආරණ්‍ය සේනාසන දෙවර්ගයක් වේ. විනය පිටකයෙහි සඳහන් පරිදි ගමත් ග‍්‍රාමෝපවාරයත් හැර ඉන් පිටත හැම ස්ථානයක්ම ආරණ්‍ය වේ. එනම් මිනිසුන් නොගැවසෙන ස්ථානයි. අභිධර්ම පිටකයෙහි ආරණ්‍ය සේනාසන හඳුන්වන ලද්දේ නගර ද්වාරයෙන් හා ග‍්‍රාමයෙන් පිටත වූ වනගත පෙදෙස්ය. සුත‍්‍ර පිටකයෙහි සඳහන් පරිදි ග‍්‍රාමයේ සිට දුණු පන්සියයක් ගිය තැන ආරණ්‍ය සේනාසන වේ. අභිධර්ම, සූත‍්‍ර හා විනය යන ති‍්‍රපිටකයට අනුව භාවනාවට සුදුසු විවේකස්ථාන සඳහා (අරම) ආරණ්‍ය යන නම ව්‍යවහාර කර ඇති බව පෙනේ. මෙම නාමකරණයට අනුව කූරගල ගල්ලෙන් තපෝවනයකට අයත්වේ. ජනප‍්‍රවාදිත අදහස අනුව මෙහි පැරැණි නාමය කූරගල නොව කුහරගල වේ. එම නම ව්‍යවහාරවීමට හේතුවී ඇත්තේ හිටුවන්ගල පර්වතය මුදුනේ නැගෙනහිර බෑවුමේ ස්වභාවිකව පිහිටි ගල් දෙබොක්කාවක් කුහරයක් ලෙස තරමක ගැඹුරට පිහිටා තිබීමයි. එය අඩි 15-20 ක් පමණ ගැඹුරට මිනිසුන් දෙදෙනකුට පමණ එකවර බැසිය හැකි කුහරයකි. ඝන අන්ධකාරයෙන් යුත් කුහරය දිගේ මඳක් පහළට බැසීමේදී පර්වත තලයේ නැගෙනහිර මුහුණතට සූර්යාලෝකය වැටීමෙන් විවරවූ පැලුම් තුළින් ආලෝකය මතුවේ. කූරගල ගවේෂණ වාර්තාවේ සඳහන් පරිදි අතීතයේදී මෙම පර්වතය තණ්ඩුලෙය්‍යක පබ්බත ලෙස හඳුන්වා ඇත. තුන් සිංහලයේ රුහුණු රට උතුරු දිග කඩඉම හෙවත් රුහුණු මායා දෙරට වෙන් කෙරුණු කඩඉම වශයෙන් සලකා ඇත්තේ මෙම කූරගල කඳුවැටියයි. තණ්ඩුලෙය්‍යක පබ්බත යනු වී සුලභ පර්වතය යන අරුථ ගෙනේ. කූරගල කන්ද පාමුල අදටත් දැකගන්නට ඇත්තේ අක්කර දහස් ගණන් පුරා පැතිරගිය සුවිසල් කෙත් යායයි. එනම් කාලතිත්ථ වෙල්යායයි.

කූරගල තපෝවන ආරාමය පිහිටි කල්තොට යනු රෝහණ රාජධානියට සමගාමීව පැවැති උප රාජධානියක් බවට සාධක වේ. කි‍්‍ර. පූ. අවධියේ (210-250) රජ පැමිණි දෙවැනිපෑතිස් රජ දවස ගව්වෙන් ගව්ව බෝධි රෝපණය කරවා විහාර ද කළ බව මහාවංශ බෝධිවංශ ආදී වංශ කථාවන්හි සඳහන් වේ. එම බෝධි රෝපණය කරවූ ගම්වල නාමාවලියක් බෞද්ධ සාහිත්‍යයේ වන අතර එහි සඳගිරිය, තනකිරියන්වල, ගොඩකුඹුර වෑගුණ පට්ටිය හා කල්තොට නාමයන් වන අතර ඒවා කල්තොට ප‍්‍රදේශය ආශ‍්‍රිතව විහිද පවතී. අනුරාධපුර පොළොන්නරුව ආදී මහා නගරවලට නොදෙවෙනි ගොවිතැනින් දියුණු ජනාකීර්ණ මනා සරුසාර භූමි ප‍්‍රදේශයක් බව අද වුවද දැකගත හැකිවේ. කල්තොට ඉස්මත්තේ හෙවත් කල්තොට රාජධානියේ බටහිර ඉමේ බැඳි දෙපා (දෙපසට ජලය ගෙන යාහැකි) අමුණෙන් මුළු කල්තොට ප‍්‍රදේශයම කුඹුරු අස්වද්දා එහි වැඩි ජලය වේලි ඔයට බස්වා වේලිඔය සම්පූර්ණයෙන් හරස්කර මැද බැද්දේ කොන්ගලින් බඳින ලද අමුණේ ජලාශයෙන් වැවෙන් වැවට එම දිය බස්වා කුඹුරු කරමින් වැව් 138 ක් කරවා තවත් වැව් 18 ක් බන්දවා මුළු ප‍්‍රදේශයම එකම වෙල්යායක් හා ජනාකීර්ණ ප‍්‍රදේශයක්ව පැවති බව 1940-1964 හපුතලේ භූමි සිතියමෙන්ද පෙනේ. මෙම ප‍්‍රදේශයේ නටඹුන්ව ඇති වැව් හා අමුණු පිළිබඳව විමසනවිට කල්තොට සිට මාගම දක්වා එකම වෙල්යායක්ව තිබුණු බව සනාථ වේ. වලවේ ගඟින් එගොඩ මෙගොඩ දෙපසටම වතුර ගෙනයෑමට කල්තොට දෙපා අමුණ පිළිබඳව පැරැණි ජන කවියක මෙසේ සඳහන්ය.

කල් බලලා එක වරුස තෙ සීයෙදි වෙසෙඟහි පුරසැටවක රවිදා

සිත යොදලා ගහතුරු මීනෙද රවි හෝරාවට ඇරඹුනදා

සුර නිමලා මහ විකුමැති යෝදය දෙපසට දියදෙන අමුණ බැඳා

තිස හදලා පස වැඩි කිරියැති මාවෙල් යාදෙක මාගම පරදා

මෙම කවියට අනුව තිස් කිරියන් නොහොත් වී අමුණු 2240 ක් මෙගොඩද එපමණම ප‍්‍රමාණයක් වලවේ ගෙඟන් එගොඩ ද කුඹුරු තිබී ඇත. මෙම ප‍්‍රදේශයේ එකල වීරමහසූරිය නම් රජෙකු සිට ඇති අතර ඔහුගේ කාලයේදී කූරගල කන්දත් බඹරගල කන්දත් යාකර බැම්මක් බැඳ ඉද්දගල වැව කරන ලද බව ජනප‍්‍රවාදයේ එයි. මෙසේ සෞභාග්‍යයෙන් පිරී ඉතිරීගිය මෙම ප‍්‍රදේශය 1622 වර්ෂය වන විට ක‍්‍රමයෙන් පිරිහී ගිය බවත් කඩවත මැද දෙකෝරළේ ඉංග‍්‍රීසි තෝම්බුවෙහි සඳහන්ව ඇත. එහි සිංහල පරිවර්තනයට අනුව,

”උග්ගල් කල්තොට කි‍්‍ර. ව. 1622 දී සෙනරත් රජුගේ ගබඩාවකි. දැන් එය ජෝද ෂෙරිටාස් නැමති මතුරේ දිසාව විසින් භුක්ති විඳිනු ලැබේ. එහි වපසරිය වී අමුණු 400 කි. ඉන් අමුණු දෙකක් මුත්තෙට්ටුව වපුරති. අමුණු 12 ක් එකී ගමේ සිටින යුද්ධ මුලාදෑනි සිව්දෙනෙක් භුක්ති විඳිති. අමුණු තුනක් ගමේ ගමයාට අයිතිය. අමුණු දෙකක මනින්නාට අයිතිය. මෙහි එක් තැනක කූරගල ගැන ද සඳහන් වේ. ”ඔවුන් හැර ඉහතකී ගමේ කිසිවකු නැති බවත් එය නැගෙනහිරින් වලවේ ගඟට ද බටහිරින් අවුල්කැල් කන්දද (මෙය කූරගල කන්දට එදා ව්‍යවහාර කළ නාමය වේ.) උතුරෙන් වලවේ ගඟට ද දක්වා ගුන්නහින නැමති ඉඩමද යාබද’’

මහා වංශයේ 56 පරිච්ෙඡ්දයේ සඳහන් වන ආකාරයට කි‍්‍ර. ව. 1044 කාලයේ වික‍්‍රම නම් පඬි කුමරෙක් ලක්දිවට පැමිණ කාලතිත්ථයේ (කල්තොට) එක් වසරක් රජ කර තිබේ. එසේම මහ ලේකම් මිටියේ සඳහන් වන්නේ කි‍්‍ර. ව. 1017-1029 කාලයේදී වීර මහාසූරිය නම් පඬි රජෙකු කල්තොට පාලනය කළ බවය. මේ විස්තර අනුව ඔවුන් පුද්ගලයන් දෙදෙනකු බව පැහැදිලි වේ. අතීතයේදී කූරගල තපෝවනයට පිවිසීමට තිබූ මාර්ගය වැටී තිබුණේ වර්තමාන ගල්ටැම්යාය හරහාය. කූරුදියවල විහාරය යනු මෙයයි. මෙහි වර්තමානයේ පංචායතන ආරාම සංකීර්ණයක නටඹුන් දක්නට ලැබේ. අතීතයේදී කූරුදියවල විහාරය හා කූරගල තපෝවනය අතර මනා සබැඳියාවක් තිබූ බව මෙම මාර්ගයෙන්ම සනාථ වේ. වර්තමානයේ කූරගලට පිවිසීමට ඇති මාර්ගය වසර 100 කට පමණ පූර්වයේ සිට භාවිතාවට ගැනුනකි.

කූරගල පිළිබඳව ජනශ‍්‍රැතියේ එන කවි කිහිපයක් ද වේ.

බාර කර මෙසිරිලක සුමන සුරිඳුගෙ වෛකුන්ට පර්වතය මෙන්දා
ගෝර උරගුන් ඇවිත් වටකරට එසෙව් තැන තපස් රකි මින්දා
සාර සංක්‍යයක වාද බඳ යුද කරපු වසවර්තී එළුදගල මෙන්දා
කූරගල කන්ද මැද පිහිටි ඒ තපස් පිළ මෙකප උපතට පළමු වෙනදා
පුල්වන් දෙවිඳුගෙ හිමාල පර්වත සක්වල ගලවට පිරි වරිනා
සල්සපු නා මල් සුවඳට බඹරිඳු ගල් පරුවත පිංරැස් වෙමිනා
මුල්කර දෙවියන් අදහා තපස් පිළි හිටුවන්ගල මුල නවා තැනා
කල්ප දහස් පවතින හිටුවන්ගල හසිය පණස් තැන්නට පෙනෙනා
ආර ළඟ සිටුවන්ගල මැද යමක සෙල්ලිපි දුකෙක බලනුව පවු පාවුලේ
කූරගල මුදුනෙ ඇති මාරජී සෑය යස සාර ඈත නිදන් හොරු දැන ලොලේ
පාර ඇත බුදුගලට ලෙන් වෙහෙර දැකයනු තෙජහර දෙව් කදිරවෙත දෙවොලේ
කූරගල නිති සඟ යොග නිති වැඩු ඒ තෙදනුහස පවහි කජසිය දහස් සැලේ

දීරතර ගල්කන්ද පාවුල සිවු කුටි ලෙනක ලුණුදිය පොකුණක් මැවුනේ
වීරමහ නර පතිගෙ කාලෙදි පිය කරවූ දරන සෙනසුන මෙහිය පොරනේ
තාර අසුරා පෙරළුගල යට කෙටුව සිරිපද පත්ම සටහන සැමට නොපෙනේ
කෑරගල සරිලන්න කොතැනද වෙන ගලක් ඉතින් බලනල මෙ ඔබ මේ දෙරණේ

මෙම කවිපෙල 1970 මාර්තු 06 දින සිංහල බෞද්ධයා පත‍්‍රයේද පලවී ඇත. කි‍්‍ර. පූ. 2-3 වන සියවසේ සිට බෞද්ධ ආරාම සංකීර්ණයක් ලෙස විරාජමාන කූරගල තපෝවනය පසුකාලීනව ජරාවාසවී තිබේ. ගොඩනැඟිලි සම්ප‍්‍රදාය දියුණුවීමත් සමග ගල්, ගඩොල්, දැව භාවිතයෙන් ආරාම ඉදිවන්නට වූ අතර ඒ නිසාම භික්ෂූන් ගල්ලෙන් භාවිතයෙන් ඉවත්වන්නට විය. ඒ සමග බොහෝ පැරැණි ලෙන් ආරාම සංකීර්ණ භාවිතයෙන් ඉවත්ව තිබේ. එසේම රාජධානි බිඳවැටීම, ආක‍්‍රමණ හා ජනතාව ජනාකීර්ණ ප‍්‍රදේශවෙත සංක‍්‍රමණය වීමත් සමග පැරැණිම ලෙන් ආරාම සංකීර්ණ භාවිතයෙන් ඉවත්වුණි. මෙසේ වසර සිය දහස් ගණනක් සංඝයා වහන්සේලාගේ පාද ස්පර්ශය ලැබූ මෙම පින්බිම පසුකාලීනව ඉස්ලාම් භක්තිකයන්ගේ වන්දනා ස්ථානයක් බවට පත්ව ඇත. ඉස්ලාම් භක්තිකයන්ගේ කූරගල සම්ප‍්‍රාප්තිය හා මෙහි ඔවුන්ට වන සබඳතාවය පිළිබඳව ඉල්ලාම් භක්තිකයන්ට වෙනම කථිකාවක් ඇත. 1932 වර්ෂයේදී සී. එච්. කොලින්ස් මහතා විසින් රාජකීය ආසියාතික සඟරාවට The Archaeology of the Bintenna මැයෙන් ලියන ලද ලිපියේ කූරගල පිළිබඳවද සඳහන් වේ. ඔහු කූරගලට පැමිණෙන විටත් එම පරිශ‍්‍රයේ ලෙන් ආශ‍්‍රය කොට මුස්ලිම් ජාතිකයන් සිට ඇත. ඔහුගේ වාර්තාවට අනුව කූරගල කඳු මුදුනේ ඇති ගල් ලෙනක් තුළට මුස්ලිම් පූජකයෙක් පිවිස ඇති අතර නැවත ඔහු පැමිණ නැත. මේ නිසා ලෙන තුළ ඇති උමං කුහරය මක්කම දක්වා තිබෙන බව ඔවුන්ගේ විශ්වාසයයි. නමුත් ජනප‍්‍රවාදවලට අනුව මෙම උමගෙන් පිවිසිය හැක්කේ බුදුගලටය.

එමිල් ඩුර්ක්හයිම් විසින් 1912 රචිත The Elementary Forms of Religions කෘතියට අනුව ආගම වූ කලී ශුද්ධ වස්තූන් හා සම්බන්ධ වූ විශ්වාසයන් හා භාවිතයන්ගේ ඒකාබද්ධ පද්ධතියකි. ඊ. බී. ටයිලර් විසින් 1870 රචිත Primitive Culture නම් කෘතියේ ආගම යනු අධිභෞතික සත්ත්වයන් පිළිබඳ විශ්වාසය ලෙස පෙන්වා දී ඇත. රුල්ෆ් එම්. ටර්නර් අනුව ආගම යනු ශුද්ධ වූත්, අධි ස්වාභාවික වූ දේ හා සම්බන්ධ විශ්වාස හා යාතුකර්ම වටා ගොඩනැඟුණු අන්‍යෝන්‍ය සම්බන්ධතාව ඇති තත්ත්ව කාර්යභාරය හා ධර්මතා පිළිබඳ එකතුවකි.

ලබන සතියට
කේ. උදේනි අරුණසිරි
පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව

advertistmentadvertistment
advertistmentadvertistment