පාළු සොහොන් පිටි වලින් නාගරික ගෙඋයනට හා සඳළුතලයට ආ මිනීමල් සහ සොහොන් මල්

166

එක්දහස් නවසිය අසූව දශකයේ මුල් අර්ධයේ මා සේවය කළ සිනමා පුවත්පතේ ජනප්‍රිය කලාකරුවන් තමන් කැමති අකැමැති දේ පවසන විශේෂාංගයක් තිබිණි. ඒ සඳහා එක් එක් කලාකරුවා විසින් තමන් කැමති හා අකැමැති පුද්ගලයා, වර්ණය, ආහාරය ආදී වශයෙන් විවිධ කරුණු සඳහන් කළ යුතු විය. ඔවුන් කැමති හා අකැමැති මල් ද ඒ අතරේ තිබිණ. එහි දී ඒ බොහෝ දෙනෙකුම තමන් කැමැති මල ලෙස රෝස, අරලියා, නෙළුම්, සමන් පිච්ච ආදී විවිධ මල්වල නම් සඳහන් කොට තිබිණ. නමුත් ඉන් සැලකිය යුතු දෙනකු අකැමැති මල් ලෙස දක්වා තිබුණේ මල් දෙකකි. එනම් කෙහෙල් මල ය, නැතිනම් මිනී මල ය.

කෙහෙල් මල යනු පුෂ්ප ගණයට අයත් වන්නක් නොවේ. අනෙක එය කිසිදු වැදගැම්මක් නොමැති යමක් පිළිබඳව හඟවන උපහාස යෙදුමකි. එහෙත් මිනී මල එසේ නොවේ. යමකු අත පත ගෑමට, නෙළා ගැනීමට, දැකීමට තබා නම ඇසීමටවත් අකැමැති මලකි. එහෙත්, මෑතක සිට මෙම මිනී මල සම්බන්ධ සුවිසල් පෙරැළියක් සිදු වී තිබේ. එනම් අතීතයේ පාළු සොහොන් පිටි පුරා බහුල ලෙස වැවී තිබූ මෙම මිනී මල මේ වන විට වින්කා හෝ වින්කා රෝසියා යන නමින් නාගරික සහ අර්ධ නාගරික මධ්‍යම පාන්තික ජනතාව ගේ සදළු තල සහ ගෙඋයන් සැරසීම පිණිස බහුල ලෙස යොදා ගැනීම ය. ඒ එම ශාකය අභිජනනය කිරීමෙනි. අපගේ දේශීය චින්තනයට අනුව එය එක්තරා පුනර් ජන්මයක් ලෙස හැඳින්වීමට ද පුළුවන. ඒ නිසා අතීත සමාජය බය ගන්වන ලදුව මැඩගස්කරයෙන් ගෙනවුත් වින්කා හෝ වින්කා රෝසියා නමින් නූතන මධ්‍යම පාන්තික සමාජයේ නොමඳ ජනප්‍රියත්වයට ලක්ව ඇති “අප දන්නා මිනී මලේ මරණය සම්බන්ධ පසු විපරමක් හෙවත් පශ්චාත් මරණ පරීක්ෂණයක්” පැවැත්වීමේ දොසක් නැතැයි මට සිතේ.

මීට වසර කිහිපයකට පෙර ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ශිෂ්‍යාවක් තමන් ගේ නවාතැන අද්දර විසිතුරු මල් පැළ අලෙවි හලකින් මෙම මිනී මල් හෙවත් වින්කා රෝසියා පැළයක් මිලයට ගෙන නිවාඩුවට ගෙදර යන විටෙක එය රැගෙන ගොස් නිවසේ ආලින්දයේ සිටවූවා ය. ඒ සඳහා නිසි සාත්තුවක් ද ලැබුණු බැවින් හා එම දේශගුණික තත්ත්වය ඊට ගැළපුණු බැවින් එම මල් පැළය කෙටි කලක් තුළ පඳුරු ලා වැඩෙන්න විය. ඔය අතරේ එම සිසුවියගේ පවුලේ වැඩිහිටි ඥාතිවරියෙක් හදිසි රෝගාබාධයකට ලක්ව හිටි හැටියේ මිය ගියා ය. ඒ ශෝකජනක පුවත සැලවූ සැනින් වහා නිවසට ගිය සිසුවියට තම ඥාතිවරියට අත් වූ ශෝචනීය ඉරණම මෙන්ම එම ප්‍රදේශයේ ගම්මුන් පැවසූ ඊට මුල් වූ හේතුව ද දැන ගත හැකි විය. එම මරණය සැලවූ සැනින් ඒ නිවසට එක් රොක් වූ සියලු ඥාති මිත්‍රාදීන් මරණයට හේතුව ලෙස දක්වා ඇත්තේ ගේ දොරකඩ මිනී මල් පාත්තියක් තිබීම ය. එමෙන්ම ඒ මිනී මල් පාත්තිය එලෙසම තිබීම මත තවදුරටත් ඒ නිවසේ හදිසි අකල් මරණ සිදුවිය හැකි බවට ගම්මුන් අනතුරු හැඟවීම මත ඒ හදිසි මරණය අතරේම ඒ සිසුවියගේ ඥාතීහු ඒ මිනීමල් පඳුරු උදුරා පුළුස්සා දමා තිබිණ.

එම වැඩිහිටි ඥාතිවරියගේ අවමඟුලින් පසුව නැවත විශ්වවිද්‍යාලයට පැමිණි ඒ සිසුවිය තම මිතුරු මිතුරියන් ද ඒ මිනී මල් අලෙවි හලට ගොස් ඒ ”මාරක මල” පිළිබඳව පැමිණිලි කර සිටියා ය.

පාළු සොහොන් පිටි වලින් නාගරික ගෙඋයනට හා සඳළුතලයට ආ මිනීමල් සහ සොහොන් මල්

“වින්කා රෝසියා ගේ ඉස්සරහ හිටෙව්වම ගෙවල්වල මිනිස්සු වැඩිපුර මැරෙනවා නම් අද වෙනකොට මේ පැත්තේ මිනිස්සුන් ගෙන් බාගෙට බාගයක් මැරිලා තියෙන්න ඕනේ. ඔයාලා දැන උගත්කම් තියන ළමයි වෙලත් ඔය වගේ ගමේ ගොඩේ මිනිස්සුන් ගේ මෝඩ කතා පිළිගන්නවද? එහි දී ඒ විසිතුරු මල් අලෙවි හලේ හිමිකාරිය ඒ සිසුන් ගෙන් අසා තිබිණ. මීට කලකට ඉහත මේ අපූරු ප්‍රවෘත්තිය මා හමුවේ කියා සිටියේශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මානව විද්‍යා මහාචාර්ය ප්‍රණීත් අභයසුන්දරයන් විසිනි.

වින්කා හෝ වින්කා රෝසියා යන නම්වලට අමතරව දීප්තිමත් නෙත් (Bright eyes) පැරණි සේවිකාව (Old maid) කේප් පෙරිවින්කල් (Cape periwinkle) යන නම්වලින් හා කැතරන්තස් රෝසස් (Catharanthus roseus) යන විද්‍යාත්මක නමින් හැඳින්වෙන මෙම ශාකය අප රටේ මිනී මල ලෙස හැඳින්වුණ ද මේ ලොව කිසිදු රටක එබඳු නමක් යෙදෙන්නේ නැත. නමුදු මෙය සුසාන භූමි ශාකයක් (Graveyard plant) ලෙස නම් හඳුන්වා තිබේ. තත්ත්වය එසේ තිබිය දී අපට ආසන්න ඉන්දියාවේ පවා මෙය පියකරු ඖෂධීය ශාකයක් ලෙස නම් කෙරේ. ඒ ජනතා හිතකාමීත්වය කොතෙක් ද යත් ඉන්දීය ආයුර්වේද ග්‍රන්ථවල මෙය හඳුන්වනුයේ “නිත්‍ය කල්‍යාණි” යනුවෙනි. එහි අරුත සැම විටම උතුම් තැනැත්තිය යන්න ය. ආයුර්වේද, චීන ඇතුළු පෙරදිග සේම බටහිර වෛද්‍ය ක්‍රමයට අනුව ද මෙම ශාකයේ නිස්සාරක හොජ්කින් ලිම්ෆොමා පිළිකා ආදී රෝග රාශියක් සඳහා ඖෂධ නිපදවීමට යොදා ගැනෙයි. ඒ අනුව මිනී නම යෙදුව ද මිනිස් ජීවිත අකල් මරණවලින් මුදාලන මෙය ආර්ථික වශයෙන් වුව ද ඉතා ඉහළ වටිනාකමකින් යුතු ශාකයකි. මෙම ශාකයේ සාමාන්‍ය උස මීටරයක් පමණ වෙයි.

මෙම මිනී මල සම්බන්ධ වැඩිදුර විමැසීමේදී වටහා ගත හැක්කේ සොහොන් බිම ආශ්‍රිතව දක්නට ලැබුණු පමණින් මිනී මල් ලෙස හැඳින්වීම අසාධාරණ බවකි. නමුදු මිනී මල (Corpse flower) ලෙස මීට සාධාරණ ලෙස නම් කළ හැකි වෙනම මලක් ලෝකයේ තිබේ. Amorphophallus titanum යන උද්භිද විද්‍යාත්මක නමින් හඳුන්වන ඒ මලින් නරක් වූ මළ සිරුරකින් හමන දුර්ගන්ධයට සමාන දුගඳක් වහනය වීම ඊට හේතුව ය.

ඉන්දුනීසියාවේ සුමත්‍රා දූපත් නිජ බිම කොට ගත් ඒ සැබෑ මිනී මල තමන් වෙත විවිධ කෘමි සතුන් ආකර්ෂණය කිරීමේ ස්වභාවික උපායක් ලෙස එම මළ මිනී කුණු ගඳ වහනය කරවන බව විද්‍යාත්මකව අනාවරණය වී තිබේ.

අප රටේ මිනී මල් වශයෙන් පවසන ශාක විශේෂය බහුලව දැකිය හැක්කේ පහතරට තෙත් කලාපයේ ය. ඉනුදු වයඹ, බටහිර, නිරිත සහ දකුණු මුහුදු කරයේ එම මල් වැඩි ව්‍යාප්තියක් පළ කරන බව අපගේ වැටහීම ය. තව ද බොහෝ විට සොහොන් බිම් ආශ්‍රිතව දැකිය හැකි වීමෙන් එම සොහොන් බිම්වල භූමදාන කොට ඇති මෘත දේහ හා ඒවා අතර කිසියම් සබැඳියාවක් ඇතැයි යමකුට සිතෙන්නට පුළුවන.

එහෙත්, වින්කා හෝ වින්කා රෝසියා යන නවීන නමින් හැඳින්වෙන මෙම මිනී මල් ඕලන්ද යුගයේ දී මෙරට දී මිය ගිය ලන්දේසි ජාතිකයන් ගේ සොහොන් අලංකාරවත් කිරීම පිණිස යොදා ගන්නට ඇතැයි සාධාරණ ලෙස අනුමාන කළ හැක. ඒ පැරණි ඕලන්ද බලකොටු ආශ්‍රිතව ද මේ ශාකය තරමක් බහුලව දැකිය හැකි බැවිනි. එහෙත් සොබා දහමේ ඕනෑම අතවරයකට ලක් වෙමින් නොනැසී පැවැතීමට එම මිනී මලට තිබූ ශක්තිය, හැකියාව මත සියවස් කිහිපයක් පුරා තම පැවැත්ම අඛණ්ඩව තහවුරු කර ගැනීමට සෙසු මල් අබිබවා මෙම මිනී මල්වලට හැකි වන්නට ඇත. එමෙන්ම සොහොන් පිටිවල බහුල වීමත් සමඟම අතීත සමාජය තම නිවෙස්වලින් මුලිනුපුටා දැමීම මත මෙතුවක් සොහොන් බිම්වලට සීමා වූ ඒවා මිනී මල් ලෙසම හැඳින්වෙන්නට ද ඇත. නමුදු මේ වන විට වින්කා රෝසියා යන නමින් “බෞතීස්ම වීම” මත පැරණි මිනී මල කෙරෙහි පැවැති පොදු භීතිකාව ද අද වන විට මිය පරලොව වී ගොසිනි. මිනී මලේ මරණය සම්බන්ධ පශ්චාත් මරණ පරීක්ෂණයක් පැවැත්වීමට අපට සිතුණේ එබැවිනි.

මිනී මලේ තත්ත්වය එසේ වුව ද ලිපි සිරසේ ඊළඟට සඳහන් වන සොහොන් මල එබඳු ජනප්‍රිය ශාක විශේෂයක් නොවේ. අප රටේ ප්‍රදේශ කිහිපයක පමණක් දක්නට ලැබෙන එය ද මිනී මල මෙන්ම විදේශීය ශාකයකි. පැනමාවේ සිට දකුණු බ්‍රසීලය තෙක් දකුණු හා මධ්‍යම ඇමෙරිකාව නිජබිම කොටගත් මෙය ලොව පුරා වඩාත් ප්‍රකට වී ඇත්තේ සුදු බටර් බඳුන (White butter cup) යනුවෙනි. මෙම මලේ පෙතිවල ඇති සුදු පැහැය හා මධ්‍යයෙහි ඇති කහ පැහැය මුල්කොට එය සුදු පැහැති බටර් බඳුනක් සේ දිස්වීම ඊට හේතුව ය. ටර්නෙරා සුබුලටා (Turnera subulata යනුවෙන් උද්භිද විද්‍යාත්මකව හැඳින්වෙන මෙම ශාකය එක්සත් ජනපදය, කැරිබියන් සහ ෆ්ලොරිඩා ෆැසිපික් දූපත්වල මෙන්ම මැලේසියාව, ඉන්දුනීසියාව ආදී රටවල ද ව්‍යාප්තියක් පළ කරයි. එහෙත්, අප රටේ දී අතිශය ආගන්තුක බවක් පළකරන මෙම සුදු බටර් බඳුන ශාකය පිළිබඳ තොරතුරක් ජාතික ශාකාගාරයෙන් වත් සොයා ගන්නට මට නොහැකි විය. ඒවායේ ව්‍යාප්තියක් පළ කරන ප්‍රදේශ තබා එම ශාකය හැඳින්වීම සඳහා යොදන සිංහල නමක්වත් සොයාගත නොහැකි යැයි ජාතික ශාකාගාර ආරංචි මාර්ග සඳහන් කරයි.

මේ අතර ඇතැමෙකු කියා සිටියේ මෙය ඉන්වාටියා යනුවෙන් හැඳින්වෙන බවකි. මෙය මෙහි දී සොහොන් මලක් වශයෙන් හැඳින්වුවද ලොව වෙනත් කිසිම තැනක මෙය සොහොන් පිටි ආශ්‍රිතව වැවෙන හෝ වගා කෙරෙන බවට තොරතුරු නැත. මීටරයකට ආසන්න උසක් දක්වා වැඩී හිමිදිරියේ පිපෙන මෙහි මල් මධ්‍යාහ්නය උදාවීමටත් පෙර සිට හැකිළී යයි. මෙය ද ඕලන්ද යටත් විජිත සමයේ මෙරට දී මිය ගිය ලන්දේසීන් ගේ මිනී වළවල් අලංකාරවත් කරනු පිණිස මෙහි ගෙන්වා සිටුවනු ලදුව තවමත් නොනැසී පවතින ශාකයක් විය හැක. නිවර්තන තෙත් සේම වියළි කලාපවල ද කිසිදු පොහොරක් හෝ සාත්තුවක් නොමැතිව පඳුරු වශයෙන් සරුවට වැවෙන මෙම ශාකය ගම්පහ දිස්ත්‍රික්කයේ සුසාන භූමි ආශ්‍රිතව නිරීක්ෂණය වුවද මෙම ශාකය පිළිබඳ විස්තරයක් කීර්තිමත් ශ්‍රී ලාංකේය උද්භිද විද්‍යාඥයකු වන හිටපු ජාතික උද්භිද උද්‍යාන අධ්‍යක්ෂ ජනරාල් හරිශ්චන්ද්‍ර පෙරමුණුගම මහතා විසින් සකස් කරන ලද ගම්පහ දිස්ත්‍රික්කයේ වෘක්ෂලතා ලේඛනයටවත් ඇතුළත්ව නැත. පරිසර අමාත්‍යාංශයේ ජෛව විවිධත්ව ලේකම් කාර්යාලය මගින් නිකුත් කරන ලද ශ්‍රී ලංකාවේ ආක්‍රමණශීලී, ආගන්තුක ශාක විශේෂ ලේඛනයේ සඳහන් ශාක තිස් දෙකට පවා ඇතුළත් නොවීමෙන් මෙය අපගේ පරිසරයට, ආර්ථිකයට සහ සමාජයීය ජීවිතයට අනිසි බලපෑම් කරන ආක්‍රමණශීලී ශාකයක් නොවන බව ද පෙනී යයි.

ශ්‍රී ලංකාවේ විසිතුරු ශාක අතරේ කිසිදු තැනක් නොමැති වුවද මීට දස වසරකට පමණ පෙර මෙම ශාකය රාජගිරිය, ශ්‍රී ජයවර්ධනපුර පාර්ලිමේන්තු පාරේ මාර්ගාලංකරණ ශාකයක් ලෙස වවා ඇති අන්දම ද මා හට නිරීක්ෂණය වී තිබේ. එමෙන්ම එහි විස්මයට කරුණ නම් මෙම මල හැඳින්වීම පිණිස ඇතැම් රටවල දේශපාලනඥයා ගේ මල (Politician`s flower) යන නම ද යොදා තිබීම ය. මීට අමතරව අවිස්සාවේල්ල, සීතාවක තෙත් බිම් කලාපීය උද්භිද උද්‍යානයේ ද ඉතා දැකුම්කළු මෙම සොහොන් මල් පාන්තියක් දැකිය හැකි විය. පෙරවරුවේ සේයාරුවට නංවනු ලබන ප්‍රී ෂූට් ඡායාරූපවල පෙනී සිටින විවාහාපේක්ෂිත මනාල මනාලියන්ට පසුබිමින් එම “සොහොන් මල්” වල සැබෑ සොඳුරු දසුන දස දහස් වරක් කැමරා ගත වී ඇති බව නිසැක ය. මෙවන් තත්ත්වයක් යටතේ ආතක්-පාතක් නොමැතිව ශ්‍රී ලංකාවට කඩාවැදුණු බවක් පළ කළ මෙම සුදු බටර් බඳුන නම් අහිංසක සැබෑ සොඳුරු පුෂ්පීය ශාකය දශක හෝ සියවස් කිහිපයක් තුළ අප ජන සමාජයෙන් එල්ල වූ නොසලකා හැරීම් මත සොහොන් පිටි තුළට වැදී තම “පණ රැක ගත්” බවක් මට හැඟෙයි. උද්‍යාන ශාකයක් ලෙස එතරම් ප්‍රචලිත නොවුණ ද අප රටේ ඇතැම් නිවෙස් ඉදිරියේ මෙම ශාකය වවා තිබෙනු මම දැක ඇත්තෙමි. එහෙත්, කවදා කවර ලෙසකින් වුව ඒ නිවසක පදිංචිකරුවකු මිය ගිය හොත් මේ මල් ද ඉහත සඳහන් සරසවි සිසුවියගේ නිවස ඉදිරියේ තිබූ මිනී මල් මෙන් එම මෘත දේහයට පෙරම “ආදාහනය”වීමට ද බැරිකමක් නැත.

තිලක් සේනාසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment