සර්පයින්ට ස්ථාන මාරු

377

බාසුරු කියන්නේ බාහුවෙන් එහෙම නැත්නම් අතින් සුරු වූ යන අර්ථයයි. ඕනෑම විෂ සහිත සර්පයෙක් අතින් අල්ලා ගැනීමේ හැකියාව ඔහුට තිබෙනවා. අපි ඔහුගේ කථාව අහමු. හැම සර්පයෙක්ම විෂ නැහැ. උග්‍ර විෂ සහිත සර්පයින් විදිහට සැලකෙන නයා, පොළඟා, කරවලා , තෙලිස්සා වැනි අපේ පරිසරයේ සිටිනවා. සර්පයෙක් නිවසට ඇතුළු වුන පමණින් දෂ්ටනයක් කරන්නේ නැහැ. ඒත් අපේ කියමනක් තිබෙනවා. විෂ ඝෝර සර්පයා දැක නෑරු මෝඩයා කියලා. නමුත්…බාසුරු ප්‍රභාෂ්වර නමැති මේ තරුණයාට නම් ඉහත නම හොඳින්ම ගැළපෙනවා.

පුංචි කාලයේ පුංචි අයට විවිධ විනෝදාංශ, වගේම විශේෂ කැමැත්තක් දක්වන දේවල් තිබෙනවා. නමුත් බාසුරු ප්‍රභාෂ්වර පුංචි කාලයේ ඉඳලාම සතුන්ට ඒ අතරිනුත් සර්පයන්ට වැඩි ඇල්මක් දැක්වූවා. ඒ නිසාම ඔහු මිතුරන් අතරේ “සර්පයා” යන නමින් ජනප්‍රිය වුණා. ඔහු නමින් බාසුරු ප්‍රභාෂ්ස්වර… අතුරුගිරිය, හබරකඩ ප්‍රදේශයේ පදිංචි බාසුරු මේ කොට්ටාව ධර්මපාල විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය ලැබුවා. හෝමාගම මහින්ද රාජපක්ෂ විද්‍යාලයෙන් උසස් පෙළ හැදෑරූ ඔහු මේ වෙන විට විට විවෘත විශ්වවිද්‍යාලයේ ස්වභාවික විද්‍යාව පිළිබඳ උපාධි පාඨමාලාවේ අවසාන වසරේ ඉගෙනුම ලබනවා. බස්නාහිර පළාත තුළ නිවසකට හෝ මිනිසුන් ගැවසෙන ස්ථානයක විෂ සහිත සර්පයෙක් සිටියොත් සර්පයාට කිසිදු හානියක් නොවන සේ එතැනින් එලවා දැමීමට ඔහු හපනෙක්…අපි ඔහුගේ කථාව අහමු.

නිවසට විෂ සහිත සර්පයෙක් ආවොත් නිවැසියෝ සර්පයා මරනවා. එහෙම නැත්නම් භූමිතෙල් හෝ වෙනත් විෂක් විදලා ඒ සර්පයා එතැනින් පිට කරනවා. එය ඔවුන්ට සාධාරණයි. නිවසට විෂ සහිත සර්පයෙක් ආවොත් මරන්න එපා කියලා විතරක් අපට කියන්න බැහැ. ඒකට විකල්පයක් දෙන්නත් ඕන. ඒ වගේම සර්පයා එතැනින් එලවා දැම්මාට වඩා ආරක්ෂිතව ඉවත් කිරීම හොඳයි හිතෙනවා.

ඔබ සර්පයෙක් අල්ලා ගැනීමේදි ඔබට විශේෂිත ක්‍රමයක් තිබෙනවාද..?

මම බොහොම වෙලාවට සර්පයාගේ හැසිරීම අධ්‍යනය කරල අල්ලා ගන්නවා. සතාගේ විෂ ඉවත් කිරීමක් හෝ විෂ දළ ගලවා දැමීමක් සිදු කරන්නේ නැහැ. සර්පයාට හානියක් නොවන විදිහට මගෙත් ආරක්ෂාව සලසා ගෙන සර්පයා එතැනින් ඉවතට ගන්නවා. මුලින්ම මම අල්ලා ගත්තේ අපේ ආච්චි අම්මලාගේ ගෙදර බැම්මක් අසල සිටිය ගැරඬියෙක්. කටුස්සෝ, තලගොයි වැනි සතුන් අල්ලලා තිබුණත් ටිකක් බයක් තිබුණා. ෂොපිං බෑග් එකක් අතට දා ගෙන අල්ලාගෙන බැලුවා. විශාල නයෙක් ඇල්ලුවේ අවුරුදු 16 දී. එයා ලොකු නයෙක්. මං ළග කොක්කක් හදා ගෙන තිබුණා. ඒ කොක්කෙන් අල්ලාගෙන ගෙදර තිබුණු දැල් ගහපු කුඩුවක දාලා නිදහස් කළා.

අල්ලා ගන්නා සතුන්ට ඔබ මොකද කරන්නේ…?

නිවෙස්වලට ගිහිං අල්ලා ගන්නා සර්පයන් මගේ නිවසේ තබා ගන්නවා. ඔවුන් තැනින් තැන මුදා හැරීම සුදුසු නැහැ. බොහොම සර්පයන් එන්නේ ගොදුරු සොයා ගෙන එහෙම නැත්නම් වතුර සොයා ගෙන. ඉතින් විෂ සර්පයෙක් පුරුදු වුණොත් නැවත නැවතත් එන්න පුළුවනි. ඒ වගේම අවට නිවෙස්වලටත් එය කරදරයක්. සර්පයන්ට වුණත් ඔවුන්ගේ ගති පුරුදු පවත්වා ගැනීමට සුදුසු පරිසර තත්ත්වයන් තිබෙනවා. ඒ නිසා මේ විදිහට අල්ලා ගන්නා සතුන් මගේ නිවසේ තාවකාලිකව තබා ගෙන එයින් පසුව අභයභුමි වැනි සතුන්ට සුදුසු පරිසරයකට මුදා හරිනවා.

සර්පයන් සහ පවුලේ උදවිය සහජීවනයෙන් ජීවත් වෙනවා.

අම්මයි තාත්තයි මමයි මේ නිවසේ ඉන්නවා. මුලින් අම්මයි තාත්තයි අකැමැති වුණා. දැන්නම් අම්මාගේ අකැමැත්තක් නැහැ. ඒත් තාත්තා තවමත් එතරම් කැමැත්තක් නැහැ. නිවසේ සර්පයන් තබා ගෙන අවුරුදු 12 ක් පමණ වෙනවා.

මේ වෙන විට ඔබේ සර්ප එකතුව…

අපේ නිවසේ මේ වෙන විට නයි 26 ක් සහ එක තිත් පොළඟෙක් ඉන්නවා. මේ වෙන විට අල්ලපු නයි ප්‍රමාණය 2000 ක් විතර වෙනවා. හරියටම ගැනලා නැහැ.

ලංකාවේ සිටින නයි විෂ විදින්නේ නැහැ. මුලින්ම මම අල්ලා ගන්නා සර්පයා තාවකාලිකව අගුල් සහිත, වාතය ලැබෙන කවුළු සහිත පෙට්ටියක දානවා. ඒ විදිහට අපේ නිවසට ගෙනත් ඔවුන් රඳවා තබා ගන්නවා. ලොකු ප්‍රමාණයේ නයි බඩු සහිත ගබඩා කාමරයේ විවෘත පරිසරයක තබනවා. ගබඩා කාමරයේ තිබෙන බඩු සහිත ස්ථානවල ඔවුන් නිදහසේ සිටිනවා. පොළොංගුන් විශේෂිත ප්ලාස්ටික් පෙට්ටියේම තබා ගන්නවා.

නයි නිදැල්ලේ සිටීම අනතුරක් නැතිද..?

නැහැ. සර්පයින්ට මිනිස්සුන්ගේ ඉව දැනෙනවා. නමුත් ඔවුන් පනින්නේ බියක් ඇති වුණොත් විතරයි. ඒ නිසා බියක් ඇති කර ගත යුතු නැහැ. මම මේ අල්ලාගත් සර්පයන් මාසයක් විතර නිවසේ තබා ගෙන පෝෂණය නයින්ට බිත්තර සහ පොළඟුන්ට කුකුල් මස් දෙනවා. දුර්වල නයින්ට ආහාරයක් කන්න වත් ශක්තියක් නැහැ. දුර්වල සර්පයන්ට වෙනම පෝෂණයක් දෙනවා. සමහර අවස්ථාවලදී ඉතාම දුර්වල වෙලා සිටිනවා. විශේෂයෙන් ඒ වගේ නයින්ට බිත්තර සාරු සිරින්ජරයකින් පොවනවා.

පොළඟුන්ට ගොදුරක් ජීරණය වෙන්න සතියක් පමණ ගත වෙනවා. එක් වතාවක් කන්න දෙන්න හදන විට දෂ්ට කළා. පැය බාගයක් ඇතුළත මම රෝහල්ගත වුණත් පැය තුනක් හතරක් පමණ වෙලාවක් සිහියත් නැතුව හිටියා.

සර්පයා නාවන්නත් සිදු වෙනවා..

ගෙවල්වලට ගිහිං snake resque පටන් ගත්තේ 2010 වසරේදී සර්පයෝ මිනිසුන්ට දෂ්ට කරන්නේ වෙනත් විකල්පයක් නැති වුණොත් විතරයි. හැම වෙලාවකම සර්පයා බලන්නේ බේරිලා යන්න. භූමිතෙල් වගේ දේවල් දැම්මාම සතාට හරිම අපහසුයි. ගැරඬියා භූමිතෙල්වලට ගියත් නයා එතැනම රැඳී ඉන්න බලනවා. කොටින්ම අපට ඇසිඩ් වැදුනා වගේ. ඒ නිසා කොරපොතු සහ සම ගැලවිලා ජීවිතය පවා නැති වෙන්න පුළුවනි. ඒ නිසා මම ෂැම්පු දාලා අතින්ම අතුල්ලා හෝදනවා. අතින් අල්ලන විට නයාට සනීපයි. මාසයකට නයි 30 ක් පමණ අල්ලලා තිබෙනවා. හෝමාගම පැත්තේ ගෙදරක කුරුලු කුඩුවක නයෙක් ඇවිත් කියලා පණිවිඩයක් ලැබුනා. ඉනිමගට නැගලා නයා අල්ලන ගමන් මගේ පරිස්සමත් තබා ගෙන

කවා පොවා ඇති කරන සර්පයින්…

වැඩි ඉඩක් තිබෙන අභයභූමියකට දානවා. ඒවායේ ඉඩ තිබෙනවා. අවට නිවෙස්වලට එන්නෙ නැහැ. අපේ පරිසරයේ සමතුලිතතාවට සර්පයන් අවශ්‍ය වෙනවා. සර්පයින් මරා දැම්මාම වගේම ඔවුන්ගේ ගති පුරුදු පවත්වා ගැනීමට සුදුසු පරිසර තත්ත්වයක් නැති වුණාම කවදා හෝ දිනක වඳ වීමේ අනතුරට පත් වෙනවා. නමුත් මේ විදිහට ස්ථානමාරු ලබා දුන්නාම සර්පයින් නිදහසේ සිය ගති පුරුදු පවත්වා ගෙන වර්ගයා බෝ කරමින් ජීවත් වෙනවා. මිනිස් ජනාවාසයන්ගෙන් ඈත පරිසරයකට මුදා හැරියාම ඔවුන්ට අනතුරක් වෙන්නෙත් නැහැ මිනිස්සුන්ටත් බයක් සැකක් නැතුව ජීවත් වෙන්න පුළුවනි. අනාගතයේදී සර්පයන් සහ මත්ස්‍යයන් මුල් කර ගෙන පර්යේෂණ කරන්න අදහස් කරනවා.

පුන්‍යා චාන්දනී ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment