කන්දකාඩු ගැටුමට මුල වතුර බාල්දියක්

320

රැඳවියෝ 33ක් පැනලා පිරිසක් යළි භාර වෙති
තුවාල ලැබූ 6ක් රෝහලේ
හමුදා කඳවුරෙන් ගිනි අවි පැහැර ගැනීමේ තැත වැරදී රැඳවියෝ ගබඩාවෙන් කැති පොරෝ පැහැර ගනිති
කඳවුරේ දේපළවලටත් ගිනි තබලා

පොලොන්නරුව කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ දිය නෑමට ගිය දෙපිරිසක් අතර වතුර බාල්දියක් ‘මුල්කරගෙන පෙරේදා (6 දා) ඇතිවූ බහින්බස් වීමක් දුරදිග ගොස් ඇතිවූ ගැටුමකින් තුවාල ලැබූ 6 දෙනකු පොලොන්නරුව රෝහලට ඊයේ (7 දා) ඇතුළත් කර ඇති අතර මෙම සිද්ධියෙන් රැඳවියන් 33ක් පමණ පලාගොස් ඇති බවට ද වාර්තා වේ.

කන්දකාඩු ගැටුමට මුල වතුර බාල්දියක්

මෙම තුවාල ලැබූවන් අතර රැඳවියන් 5ක් සහ හමුදා නිලධාරියකු සිටින බවත් ඔවුන්ගේ තත්ත්වය බරපතළ නැති බවත් පුනරුත්ථාපන කොමසාරිස් ජෙනරාල් දර්ශන හෙට්ටිආරච්චි මහතා පැවසීය.

පසුගිය ජුනි මාසයේ දී මෙම මධ්‍යස්ථානයේ රැඳවියකු මිය යෑමේ සිද්ධියක් මුල්කරගෙන ගැටුමක් ඇතිවී රැඳවියන් 500ක් පමණ පලාගොස් සිටිය දී පසුව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබිණි. එහිදී හමුදා නිලධාරීන් කිහිපදෙනෙක් වැඩ තහනට ද ලක්වූහ.

කන්දකාඩු ගැටුමට මුල වතුර බාල්දියක්

එම ගැටුම සිදුවන අවස්ථාවේ පහරකෑම්වලට ලක්වෙතැයි බියෙන් ප්‍රතිකාර මධ්‍යස්ථානයෙන් පිටතට පැමිණ සුංගාවිල ප්‍රදේශයේ කැලෑවේ සැඟවී සිටි 35 දෙනකුගෙන් සමන්විත පිරිසක් ඊයේ (7 දා) පෙරවරුවේ නැවත කන්දකාඩුව පුනරුත්ථාපන මධ්‍යස්ථානය වෙත හරහා යැවූ බව පුලස්තිපුර පොලිසිය පවසයි.

මේ අතර පලාගිය පිරිසෙන් 12දෙනෙකු ඊයේ (7 දා) පෙරවරුවේ මීගස්වැව හා වැලිකන්ද පොලිසියට භාරවී ඇතැයි විමර්ශන සිදුකරන පොලිස් නිලධාරීහු පැවසූහ.

පුනරුත්ථාපනය වීම සඳහා මධ්‍යස්ථානය වෙත අලුතින් පැමිණි පිරිසක් සහ ඊට පෙර පැමිණ සිටි කණ්ඩායමක් අතර රාත්‍රී 10.20 ට පමණ මෙම ගැටුම ඇතිවී තිබෙන බව විමර්ශනවලදී අනාවරණය වූ බව පොලිසිය පැවසීය. මෙම ගැටුමේදී මධ්‍යස්ථානයේ තිබූ බස් රථයක් සහ ගොඩනැඟිලි කිහිපයකට ද රැඳවියන් විසින් අලාභ හානිකර ඇත.

එම ගැටුම සමථයකට පත් කිරීම සඳහා රාජකාරියේ යොදවා සිටි යුද හමුදා සාමාජිකයන් පිරිසක් එම ස්ථානයට ගිය අවස්ථාවේ ඔවුන්ට ද එම පිරිස පහරදී ඇති බව කියති. එම පහරදීමෙන් තුවාල ලැබූ 6 දෙනෙකු වැලිකන්ද රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව වැඩිදුර ප්‍රතිකාර සඳහා පොලොන්නරුව මහ රෝහලට මාරුකර යවා තිබේ.

මේ අතර ප්‍රතිකාර මධ්‍යස්ථානයෙන් පලාගොස් දැනට සැඟවී සිටින පුද්ගලයන් අත්අඩංගුවට ගැනීම සඳහා ශ්‍රී ලංකා යුද්ධ හමුදාව සහ පොලිසිය එක්ව තවදුරටත් විමර්ශන සිදුකරන බව ඒ නිලධාරීහු පැවසූහ.

මෙසේ පිරිසක් පලා යෑමට පෙර ප්‍රතිකාර මධ්‍යස්ථානයේ සිටි මුළු රැඳවියන් සංඛ්‍යාව 547ක් බව ද දර්ශන හෙට්ටිආරච්චි මහතා කීය.

ප්‍රතිකාර මධ්‍යස්ථානය සහ ඒ අවට යුද හමුදාව සහ පොලිසියේ 1000කට වැඩි පිරිසක් යොදවා රැඳවියන්ගේ ආරක්‍ෂාව තරකර ඇතැයිද එම නිලධාරියා කීය. රැඳවියන් කිහිපදෙනකු ඊයේ සවස් වනවිටත් කලහකාරී ලෙස හැසිරෙමින් සිටි බවත් පොලිසිය මැදිහත් වී ගැටුම සිදුවීමට හේතු වූ කරුණු සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර ඇති බවත් හෙට්ටිආරච්චි මහතා පැවසීය.

පුනරුත්ථාපන කඳවුරු තුළ ඇති 9 වැනි යුද හමුදා කාලතුවක්කු බළකායට අයත් අවි ගබඩාවට පැමිණ එහි අවි ගැනීමට තැත් කර ඇතත් වහාම ක්‍රියාත්මක වූ සෙබළුන් අහසට වෙඩි තබා තත්ත්වය පාලනය කිරීමට කටයුතු කර එම ස්ථානයෙන් අවි ඉවත් කර ගැනීමට කටයුතු කර ඇත.

කලහකාරී ලෙස හැසිරුණු රැඳවියන් පසුව එම පුනරුත්ථාපන කඳවුර තුළ ඇති ගබඩාවල දොරගුලු කඩා කැති පොරෝ, මුගුරු සහ මන්නා රැගෙන කලහකාරි ලෙස හැසිරෙමින් කඳවුරේ දේපළවලට ද ගිනි තබා විනාශ කර ඇත.

මෙම කලහකාරීන් කඳවුරු භූමිය තුළ ඇති 09 වන කාලතුවක්කු හමුදා බළකායට අයත් සලාක ගබඩාව කඩා එහි ඇති ආහාර ද්‍රව්‍ය සිය සන්තකයට ගෙන ඇත.
චමින්ද සිල්වා, සමන් ගමගේ, කරුණාරත්න ගමගේ, රොෂාන් තුෂාර – අරලගන්විල

advertistmentadvertistment
advertistmentadvertistment