අනියම් සැමියාගේ උදළු පහර කා රෝහල්ගත වූ දෙදරු මව මරුට

285

බුත්තල පොලිස් වසමට අයත් පැල්වත්ත – කුමාරගම ප‍්‍රදේශයේදී ඉකුත් 04 වෙනිදා අනියම් සැමියා විසින් හිසට උදැල්ලකින් පහරදීමෙන් බරපතළ තුවාල ලබා කරාපිටිය රෝහලේ ප‍්‍රතිකාර ලබමින් සිටි දෙදරු මවක් පෙරේදා (05 දා) මියගොස් ඇතැයි බුත්තල පොලිසිය පවසයි.

මෙලෙස මියගොස් ඇත්තේ බුත්තල පැල්වත්ත ජනාවාස 06 කුමාරගම පදිංචි කහටපිටියමුදලිගේ චම්පිකා (26) නමැති දෙදරු මවකි.

ඇයගේ නීත්‍යානුකූල ස්වාමිපුරුෂයා මීට පෙර රිය අනතුරකට ලක්වීමෙන් මියගොස් ඇත.

ඔහුට දාව ඇයට දරුවන් දෙදෙනකු සිටියි. මෑතකදී ඇය කුරුණෑගල ප‍්‍රදේශයේ පදිංචි තිස්හත් හැවිරිදි පුද්ගලයෙකු සමග සබඳතාවක් පවත්වාගෙන ගොස් එකට ජීවත්වී ඇත.

ඔවුන් දෙදෙනා අතර ඉකුත් 04 වෙනිදා බහින්බස්වීමක් ඇතිවී ඇති අතර අනියම් සැමියා විසින් උදැල්ලකින් ඇගේ හිසට පහරදී ඇත.

සිද්ධියෙන් බරපතළ තුවාල ලැබූ ඇය බුත්තල ප‍්‍රාදේශීය රෝහලට ඇතුළත් කොට හම්බන්තොට දිස්ත‍්‍රික් මහ රෝහලට මාරු කිරීමෙන් අනතුරුව වැඩිදුර ප‍්‍රතිකාර සඳහා සඳහා කරාපිටිය මහ රෝහලට ඇතුළත් කොට තිබිණි. එහිදී ඇය මියගොස් ඇති බව බුත්තල පොලිසිය පවසයි. සිද්ධියට සම්බන්ධ සැකකරු ප‍්‍රදේශයෙන් පළාගොස් ඇත. බුත්තල පොලිස් ස්ථානාධිපති (වැඩබලන) ආර්. ඩබ්ලිව්. නිමල් රාජපක්ෂ මහතා වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

බඩල්කුඹුර – රවිඳු ගුණතිලක

advertistmentadvertistment
advertistmentadvertistment