රාවණ රජු සිහි කරන දෙව්රම් වෙහෙරේ මැදින් පෙරහැර

311

කෘත, ද්වාපර, නේත‍්‍රා සහ කලි (වත්මන කලි යුගයයි) යන හින්දුන්ගේ යුගවලින් නේත‍්‍රා යුගයේ ආරම්භයේ ජීවත් වූවකු ලෙස රාවණ රජු හැඳින්වේ. හෙළ අසුර අධිරාජ්‍යයේ ස්වර්ණමය අවධිය ලෙස සැලකෙන්නේ මහා රාවණ යුගයයි. දසිස් රාවණ ලෙස රාමායනයේද, රවුළු රාවණ ලෙස සිංහල සාහිත්‍ය ග‍්‍රන්ථවලද, රණබා ලෙස යක්ෂ ගෝත‍්‍රික වරිගපූර්ණිකාවේ ද මහා රාවණයන් හැඳින්වේ. මව්පිය උභය පාර්ශ්වයෙන්ම සෘෂිවරුන්ට හා මුනිවරුන්ට තුන්වරක් ජාතක වූද, දශ ඥානයකින් යුතුව බුද්ධියෙන් බැබළෙන්නාවූද රාවණ ලංකාපුරයේ පාලක තනතුරට සුදුසු විය. එබැවින් ඥාති සොහොයුරු කුවේර නෙරපා හැර ලංකාපුරය තමා අතට ගැනීමට රාවණ කටයුතු කළේය. ”ලොව පසිඳු රාවණ – මහ ගුණවතෙකි මහබලවතෙකි – සක්දෙව් රජුටවත් පරදවන්නට නොහැකි වූවෙකි” යනුවෙන් කියමනක්ද වේ. මහා රාවණා සතුව, ගුවනින් ගමන් කළ හැකි යානයක් තිබූ බව, වාල්මිකී පවා පිළි ගනී. එසේ නම් එය, ලෝකයේ ප‍්‍රථම ගුවන් යානා තාක්ෂණය භාවිත කළ යුගය නොවන්නේ ද? රයිට් සහෝදරයන් 1905දී ලෝකයේ ප‍්‍රථම ගුවන් යානය නිපද වූ බව කියවේ. නමුත් ඊජිප්තු පිරමීඩ තුළ වූ රූප හා සටහන්, එය බොරු කර තිබේ. මැටියෙන් තැනූ ගුවන් යානා ආකෘති හතරක් එහි තිබූ අතර, කාබන් පරීක්ෂණයට අනුව එය වසර හාරදහස් පන්සියයකට වඩා පැරැණි බව ඔප්පු වී ඇත. ඒ අනුව ඉතිහාසය විමසා බැලීමේදී, මෙවැනි ගුවන් යානා හමුවන්නේ රාවණා යුගයේදීය. ‘රාවණා, සීතා ගෙනා රථයෙන් අහසට නැඟුණේය’ යැයි වාල්මිකී ද පිළි ගනියි. රාවණා, සීතා පැහැරගෙන එන්නේ, ‘පුෂ්පක විමානය’ නම් දඬුමොණර යන්ත‍්‍රයෙන් බව, බොහෝ ඉතිහාස පොත්වල සඳහන් වී ඇත. රාවණාගේ ගුවන් යානා පිළිබඳ කතා කිරීමේදී, ‘විමාන’ යන්න පැහැදිලි කරගත යුතුය. ‘විමන්’ යනු විශාල ගුවන් යානා ය. ‘බිමින්’ යනු සැහැල්ලූ ගුවන් යානා විය. ඊට අමතරව පාපැදි ගුවන් යානා, කන්දක සිට තවත් කන්දකට ගමන් කළ හැකි ගුවන් යානා සහ ගිරි මුදුන්වල සිට පහළට බැසිය හැකි ගුවන් යානා ලෙස බොහෝ ප‍්‍රභේද පිළිබඳ සඳහන්ය. ඉන්දීය විශ්වවිද්‍යාලයක උපකුලපතිවරයකු වූ නාගේෂ්වරම් රායි ප‍්‍රකාශ කර ඇත්තේ, රාවණා රජුට විවිධ මාදිලියේ ගුවන් යානා වර්ග විසි හතරක් තිබූ බවය. රාවණ රජු ගිනිතබන ඉන්දියාවෙන්ම මේ තොරතුරු සොයාගෙන තිබීම විශේෂයකි.

රාවණ ඉතිහාසය සිහිකරනු ලැබුවේ පන්නිපිටිය දෙව්රම් වෙහෙරේ පැවැත්වෙන මැදින් පෙරහැර නිසාය. මැදින් පෙරහැර මාලාව මාර්තු 16 සිට අපේ‍්‍රල් 03 වැනිදා තෙක් පැවැත්වෙයි. 2010 සිට රාවණ පෙරහැර පවත්වනු ලබන්නේ අපේ පැරැණි රජවරුන් සියල්ලටම උපහාර දැක්වීමේ අරමුණිනි. රාවණ ප‍්‍රතිමාව වඩමවනු ලබන්නේ රජවරුන් අතර ශ්‍රේෂ්ටයා රාවණ වන බැවිනි. මහා රාවණ ප‍්‍රතිමාව හස්තියා පිට වැඩම කරවනු ලබයි. මැදින් මහා පෙරහැර මංගල්‍යයේ නිර්මාතෘ වන ආචාර්ය කොළොන්නාවේ සිරි සුමංගල මහා නායක හිමියන් මේ පෙරහැර පිළිබඳව අප සමග අදහස් දැක්වූයේ මෙසේය.

”මේ පෙරහැර පිංකම මුලින්ම ආරම්භ ආරම්භ කළේ 2004 වසරේ. මුලින්ම තුනුරුවන් පූජා පෙරහැර තිබ්බා. ඒ කාලයේත් රටට විපත්තියක් වන බවට අනාවැකි පළ වෙලා තිබුණා. කොහොම හරි 2004 දෙසැම්බර් මාසයේ සුනාමි විපත සිදු වුණා. එයින් පස්සේ රටට නැවත සුනාමියක් එන බවට අනාවැකි පළවුණා. රට විපතින් මුදවන්න පුරා දින හතක් මාතෘ දිව්‍ය රාජයා වෙනුවෙන් පිංකම් පැවැත්වූවා. 2006 දී ඉන්දියාවේ දෙව්දහ නුවර සිට මායා කුමරියගේ ශෛලමය ප‍්‍රතිමාවක් වැඩම කරලා පුද පූජා පැවැත්වූවා. මාතෘ දිව්‍ය රාජයාට තමයි ගෞතම බුද්ධ ශාසනය ආරක්ෂා කිරීමේ වගකීම තියෙන්නේ. මැදින් පෙරහැර තුන් හෙළයම නියෝජනය කරන සංස්කෘතික අංග ඇතුළත් වෙනවා. උඩරට, පහතරට, සබරගමු නැටුම් ඇතුළත් වෙනවා. මහමායා සුද්ධෝදන පෙරහැර පැවැත්වෙනවා. එසේම රාවණ පෙරහැර පැවැත්වෙනවා. රාවණ පටන් මේ දිවයින පාලනය කළ සියලූම ධාර්මික රජවරුන් වෙනුවෙන් තමයි එය පැවැත්වෙන්නේ. මහා රාවණ පෙරහැරේ පහතරට නැටුම් ශිල්පීන් සිය නැටුම් ශිල්ප දක්වනවා. අපි රටක් විදිහට අපේ රාවණ රජ්ජුරුවන්ට විශේෂ තැනක් දිය යුතුයි. මුලින්ම ගුවන් යානා හැදුවේ එතුමයි. මුහුදු ජලය පිරිසිදු කිරීමේ තාක්ෂණය පවා ඔහු දැනගෙන සිටියා. ලක්පොළොවේ සිට විශ්වයම පාලනය කරන්න හැකියාවක් තිබුණා. මේ ඉතිහාසය අපේ දරුවන්ටත් දැනගන්න සැලැස්විය යුතුයි.

ඇත්තෙන්ම සුමංගල නාහිමියන් විසින් සිදුකරන මෙම සංස්කෘතික මෙහෙවර අගය කළ යුතුය. දෙව්රම් වෙහෙරේ රාවණ පෙරහැර ගැන වසර ගණනාවකට පෙර ඉන්දීය මාධ්‍යවේදී පී.කේ. බාලචන්ද්‍රන් ද හින්දුස්ථාන් ටයිම්ස් පුවත්පතට ලිපියක් ලියා තිබුණු බව මතකය. ඉන්දීය මාධ්‍ය, 2019 වසරේදී ශ‍්‍රී ලංකාව වෙනුවෙන් පළමු වරට නිපදවූ චන්ද්‍රිකාව ”රාවණා 1” ලෙස නම් කිරීම ගැනද කලබල විය. මෙම චන්ද්‍රිකාවට රාවණා යන නම තබා තිබුණේ කටුබැද්ද ආතර් සී. ක්ලාක් මධ්‍යස්ථානයේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් සනත් පනාවැන්නගේ යෝජනාවක් අනුවය. ”රාවණාගේ ගුවන් තාක්ෂණය පිළිබඳව ලෝකයට කියා පෑමේ අරමුණින් තමයි අපේ චන්ද්‍රිකාවට රාවණා 1 කියලා නම දැම්මේ,” යනුවෙන් අභ්‍යවකාශ ඉංජිනේරු දුලානි චාමිකා විතානගේ පවසා තිබිණි. දුලානි සහ තරිඳු දයාරත්න යන දෙදෙනා විසින් රාවණා 1 නිර්මාණය කර තිබිණි.

චතුර පමුණුව

advertistmentadvertistment
advertistmentadvertistment