පාස්කු කොමිසමේ සාක්ෂි රහසේ පටිගත කරන්න ‘මවුලවි’ට දුරකථනය දුන් නීතිඥයාට මාස 8ක තහනමක්

68

පාස්කු ප්‍රහාර මාලාව සම්බන්ධයෙන් විමර්ශන සිදු කළ ජනාධිපති කොමිෂන් සභාව හමුවේ පැවැති සාක්‍ෂි විභාගයක් ජංගම දුරකථනයෙන් පටිගත කිරීම සඳහා මවුලවිවරයකුට ආධාර අනුබල දීමේ චෝදනාවට වරදකරු කරනු ලැබූ නීතිඥවරයකුගේ නීතිඥභාවය මාස අටක කාලයක් අත්හිටුවීමට ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ (24 දා) නියෝග කළේය.

අකුරැස්ස ප්‍රදේශයේ පදිංචිකරුවකු වන නසීම් මොහොමඩ් ශාමින් නමැති නීතිඥවරයාට ලබන ජනවාරි 1 වැනිදා සිට ඉදිරි මාස අටක කාලයකට, බුවනෙක අලුවිහාරේ එස්. තුරෙයිරාජා හා මහින්ද සමයවර්ධන යන විනිසුරු මඬුල්ල විසින් එකී තහනම පනවනු ලැබීය.

2020.9.9 වැනිදා ජනාධිපති කොමිෂන් සභාව හමුවට පැමිණ සිටි මුර්ෂිඩ් මර්ෂා මුල්ලෆ්ෆාර් නමැති මවුලවිවරයා කොමිෂන් සභාව හමුවේ පැවැති සාක්‍ෂි විභාගය ඔහුගේ ජංගම දුරකථනයෙන් පටිගත කරමින් සිටියදී පොලිසියට හසුවී තිබිණි. නීතිඥවරුන්ට හැර වෙනත් පාර්ශ්වවලට ජංගම දුරකථන සභා ශාලව තුළට රැගෙන ඒම තහනම් කර තිබියදී එලෙස එම මවුලවිවරයා ජංගම දුරකථනයක් රැගෙන ආවේ කෙලෙස දැයි සොයා බැලීමේදී චූදිත නීතිඥවරයා එය රැගෙනවිත් මවුලවිවරයාට ලබාදී ඇති බව අනාවරණය වීම නිසා කොමිෂන් සභාවේ ලේකම්වරයා විසින් ඒ පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණයට පැමිණිලි කර තිබිණි.

වසර දෙකකට අධික කාලයක් තිස්සේ සාක්‍ෂි කැඳවා සිදුකළ විභාගයකින් අනතුරුව විත්තිකාර නීතිඥවරයා නීතිඥ වෘත්තියේ ආචාරධර්මවලට පටහැනිව කටයුතු කර ඇති බවට ඒකමතිකව තීරණය කළ විනිසුරු මඬුල්ල විසින් එම තහනම පනවනු ලැබීය.

ඒ. ජේ. ඒ. අබේනායක

advertistmentadvertistment
advertistmentadvertistment