ලාබාල සිසුවා මත්කර ලිංගික අපයෝජන කළ පාසල් බස් රියැදුරා රිමාන්ඩ්

688

වයස අවුරුදු 11ක දරුවෙකුට මත්වන ටොෆි ලබාදී පාසල් බස් රථයක දිගින් දිගටම ලිංගික අපයෝජනයට ලක්කළ බව කියන පාසල් බස් රියදුරෙකු කුරුණෑගල මහෙස්ත්‍රාත් බන්ධුල ගුණරත්න මහතා හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව දැඩි කොන්දේසි පනවමින් ඇප ලබාදී තිබුණත් එම කොන්දේසි සපුරාලිය නොහැකිව රක්‍ෂිත බන්ධනාගාරගත විය.

එසේ රක්‍ෂිත බන්ධනාගාර ගතවූයේ කුරුණෑගල මතව ප්‍රදේශයේ 62 හැවිරිදි පාසල් බස් රියදුාරෙකි.

එහිදී සැකකරු ඉදිරිපත් කරමින් පොලිසිය කියා සිටියේ අදාළ වින්දිත දරුවා පාසලේ උදේ රැස්වීමේ සිටියදී ක්ලාන්ත වී ඇදවැටී ඇති අතර විදුහල මගින් මව දැනුම්වත් කර පාසලට කැඳවා රෝහල් ගතකළ බවයි. අනතුරුව උදේ ආහාර නොව වෑන් මාමා ලබාදුන් ටොපි ආහාරයට ගත් බවත් ඒ පිළිබඳව අධිකරණ වෛද්‍යවරුන් ඇතුලු කුරුණෑගල ශික්‍ෂණ රෝහලේ වෛද්‍ය කණ්ඩායමක් කළ නිරීක්‍ෂණයන්හිදී දරුවා තමන් ලිංගික අපයෝජනයට ලක්ව ඇති බව පවසා ඇති බවද පොලිසිය පැවසිීය. එමෙන්ම එසේ ලබාදී ඇති ටොෆි මත් ස්වභාවයක් ගන්නා බවත් ඊට අමතරව මත් බුලත් ද ලබාදී ඇති බවට වැඩිදුර කරුණු දක්වමින් පොලිසිය කියා සිටියේ දරුවා බස්රථය තුළ තනිවූ අවස්ථාවන්හිදී එසේ සිදුකර ඇති බවයි.

ඉදිරිපත්වූ කරුණු සැලකිල්ලට ගත් මහෙස්ත්‍රාත්වරයා සැකකරුට රුපියල් ලක්‍ෂ 2 බැගින් ශරීර ඇප දෙකක් නියම කරමින් එම ඇපකරුවන් කුරුණෑගල අධිකරණ කලාපයේ වියයුතු බවට කොන්දේසියක් පැනවීය. එමෙන්ම වරද පිළිගැනීමේ එකඟතාව මත එසේ ඇප නියමකරමින් වැඩිදුර විභාගය සඳහා මෙම නඩුව නොවැම්බර් 03 යළිත් කැඳවීමටද නියම කළේය.
කුලියාපිටිය උපේන්ද්‍ර සේරසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment