රොෂාන් රනවුට් – ෂම්මි නොකවුට්

4939

විධායක අසිපත ව්‍යවස්ථා සභාවේ හිසමත!

ශ්‍රී ලංකාව මේ වනවිට මුහුණදී සිටින සමාජ දේශපාලන අර්බුදවල කම්පනයට විධායක, ව්‍යවස්ථාදායක හා අධිකරණ යන ප්‍රජාතන්ත්‍රවාදයේ කුලුනු තුනම අඩු වැඩි වශයෙන් හසුවී තිබෙන බව බැලූ බැල්මට පෙනී යයි. විශේෂයෙන් විධායකය හා ව්‍යවස්ථාදායකය අතර උද්ගතවී තිබෙන ගැටුම් මුහුණට මුහුණ හමුවූ ආකාරයක් ද දැකගත හැකිය. ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඉකුත් සතියේ පාර්ලිමේන්තුවේදී කළ එක් අවධාරණයක මේ ගැටුමේ ගිනි පුපුරු අපට දැකගත හැකි විය. ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කරන ලද කරුණු අතිශය බරපතළ ව්‍යවස්ථාමය ගැටුමක පෙරනිමිති විදහා දක්වන්නකි. දැන් සෑහෙන දින ගණනක සිටම පොලිස්පති පුටුවට ස්ථිර පත්වීමක් සිදුකරගත නොහැකි වී තිබේ. මේ පිළිබඳව අපට ඇසුණු එක් විවේචනයක් වූයේ ‘රටේ ඉන්නේ රීලෝඩ් පොලිස්පතිවරයකු’ බවය. පොලිස්පතිවරයාට කඩින් කඩ ලබාදුන් සේවා දිගුකිරීම් ඒ උත්ප්‍රාසනීය හැඳින්වීමට පදනම් විය. රජයේ ප්‍රබලම ආයතනයක් වන පොලිසියේ ඉහළම නිලය එබඳු හෑල්ලුවකට ලක්වූයේ කුමක් නිසා ද යන්න සැබැවින්ම ක්‍රිකට් ගැනත් විවාද කරන අපේ පාලක කාරකාදීහු ගැඹුරින් විමර්ශනය කළ යුතු නොවෙත් ද? අපේ පොලිසිය සම්බන්ධයෙන් කෙබඳු විවේචන තිබුණත් එයින් සිදුකෙරෙන කාර්යභාරය වෙනත් කිසිදු ආයතනයකින් හෝ ආකාරයකින් ඉටුකර ගත නොහැකි බව අමුතුවෙන් කිවයුතු නැත.

ජනාධිපති රනිල් ඉකුත් බ්‍රහස්පතින්දා (23 දා) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේ ව්‍යවස්ථා සභාවේ කඩාකප්පල්කාරී වැඩ නිසා පොලිස්පතිවරයා පත්කර ගැනීමට නොහැකි වූ බවය. විනිසුරුවරුන් නැතිව උසාවිවලත් වැඩ කළ නොහැකි බවක් ද ජනාධිපතිවරයා කිවේ ව්‍යවස්ථා සභාව තුළ තිබෙන බෙදීම් ද හුවා දක්වමිනි. ජනාධිපතිවරයාගේ අදහස අනුව ව්‍යවවස්ථා සභාව ද විධායකයේම කොටසකි. විපක්ෂනායක සජිත් සෘජුවම පවසන්නේ ව්‍යවස්ථා සභාව කුඹුරක හිටවූ පඹයකු නොවන බවය. මෙම ව්‍යවස්ථා සභාව මෙරටේ ප්‍රබල හා ස්වාධීන ආයතනයක් ලෙස පිළිගෙන තිබුණත් වර්තමාන ජනාධිපති රනිල්ට ඒ ව්‍යවස්ථා සභාව අරුචි වී තිබෙන බව පෙනේ. පාර්ලිමේන්තුවේදී ඔහු විසින් ඒ සම්බන්ධයෙන් කරන ලද විවේචනය තුළ ගැබ්වන්නේ රටේ පාලන ව්‍යුහයට හරස්වන ක්‍රියාදාමයක එහි සාමාජිකයන් නිරතව සිටින බවය. නීතිඥ සාමූහිකය සෘජුවම මේ සම්බන්ධයෙන් ජනාධිපතිවරයාගේ මැදිහත්වීම් නොඉවසන බව ප්‍රකාශ කර තිබේ.

රොෂාන් රනවුට් - ෂම්මි නොකවුට්

නීතිඥ සාමූහිකය නිවේදනයක් නිකුත් කරමින් ජනාධිපතිවරයා ඒ පිළිබඳව කළ අර්ථදැක්වීම් ද සදොස් බව අවධාරණය කර තිබේ. ව්‍යවස්ථා සභාවේ පදනම සංවරණ හා තුලනය බවත් ජනාධිපතිවරයා එය අවතක්සේරු කිරීම අනුචිත බව ද නීතිඥ සාමූහිකය පවසයි. ඇත්ත වශයෙන්ම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හා බැඳුණු ආයතනවල ක්‍රියාකාරීත්වය අර්ථ විවරණය කළ හැක්කේ ඒ පිළිබඳ ප්‍රාමාණික නීති ක්‍ෂේත්‍රයේ විද්වතුන්ට පමණි. එහෙත් මේ රටේ විධායකය, නීතිය හීලෑ කිරීම සඳහා දරන ලද උත්සාහයන් කෙබඳුදැයි පුරවැසියන් මෙන්ම සිවිල් සංවිධාන ද දනී. විධායකය හා අගවිනිසුරුවරුන් අතර සිදුවූ මතභේද ගැටුම් අපට ද මතකය. හිටපු අගවිනිසුරුවරියක වූ ආචාර්ය ශිරාණි බණ්ඩාරනායකට අත්වූ අමිහිරි ඉරණම ද අපට මතකය. එදා ඇයට එරෙහිව පාර්ලිමේන්තුවට ඉදිරිපත්වූ දෝෂාභියෝගය එහිදී ඇයට මුහුණදීමට සිදුවූ දේශපාලන සරදම් ආදිය අප්‍රමාණය. රාජපක්ෂ පාලනයට අභියෝගයක් වීම ඒ සියල්ලට ප්‍රධාන හේතුව විය. මේ පිළිබඳව ඇය විසින් ලියන ලද උත්තරීතර – දෝෂාභියෝගයේ ඇතුලාන්තය කෘතියෙහි සම්පූර්ණ විස්තරයක් ද වේ.

කෙසේ වුවද මේ රටේ අධිකරණ ක්‍රියාදාමයත් එහි ප්‍රමුඛ විනිසුරුතුමන්ලාත් ව්‍යවස්ථාමය වගකීම් ඉටුකිරීමට මෙන්ම ප්‍රජාතන්ත්‍රවාදය සුරැකීමට දක්වන අවධානයත් අප අගය කළ යුතුය. ඇතැම් නඩු කටයුතුවලදී ඒවායින් ඇතැම් විනිසුරුවරුන් ඉවත්වන්නේ ද යුක්තිය හා නීතියේ පාරිශුද්ධභාවය තහවුරු කිරීමට බව ද රහසක් නොවේ. ව්‍යවස්ථා සභාව ස්ථාපිත කරන ලද්දේත් යුක්තිය සාධාරණය හා දේශපාලන සබැඳියාවන්ගෙන් තොරව මේ රටේ රාජ්‍ය ආයතන බලගැන්වීමේ ක්‍රියාවලියට සහාය වීමටය. එය කිසිසේත්ම රාජ්‍ය නායකයාගේ අතකොළුවක් හෝ උපකරණයක් නම් එබඳු ආයතනයක අවශ්‍යතාව කුමක්ද?

මෙම ව්‍යවස්ථා සභාව හඳුන්වා දෙන ලද්දේ 17 වන සංශෝධනයෙනි. ශ්‍රේෂ්ඨාධිකරණයේ හා අභියාචනාධිකරණයේ විනිශ්චයකාරවරුන් අධිකරණ සේවා කොමිෂන් සභාවේ සාමාජිකයන්, නීතිපති, විගණකාධිපති, පොලිස්පති, පාර්ලිමේන්තු කොමසාරිස් යන ධුරවලට කරනු ලබන පත්කිරීම් අනුමත කිරීම මෙම සභාවට පැවරී තිබේ. ඊට අමතරව උසස්ම රාජ්‍ය ආයතන, කොමිෂන් ගණනාවක්ම මෙම සභාවේ අනුමැතියට යටත් කර තිබේ. මැතිවරණ, අල්ලස්, මානව හිමිකම් ආදිය එයට ඇතුළත් විය. මෙය විධායකය සීමා කිරීමට උචිත සංශෝධනයක් ලෙස පිළිගත්තකි. එහෙත් එයට පක්ෂ නොවූ අය එදාත් සිටියහ. මහින්ද රාජපක්ෂ ජනාධිපති වීමෙන් පසු මෙම 17 වන සංශෝධනය අහෝසි කළේ, ඒවා ජනාධිපතිවරයාට බාධාවන සීමා බව පවසමින්ය. එහෙත් පසුව 21 වැනි සංශෝධනයෙන් ජනාධිපති බලතල අඩුකිරීම සඳහා මේ ව්‍යවස්ථා සභා ඇතුළු අලුත් යෝජනා කීපයක්ම යළි ව්‍යවස්ථාවට ඇතුළත් කර ඇත. එහෙත් එය රජයේ ක්‍රියාදාමයට බාධා කරන, හරස්වන ආයතනයක් ලෙස රාජ්‍ය නායකයා වන ජනාධිපතිවරයා විසින්ම හඳුන්වනු ලැබීම උභතෝකෝටිකයකි.

ජනාධිපති රනිල් එදා පෙනී සිටි ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කිරීමේ දේශපාලන මෙහෙයුම අද ඔහු විසින්ම අත්හරිනු ලැබ තිබේදැයි බොහෝ විට ඔහුට එල්ලවන විවේචනවලින් අපට ද හැඟෙයි. විශේෂයෙන්ම ක්‍රීඩා ඇමැති රොෂාන් රණසිංහ ඉකුත් සඳුදා (27 දා) පාර්ලිමේන්තුවේදී කළ විශේෂ ප්‍රකාශය තුළ කෙරෙන ඇඟවීම් බොහෝය. ක්‍රිකට් පාලකයන්ගේ දූෂණ, අක්‍රමිකතා හෙළිකිරීම නිසා අද තමාගේත් පවුලේ අයගේත් ජීවිත පවා අනතුරට ලක්ව ඇතැයි කැබිනට් ඇමැතිවරයකු පැවසීම බරපතළ කරුණකි. ඔහුට නොමැති ආරක්ෂාවක් ජනාධිපති කාර්යමණ්ඩල ප්‍රධානියකුට හිමිවී ඇතැයි ද ඔහු චෝදනා කරයි. තමා පසුපස පොලිසිය විශේෂයෙන් දූෂණ වැටලීම් අංශ ලුහුබඳිමින් වැරදි ප්‍රවෘත්ති මවමින් තමන්ට එරෙහි මෙහෙයුමක් ක්‍රියාත්මක වන බව ද ඇමැතිවරයා පැවසීය. ඇමැතිවරයා පත්ව සිටින හුදෙකලා බව පමණක් නොව විධායකය විසින් තමන් නොසලකා හරින ලද බවක් ද ඔහුගේ ප්‍රකාශයෙන් අපට පසක් විය.

මෙහිදී ඇමැති රොෂාන්ගේ ප්‍රකාශය තුළ ඉතා ප්‍රබල අවධාරණයක් ද විය. එය ඔහු විසින් රාජපක්ෂවරුන්ගේ ජයග්‍රහණය වෙනුවෙන් දෙන ලද දායකත්වය හා අද ඔහුගේ දේශපාලනයට පමණක් නොව පෞද්ගලික ජීවිතයට ද කිසියම් අනාරක්ෂිත බවක් ඇතැයි ද තහවුරු කිරීමකි. ජනාධිපති රනිල් ඡන්ද 134 කින් එම ධුරයට පත්ව සිටින අයෙක් වුවත් තමන් විශාල ජනවරමකින් ජනතා ප්‍රසාදයෙන් පත්ව සිටින බව ද ඔහුගේ අවධාරණය විය. මෙය මෘදු විවේචනයක් වුවත් එය ජනාධිපති රනිල් වැනි චරිතයක් ඉවසා සිටිනු ඇතැයි අපට සැක සිතුණි. පුදුමයකට මෙන් මේ සටහන ලියද්දී රූපවාහිනී නාලිකාවල විශේෂ පුවතක් ලෙස වාර්තා වූයේ රොෂාන් රණසිංහ විසින් හොබවන ලද සියලුම අමාත්‍ය ධුරවලින් ඔහු ඉවත් කරන ලද බවය.

ජනාධිපතිවරයකුගේ අභිමතයට පටහැනිව ක්‍රියා කළ කිසිදු ඇමැතිවරයකුට ගැලවීමක් නොවූ බව මෙම විධායක ක්‍රමයේදී අනිවාර්ය ප්‍රතිඵලයකි. එයට ඕනෑ තරම් නිදසුන් ද තිබේ. කුමක් වුවත් රොෂාන්ගේ දූෂණ විරෝධී මෙහෙයුම ජනාධිපති මෙන්ම ඔහුගේ සමීප උපදේශකයකු නොරිස්සූ බව ප්‍රකට රහසකි. රොෂාන් ඇමැතිවරයා ලෙස කියා සිටියේ ද ජනාධිපතිවරයාට තීරණයක් ගත හැකි බවය. රොෂාන් ද? ෂම්මි ද? යන දෙකින් එකක් තීරණය කළ හැකි බවය. ඒ අනුව නම් දැනට පෙනෙන්නේ රොෂාන් ඉවත්කර තිබෙන බවය. එහෙත් ඒ ෂම්මි වෙනුවෙන්දැයි තවම අපට කිව නොහැක. එසේ වුවද මේ සම්බන්ධයෙන් ජනාධිපති රනිල්ට දැඩි විවේචන එල්ලවී තිබේ. විපක්ෂනායක සජිත් නිවේදනයක් නිකුත් කරමින්ම මෙම ඉවත් කිරීම හෙළාදැක තිබේ. ජනාධිපතිවරයා කර තිබෙන්නේ දූෂණ හා අක්‍රමිකතා සිදුකළ අය රැකගෙන එයට එරෙහි වූ තම කැබිනට් ඇමැතිවරයා ඉවත් කිරීමක් බව ද විපක්ෂයෙන් එල්ලවී තිබෙන චෝදනාවය. ජනාධිපති වෙනුවෙන් ද රාජ්‍ය ඇමැතිවරයෙක් කතා කිරීම ද කැපී පෙනුනි. කුමක් වුවත් තවමත් මේ රටේ අයවැයට වඩා වැඩි අවධානයක් ක්‍රිකට්වලට යොමුවී තිබෙන බව නම් පැහැදිලිය. එසේම රොෂාන් නෙරපීමෙන් පසු ක්‍රිකට් නිලබලවලට කුමක් සිදුවේද යන්න දැන්ම පුරෝකථනය කිරිමට ද නොහැක. එහෙත් අපට එකක් කිව හැකිය. ජනාධිපති රනිල්ගේ මෙම ක්‍රියාව දේශපාලන බෝම්බයක් විය හැකි බවත් එළැඹෙන කවර මැතිවරණයකදී වුවද එය ප්‍රබල දේශපාලන තේමාවක් බවට පත්විය හැකි බවත්ය.

රොෂාන් රනවුට් - ෂම්මි නොකවුට්

ඇත්ත වශයෙන්ම දේශපාලන වශයෙන් පරිණත නායකයකු වන ජනාධිපති රනිල් ආර්ථික හා දේශපාලන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියක් කෙරෙහි බහුතර ජනතාවක් මෙන්ම නීතිඥ ප්‍රජාව ඇතුළු සිවිල් සංවිධාන අපේක්ෂා සහගතව සිටින මොහොතක ජනාධිපතිගේ දේශපාලන ශෛලිය මෙන්ම ඔහුගේ ඇතැම් විශ්ලේෂණ, ප්‍රශ්නකාරී බව ද පෙනේ. රාජපක්ෂවරුන් අරබයා මේ රටේ ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ලබාදී තිබෙන ඓතිහාසික තීන්දුව සම්බන්ධයෙන් ජනාධිපති රනිල්ගේ කියැවීම කුමක්ද යන්නත් සමහරු ප්‍රශ්න කරති. මේ පිළිබඳව ඉන්දීය රූපවාහිනී නිවේදිකාවක විසින් ද ප්‍රශ්න කළ බව අපට මතකය. එසේම රාජපක්ෂ පාලනයට ද ඒ ආර්ථික බිඳවැටීම සම්බන්ධ වගකීමක් තිබෙන බව ද ඔහු පිළිගනී. එසේ වුවත් මහා භාරතයේ එන අර්ජුන සිය නෑයන්ට එරෙහිව යුක්තිය වෙනුවෙන් සටන් කළ ආකාරයට ජනාධිපති රනිල්ට රාජපක්ෂවරුන්ට එරෙහිව ක්‍රියා කළ නොහැකි බව ද අපි දනිමු. එසේම සමස්තයක් ලෙස රාජපක්ෂ පාලනය විසින් සමාජ, ආර්ථික දේශපාලන ක්‍ෂේත්‍රවලට සිදුකරන ලද අලාභය ද ප්‍රබුද්ධ මනසකින් කියවා බලා රටේ ඉරණම වෙනස් මගකට යොමු කිරීමට ජනාධිපති රනිල් වෑයම් කළේ නැති බව ද අපගේ විවේචනයයි.

ජනාධිපතිවරයාම පවසන ආකාරයට පොහොට්ටුවේ පිරිසක් ඔහු සමඟ සිටිති. එසේනම් ඔහු රට වෙනුවෙන් සාධනීය ආර්ථික හා දේශපාලන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියකට යොමුවූයේ නම් කිසිසේත් ඔහු හුදෙකලා වන්නේ ද නැත. ඔහුගේම සෙවණ යටතේ වැඩුණු ස. ජ. බ. බොහෝ දෙනකු ද ඔහුගේ යහපත් සැලසුම් අනුමත කරන බව ද කල්පනා කළ හැකිය. ජනාධිපති රනිල් විසින් මේ වනවිට ඉදිරිපත් කරන ලද අයවැය දෙකම රාජපක්ෂ පාලනයේ ආර්ථික බිඳවැටීමට උචිත ආර්ථික ප්‍රතිසංස්කරණවලින් දුරස්වූ බව එම ක්‍ෂේත්‍රවල විශේෂඥයෝ පෙන්වා දෙති. ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව ප්‍රකාශයට පත්වීමට පෙර සිටම රාජපක්ෂවරුන්ගේ ආර්ථික දැක්මේ අසාර්ථකත්වය සම්බන්ධයෙන් ප්‍රමාණවත් විග්‍රහ සිදුවීම් තිබුණි. සෘජු බදු හා වක්‍ර බදු පැනවීමෙන් ඒ සමාජයේ පොදු ජනයා මෙන්ම මධ්‍යම පන්තිය මත පටවන ලද පීඩනය සුළුපටු නැත. අද මේ රටේ දුගීභාවයත් වරප්‍රසාද නොලත් ජනතාව මුහුණදී සිටින කටුක අත්දැකීම් සියල්ලත් තවත් වැඩිකිරීම 2024 අයවැය නිසා ද සිදුවන බව වටහා ගැනීමට ආර්ථික විද්‍යාඥයකු වීමට අවශ්‍ය නැත. රටේ ආර්ථික විනාශයට වගකිවයුතු චෞර වළල්ලත් දූෂිත ලෙස ධනය කොල්ලකාගත් පිරිසත් සුවපහසු ජීවිත ගත කරති.

මේ වනවිට රාජ්‍ය සේවකයන් සඳහා වැඩි කළ රු. 10,000/- න් අඩක් හෙවත් රු. 5000/- ක් ජනවාරියේ සිට ලබාදීමට ආණ්ඩුව තීරණය කර තිබේ. ඇත්තටම ජනවාරියේ සිට ඉහළ යා හැකි එදිනෙදා වියදම් ගැන කිසිවකුට කල්පනා කළ නොහැකිය. වැට් බද්ද 18% ක් වූ පසු කුමන භාණ්ඩ හා සේවා මිල ගණන් ඉහළ යා හැකි දැයි දැන්ම කීමට ද නොහැක. විදුලිය, ඉන්ධන, ගෑස් පෝලිම් නිසා මහමගට පැමිණ උද්ඝෝෂණ කළ ජනතාව අද කිසිදු බාධාවකින් තොරව ඒවා ලබාගනිමින් කමින් බොමින් ප්‍රීතියෙන් සිටින බවක් කිසිවකුට කිව හැකි ද? ඒ හැම දෙයක් වෙනුවෙන්ම වැඩි මිලක් ගෙවීමට ජනතාවට සිදුවී තිබෙන අතරම ඒ බොහෝදෙනකුගේ ආදායම්වල වෙනසක් ද සිදුවී නොමැති බව පාලකයන් මෙන්ම ඔවුන්ගේ අනුගාමිකයෝ ද නොදනිතියි කිව නොහැක. එසේම මේ සියල්ල කළ හැකි වූයේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ලබාදෙන ණය හා රටේ ණය වාරික නොගෙවීමෙන් බව ද ඒ අය දනිති. එසේම මේ ජනපීඩක බදු ඒ ජාත්‍යන්තර උපදෙස් අනුව පටවන ලද ඒවා බව ද ඔවූහු දනිති. එසේ වුවද දුම්කොළ සමාගම්, කැසිනෝ වැනි සුපිරි ධනපතියන්ට බදු බරක් පනවා නැතැයි චෝදනා පවා නැගී ඇත.

පේරාදෙණි විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා හා සංඛ්‍යාන ලේඛන අධ්‍යයනාංශයේ මහාචාර්ය වසන්ත අතුකෝරළට අනුව මේ රටේ ඒක පුද්ගල ණය ප්‍රමාණය (2023 ජූලි අග වනවිට) රුපියල් ලක්ෂ 12 කි. රටේ සමස්ත ණය ඇමරිකානු ඩොලර් 91 ඉක්මවා ඇති බව ද ඔහු සඳහන් කර ඇත. මෙබඳු ආර්ථික විශ්ලේෂණ මෙන්ම පොදු ජන ජීවිතවලට එල්ලවී තිබෙන අසාධාරණ බදුබර වැනි සංවේදී ප්‍රශ්න රාජපක්ෂ කඳවුරේ බහුතරයකට වටහා ගත හැකිද? යන්නත් ඔවුන්ගේ දේශපාලන භාවිතයෙන් නම් පැහැදිලි නොවේ. නිසැකයෙන්ම දේශපාලන වහලුන්ට හා දූෂණය, වංචාව හා අල්ලස වැනි අශිෂ්ට ක්‍රියාකාරකම් අනුමත කරන අනුගාමිකයන්ට ද මේ රට හිරවී තිබෙන අනතුර නොපෙනීම පුදුමයක් නොවේ. මැල්කම් රංජිත් කාදිනල් තුමා දින කීපයකට පෙර අනුශාසනා කළේත් මේ දූෂිත දේශපාලන තන්ත්‍රයම පරාජය කළ යුතු බවය.

ගාමිණි සුමනසේකර

advertistmentadvertistment
advertistmentadvertistment