ඉවසුවා ඇති… සියලු ජාතීන් එක පෙරමුණකට වරෙල්ලා… නැත්නම් අපට රටක් නැතිවේවි…

1162

ජාතික භික්ෂු එකමුතුවේ සභාපති – මිහින්තලා රජමහා විහාරාධිපති වලවාහැංගුණවැවේ ධම්මරතන නාහිමි

අපි මුලින් කිව්වා හාමුදුරුවන්ට ඡන්දය දෙන්න එපා සිව් පසයෙන් දුන්නහම ඇති කියලා. දැන් එහෙම ඉන්න බැරි තත්ත්වයක් උදා වෙලා. මුන් කරල තියෙන විනාශය දැක්කම අපට අවදි වෙන්න වෙලා තියෙනවා. එයට හේතුව තමයි පෝෂණය කරන්නෙ ගිහි ජනතාව නිසා. ගොවියෙක් පවා රජකමට සුදුසුයි. තාක්ෂණික දැනුම බහුශ්‍රැතභාවය, පෙරටු කරගෙන ස්වාමීන් වහන්සේලාගේ නිර්දේශය මත මීළඟ ජනාධිපතිවරණය සඳහා ඉල්ලු‍ම් පත්‍ර කැඳවන බව ජාතික භික්ෂු එකමුතුව එකමුතුවේ සභාපති මිහින්තලා රජමහා විහාරාධිපති වලවාහැංගුණවැවේ ධම්මරතන නාහිමිපාණන් පැවසූහ.

‘රට හදන මග – නව නිදහස් සටන‘ මැයෙන් නව ජාතික භික්ෂු එකමුතුව සිය ප්‍රතිපත්ති ප්‍රකාශනය එළිදැක්වීම පෙරේදා (14දා) පස්වරුවේදී ඓතිහාසික මිහින්තලා රජමහා විහාරස්ථානයේදී සිදුකළ අවස්ථාවේදී උන්වහන්සේ මේ බව පැවැසූහ.

මෙහිදී අනුශාසනාවක් සිදුකළ ජාතික භික්ෂු එකමුතුවේ සභාපති, මිහින්තලා රජමහා විහාරාධිපති වලවාහැංගුණවැවේ ධම්මරතන නාහිමිපාණෝ මෙසේ ද පැවසූහ.

මේ රටේ සියලු‍ම ස්වාමීන් වහන්සේලා යැපෙන්නේ, මේ අපේ පිටිපස්සේ ඉන්න දහඩිය මුගුරු වගුරන, මහ පොළොවත් එක්ක ගැටෙන මේ ආදරණීය අම්මලා තාත්තලා නිසයි. අපව පෝෂණය කරන්නේ මේ අයයි, මේ අය නිසයි අපේ ඇඟේ ලේ දුවන්නෙ, අපි පරපෝෂිතයින් අපි මේ මිනිසුන්ට ණය ගැතියි, ඒ ණය ගැතිකම නිසාම තමයි අපි අවදි වෙන්නට ඕනේ, මේ මිනිස්සුන්ව අපි ආරක්ෂා කරන්න ඕන.

මේ වෙහෙර විහාරස්ථාන, පන්සල්, පල්ලි කෝවිල් මේ සෑම සිද්ධස්ථානයක්ම සුරක්ෂිත වෙන්නේ ලංකාවේ සිව්දෙස සිව්කොනේ ඉන්න ගිහි ජනතාවගේ ලැබෙන ආධාර උපකාරය අනුවයි.

දේශපාලනඥයෝ 1948 සිට අද දක්වාම අපිව රැවැට්ටුවා, ගත්ත ණය ගෙවා ගන්න බැරි වුණාම පාර්ලිමේන්තුවේ පනතක් සම්මත කර ගන්නවා මේක දිළිඳු රටක් කියලා. අපිද ණය ගත්තෙ, අපිද හොරකම් කෙරුවේ. මේ වෙන කොට අසීමාන්තික දේපල තියෙන පිරිසක් තමයි මේ හොරු රැල, අපේ ඡන්දයෙන් ගිහිල්ලා එවුන් හම්බ කර ගෙන තිබෙන්නේ. උන්ට උඩින් යන ප්ලේන් තියෙනවා, මුහුදෙන් යන්න නැව් තියෙනවා, බිමින් යන්න යාන වාහන තියෙනවා, පිටරට වල ගෙවල් තියෙනවා, වතු තියෙනවා, ලෙඩක් දුකක් ඇති වුණොත් ඒ අය ප්ලේන් එකෙන් ගිහිල්ලා සිංගප්පූරුවෙන් හරි එංගලන්තයෙන් හරි ඇමරිකාවෙන් හරි බෙහෙත් අරං එනවා. හැබැයි රටේ මිනිස්සුන්ට හොර පාරෙන් වගකීමක් නැති බාල බෙහෙත් අරං අරන් එනවා හොර සීල් ගහලා, සීල් එක අපේ නෙවෙයි කියලා ඇඟ බේර ගන්න පුලු‍වන්ද අපේ හාමුදුරුවනේ. ඉවසුවා ඇති හොඳටම.

එම නිසා මේ ක්‍රමය වෙනස් විය යුතුයි. ඔවුන් වෙනස් කරන්නෙ නැත්නම් අපි මේක වෙනස් කළ යුතුයි. ඒකයි ගෞරවනීය මහා සංඝරත්නය අපි ආදරයෙන් වඩම්මලා කියා සිටින්නේ අවදි වෙන්න. එදා අනගාරික ධර්මපාලතුමා කිව්වේ බුද්ධගයාව බේරා ගනිව් කියලා. සිංහල විතරක් නෙවෙයි මුස්ලිම් දෙමළ බර්ගර් සියලු‍ දෙනා නැගිටපල්ලා එක පොකුරට වරෙල්ලා එහෙම නොවුණොත් මේ සියලු‍ ජන වර්ගයාට දැන් රටක් නැහැ.

අපේ හාමුදුරුවන්ට පුළුවන් කවුද හොඳ මනුස්සයා කියලා තීරණය කරන්න. හොඳ මනුස්සයෙක් දේශපාලනයට ගේන්න, නිර්දේශ කරන්න ඕනේ. පොලිස් වාර්තාව ගේන්න ඕනේ තමන්ගේ වත්කම් හෙළි කරන්න ඕනේ, පන්සලෙන්, කෝවිලෙන්, පල්ලියෙන් පුළුවන්, අපිට මෙන්න මේ වගේ හොඳ මිනිස්සු ටිකක් නිර්මාණය කරලා පාර්ලිමේන්තුවට යවන්න. පවුලක එකෙක් පාර්ලිමේන්තුව නියෝජනය කරනවා නම් ඒකගේ, බාප්පා, මාමා, සීයා ගේන්න බැරි ක්‍රමයක් හදන්න ඕනේ, හරි විගණනයක් නැත්තං අපේ රට ගොඩ ගන්න බැහැ.

මතක තියා ගන්න හාමුදුරුවනේ අපේ පන්සල හැදුවා, අපිට ලයිට් දුන්නා අපිට ජලය දුන්නා ධර්ම ශාලාව හදල දුන්න කියලා ඡන්දෙ දෙන්න එපා. ඒ ඇමැතියාගේ විමධ්‍යගත අරමුදලෙන් තමයි එයා ඒවා හදලා දුන්නෙ. නැතුව ගෙදරින් ගෙනාපු සල්ලිවලින් නෙමෙයි. අපේ අහිංසක ජනතාවගේ බදු සල්ලිවලින්, ඒ පන්සල හදල දුන්නේ. ඔවුන්ගේ පෞද්ගලික මුදලින් වැටුපෙන් ශත පහක දෙයක් කරලා නැහැ. පල්ලිය කෝවිල සිද්ධස්ථානවලත් එසේමයි.

ගංගොඩවිල සෝම හාමුදුරුවෝ මතකයිනේ මේ පාලන තන්ත්‍රය වෙනස් කරන්න ඕනේ කියලා ලොකු හඬක් නඟා ගෙන ගියා, ඒ හඬ නගාගෙන ගිහිල්ලා අවසානයේ උන්වහන්සේට ඉලක්කය කරා යන්න බැරි වුණා. උන්වහන්සේ අපවත් කළා.

අපි මුලින් කිව්වා හාමුදුරුවන්ට ඡන්දය දෙන්න එපා කියලා. සිව්පසයෙන් දුන්නහම ඇති කියලා දැන් එහෙම ඉන්න බැරි තත්ත්වයක් උදා වෙලා මුන් කරල තියෙන විනාශය දැක්කම.

අපි අවදි වෙන්න ඕනේ එක ලකුණකින් අවුරුදු 40ත් 60ත් අතර 50% කාන්තා නියෝජනයක් තිබිය යුතුයි. ගොවියෙක් පවා රජකමට සුදුසුයි. තාක්ෂණික දැනුම බහුශ්‍රැත භාවය, පෙරටු කරගෙන අපි මීළඟ ජනාධිපතිවරණය සඳහා ඉල්ලු‍ම් පත්‍ර කැඳවමු. අපේ හාමුදුරුවරු අදාළ පුද්ගලයා නිර්දේශ කරන්න. අද හිරේ ඉන්න ඕන එවුන් පාර්ලිමේන්තුවෙ ඉන්නේ, අත්හිටවූ සිර දඬුවම් නියම වෙච්ච එවුන් පාර්ලිමේන්තුවේ, මරණ දඬුවම නියම වෙච්ච උන් තමයි පාර්ලිමේන්තුවේ ඉන්නේ. මැති ඇමතිකම් දරන්නේ කුඩු කාරයෝ, ගංජා කාරයෝ. පාතාලය මෙහෙයවන එවුන්. ”‍

මෙහිදී අදහස් දැක්වූ ජාතික භික්ෂු එකමුතුවේ කැඳවුම්කරු, ශාස්ත්‍රපති ලියන්වල ශාසනරතන හිමිපාණන්,

”‍අද ඓතිහාසික මිහින්තලේට අපි එකතු වුණේ ස්වාමීන් වහන්සේලාගේ ඒකරාශි වීම, සමගියෙන් කතා කිරීම, සමගියෙන් සාකච්ඡා කිරීම, සමගියෙන් විසිරයාම යන උදාර චේතනාව පෙරදැරිවයි. ඒ ආධ්‍යාත්මික සිතුවිල්ල සිතේ දරාගෙනයි, අරාජික වෙච්ච ආර්ථික අර්බුදය, සමාජීය අර්බුදය, පාරිසරික අර්බුදය, ආධ්‍යාත්මික අර්බුදය සහ දේශපාලන අර්බුදයන්, වලපල්ලට යවමින් වහල් රටක් බවට පරිවර්තනය කර කුජීත, තක්කඩි දේශපාලන සංස්කෘතිය වෙනස් කරන්නට හැකියාව තිබෙන්නේ මේ කහ ධජයට කියන එක සමාජ ගත කරන්නටයි. අද මේ පුණ්‍ය භූමියට වැඩම කළේ, මේ අවස්ථාවේදී අපට තිබෙනවා ඉෂ්ට කරන්න වගකීමක් යුතුකමක්.

බුදුරජාණන් වහන්සේ වදාළේ යම් කෙනෙක් ලඟට පිණ්ඩපාතයේ වඩින විට, යම් ගිහියෙක් කෑම කකා ඉන්න කොට පිඟානෙ මුල මැද හෝ අග අපි ලබා ගත යුතු පාරිතෝෂික කොට්ඨාසයක් බවයි. එසේ අපට මතක් කරල දුන්නෙ ඒ නිසා අපිට වගකීමක් තිබෙන නිසයි.

සුනඛයෙකුට ගලක් ගැහුවොත් ඒ සුනඛයා ගල පිටි පස්සේ දුවනවා. ඒක තමයි සුනඛ ගතිය නැති නම් බලු‍ ගතිය, සිංහයෙකුට ඊතලයකින් විද්දාම සිංහයා ඊතලය පිටි පස්සේ නෙමෙයි දුවන්නෙ. ඒක විද්ද කෙනා පිටුපස්සෙයි. ඒක තමයි සිංහල ක්‍රමය කියන්නේ, හේතු ඵල න්‍යාය කියන්නේ, මේ හොරු රැලට කියලා දෙන්න ආවේ මේ ‘සිංහ‘ ක්‍රමය ගැනයි.

අද අපිට බලය ගැන කතා කරන්න වෙලා තියෙන්නේ දශක හතක් තුළ කුජීත වහල්භාවයට ජනතාව ඇදලා දාපු රට ඇදලා දාපු මේ මහා හොරු තක්කඩි රැල නිසයි. ”‍

මෙහිදී අදහස් දැක්වූ ජාතික භික්ෂු එකමුතුව එකමුතුව ප්‍රධාන ලේකම් ශාස්ත්‍රපති පාහියංගල ආනන්ද සාගර හිමිපාණන් මෙසේ පැවසූහ.

”‍ අද රූපවාහිනිය, රේඩියෝ එක දැම්මාම, පත්තරයක් අතට ගත්තහම මොන තරම් කාලකන්නිද කියලා හිතෙනවා, පුදුම කාලකන්නි රටක් කියලා තමයි මිනිස්සු කියන්නේ, මේ රටේ ඉන්නවට වඩා හොඳයි මැද පෙරදිග රටකට ගිහින් ජීවත් වෙන එක, බෝට්ටුවෙන් ඉන්දියාවට යන එක, එහෙම තමයි මේ රට හැදිලා තියෙන්නේ. අද පාස්පෝට් කන්තෝරුවක් ලඟට ගියාම හිතන්න ගන්න බෑ ඉන්න සෙනග ඇත්තටම මේ රට දාලා යන්න ඕන රටක්ද,

මෙච්චර මහ මුහුද තියෙන රටක් තව නැහැ.

රට වගේ අට ගුණයක් මුහුද මේ රටට අයිතියි. මේ මහ මුහුදෙන් වැඩ ගන්න හරි මිනිහෙක් ඉන්නවා නම්, හරි වැඩ සටහනක් තියෙනවා නම්, මහ මේ මහ මුහුද ඇති.

මේ රටෙන් හරහා බඩු රැගෙන යන නැව් 36000ක් පමණ වසරකට යනවා. ලෝකෙ රටවල්වලින් තුනෙන් දෙකක් නැව් ගමන් කරන්නේ අපේ මුහුදු තීරය හරහා මොනවා කරන්න පුළුවන් රටක්ද මේක.

නායක හාමුදුරුවනේ වැඳලා ඉල්ලන්නේ මේ රටේ මහා නායක හාමුදුරුවරු ඇතුළු සාසන බලධාරීන්, නායක හාමුදුරුවන්ගේ මූලිකත්වය අරගෙන රට හදන වැඩ සටහනක් අපි හදාගමු මේ රටට අපි නායකත්වය දෙමු. තව දුරටත් නිකාය භේද, අර නායක, මේ නායක භේද ඇති. ඉවසුවා හොඳටම ඇති.”‍

ජාතික භික්ෂු එකමුතුවේ සභාපති ඓතිහාසක මිහින්තලා රජමහා විහාරාධිපති ආචාර්ය වලවාහැංගුනවැවේ ධම්මරතන නායක හිමියන්, කැඳවුම්කරු ශාස්ත්‍රපති ලියන්වල ශාසනරතන නායක හිමියන්, භික්ෂු එකමුතුවේ ප්‍රධාන ජාතික සංවිධායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අක්මීමන දයාරතන නායක හිමියන්, ජාතික භික්ෂු එකමුතුවේ ප්‍රධාන ලේකම් ශාස්ත්‍රපති පාහියන්ගල ආනන්ද සාගර ස්වාමීන් වහන්සේ සිල් මාතාවන් ඇතුළු මහා සංඝරත්නය ගිහි ජනතාව විශාල පිරිසක් මේ සඳහා සහභාගී වී සිටියහ.
මිහින්තලේ – රංග චතූ

advertistmentadvertistment
advertistmentadvertistment