සරසවි ඇදුරන්ගේ පර්යේෂණ දීමනාව – බද්දෙන් නිදහස් කිරීමට ජනපති වාර්තාවක් කැඳවයි

80

විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ට ලබාදෙන පර්යේෂණ දීමනාව පවතින බදු ප්‍රතිපත්තියෙන් නිදහස් කර ගෙවීම ගැන නව චක්‍රලේඛයක් නිකුත් කිරීමට ඇති හැකියාව සොයා බලා සති 3 ක් ඇතුළත තමා වෙත වාර්තා කරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ හතා නිලධාරීන්ට උපදෙස් දුන්නේය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය අතර සාකච්ඡාවක් (13 දා) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී සිදුවූ අවස්ථාවේ එසේ උපදෙස් දී තිබේ. විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ට ලබාදෙනු ලබන අධ්‍යයන පර්යේෂණ දීමනාව වැඩිකර ගැනීම හා එම දීමනාව දැනට ක්‍රියාත්මක කරනු ලබන උපයන විට අයකරනු ලබන බද්දෙන් නිදහස් කර ගැනීම ඇතුළු කරුණු පිළිබඳ මෙහිදී සාකච්ඡාවට ලක්විය.

රටේ සියලුම ජනතාව මුහුණදී සිටින ආර්ථික අසීරුතාව පිළිබඳ රජයට මනා අවබෝධයක් ඇති බවත් පවතින ආර්ථික ගැටලු කඩිනමින් නිරාකරණය කර ගනිමින් සියලු ජනතාව වෙත සහන සැලසීම රජයේ අරමුණ බවත් ජනාධිපතිවරයා මෙහිදී පැවසීය. මෙම අධ්‍යයන පර්යේෂණ දීමනාව ඉල්ලා සිටින පරිදි ලබාදීමට දැනට පවතින චක්‍රලේඛ අනුව ප්‍රතිපාදන නොමැති වුවත්, එය පවතින බදු ප්‍රතිපත්තිවලින් නිදහස් කර ගෙවීම සම්බන්ධයෙන් වෙනත් චක්‍රලේඛයක් නිකුත් කිරීමට ඇති හැකියාව සොයා බලා සති 3 ක් ඇතුළත තමා වෙත වාර්තා කරන ලෙස ජනාධිපතිවරයා මෙහිදී නිලධාරීන්ට උපදෙස් දුන්නේය.

විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව අහෝසි කර සමස්ත විශ්වවිද්‍යාල පද්ධතියේ පරිපාලනය කැලිෆෝනියා සහ බීජිං විශ්වවිද්‍යාල ක්‍රමවේදය අනුව සකස් කිරීමට ඇති හැකියාව සම්බන්ධයෙන් අධ්‍යයනයක් සිදුකරන බවද ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

ජනාධිපති ලේකම් සමන් ඒකනායක, ආර්ථික කටයුතු පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ආචාර්ය ආර්. එච්. එස්. සමරතුංග, විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනයේ සභාපති ආචාර්ය බරණ ජයවර්ධන, ලේකම් ආචාර්ය අතුලසිරි සමරකෝන් යන මහත්වරුන් ඇතුළු සාමාජිකයෝ මෙම අවස්ථාවට එක්ව සිටියහ.
චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment