දරුවන් මරන්න හෝ පාරේ දමා යන්න එපා හදන්න බැරි නම් අපට දෙන්න

99

රාජ්‍ය ඇමැතිනි ගීතා ඉල්ලයි

ඇතැම් මව්වරුන් බිළිඳුන් මහමඟ දමා යෑම හෝ ඝාතනය කරන බවත් එසේ නොකර බිළිඳුන් තමන්ට ලබා දෙන ලෙසත් කාන්තා හා ළමා කටයුතු රාජ්‍ය අමාත්‍ය ගීතා කුමාරසිංහ මහත්මිය පැවසුවාය.

රටේ පවතින ආර්ථික තත්ත්වය මත ළමයින් රැක බලා ගැනීමේ මධ්‍යස්ථානයක් අලුතින් නිර්මාණය කිරීම අසීරු වුවත් රජයේ රෝහල්වල වෙනම ම ස්ථාන සකස් කර එවැනි ළමුන් රැක බලා ගැනීමේ ක්‍රමවේදයක් පිළිබඳව අවධානය යොමු කර ඇතැයි ද රාජ්‍ය අමාත්‍යවරිය සඳහන් කළාය. මේ සම්බන්ධයෙන් අධිකරණ අමාත්‍යාංශය හා සෞඛ්‍ය අමාත්‍යාංශය සමඟ සාකච්ඡා කිරීමට කටයුතු කරන බවත් ඇය පැවසුවාය.

රාජ්‍ය අමාත්‍ය ගීතා කුමාරසිංහ මහත්මිය මෙම අදහස් පළ කළේ ‘ස්ථාවර රටකට සැවොම එක මඟකට’ මැයෙන් ඉකුත් 25 වැනිදා ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.

මේ රටේ කාන්තා හිංසනය මෙන්ම ළමා අපචාර ප්‍රතිශතය යම් මට්ටමකට ඉහළ ගොස් ඇති බවත් ළමා අපචාර සම්බන්ධයෙන් පාසල් මට්ටමින් ළමුන් දැනුවත් කිරීමට යෝජනා කර තිබෙන බවත් ඇය කීවාය.

“පාසල් දැරියකට හෝ දරුවකුට ලිංගික අතවරයක් සිදු වූ විට අම්මාට හෝ තාත්තාට කීමට පැකිළෙනවා. ඇතැම් විට ඒ බව හොඳම යෙහෙළියට හෝ යහළුවාට කියන්න ඉඩ තිබෙනවා. ඒ නිසා පාසල් ළමුන් මේ සම්බන්ධයෙන් කටයුතු කළ යුතු ආකාරය ගැන උපදේශන වැඩසටහන් පැවැත්විය යුතුයි. කාන්තා හා ළමා අපචාර සම්බන්ධයෙන් වූ නීතියේ හිඩැස් තිබෙනවා. අපචාරයක් සිදු වූ විට පොලිසියට පැමිණිලි කිරීමට ඇතැම් කාන්තාවන් කැමැත්තක් දක්වන්නේ නැහැ. සියලු දෙනා ඉදිරිපිට පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමට ගිය විට කාන්තාවන් ලැජ්ජාවට පත් වෙනවා. ඒ නිසා කාන්තාවන්ට සිදුවන හිරිහැර පිළිබඳ පැමිණිලි ඉදිරිපත් කිරීමට වෙනම ස්ථාන, වෙනම කාන්තා පොලිස් නිලධාරිනියන් යෙදවිය යුතුයි. එසේම එවැනි කාන්තාවන් සම්බන්ධයෙන් කටයුතු කිරීමේදීත් විශේෂ අවධානයක් සහ ආරක්ෂාවක් ලබාදිය යුතු” යැයි ද රාජ්‍ය අමාත්‍යවරිය වැඩිදුරටත් සඳහන් කළාය.
උපාලි ද සේරම්

advertistmentadvertistment
advertistmentadvertistment