අධි තාක්ෂණික ගුවන් මෙහෙයුම් පද්ධතියක් කටුනායකට

166

ගුවන් මෙහෙයුම් කටයුතු සඳහා මෙතෙක් පරිහරණය කළ වසර 20ක් පමණ පැරණි ගුවන් මෙහෙයුම් සන්නිවේදන පද්ධතිය ඉවත් කර ලොව තිබෙන අධි තාක්ෂණික ගුවන් මෙහෙයුම් පද්ධතියක් ගුවන්තොටුපළ හා ගුවන්සේවා සමාගම විසින් කටුනායක ගුවන් මෙහෙයුම් පාලක මැදිරියේ ස්ථාපනය කරන ලදී.

ඒ අනුව ශ්‍රී ලංකාවේ ගුවන් කලාපය තුළ ආරක්ෂිත ගුවන් මෙහෙයුම් පවත්වාගෙන යෑම සඳහා අවශ්‍ය සියලු නවීන තාක්ෂණික මෙවලම් පහසුකම් මෙමගින් හිමිව ඇත. මෙම අධි තාක්ෂණික සන්නිවේදන පද්ධතිය, පසුගිය 26 වැනිදා නිල වශයෙන් ආරම්භ කිරීමේ අවස්ථාවට වරාය, නාවික හා ගුවන්සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා සහභාගි වූ අතර ප්‍රථම ඇමතුම කටුනායක සිට රත්මලාන ප්‍රධාන ගුවන් පාලක කුලුන වෙත ලබා ගන්නා ලදී.

රුපියල් මිලියන 670 ක පිරිවැයකින් ස්ථාපනය කරන ලද මෙම පද්ධතිය යුරෝපීය ප්‍රමිතියට අනුව ඉතාලියේ නිෂ්පාදනය කර ඇත. මෙම සන්නිවේදන පද්ධතිය ක්‍රියාත්මක කිරීමෙන් ගුවන් ගමන් පාලකවරුන්ට ප්‍රධාන පාලක මැදිරියේ සිට ගුවන්යානයට, සියලු ගුවන් තොටුපළවලට සහ රේඩාර් මධ්‍යස්ථානයට ක්ෂණයකින් සම්බන්ධ විය හැක.

ඉතාලියෙන් මෙරටට ගෙන්වන ලද මෙම අධි තාක්ෂණික සන්නිවේදන පද්ධතිය ස්ථාපිත කිරීම සහ නිරන්තර නඩත්තුව සිදු කරනුයේ ගුවන්තොටුපළේ ගුවන් සංතරණ සේවා ඉංජිනේරු අංශයේ සේවයේ නියුතු ශ්‍රී ලාංකික ඉංජිනේරුවන් විසිනි.

උපාලි ද සේරම්

advertistmentadvertistment
advertistmentadvertistment