යොහානිගේ දේශප්‍රේමීත්වය අගය කරමු

357

සංගීතය සම්බන්ධයෙන් ගත් කල භූගෝලීය සීමාවන් කිසි විටෙකත් වැදගත් නොවන අතර වර්තමානයේ අන්තර්ජාලය විසින් එහි ප්‍රවේශය පුළුල් කර තිබේ. රසාලිප්ත හඬකින් මුසුවුණු සංගීතයේ අවසන් නිෂ්පාදනය ගීතය වන්නේය. ‘මැණිකේ මගේ හිතේ’ ලොවම වැලඳගත් සිංහල ගීතයයි. එලෙස ලොව ජනප්‍රිය වූ වෙනත් නිර්මාණයක් නොමැත. මේ ප්‍රති නිර්මාණ ගීතය යූටියුබ් වෙත මුදාහැර මාස 3 ක් ඇතුළත මෙම ගීතය යූ ටියුබ් හි මිලියන 100 ක දර්ශන ඉක්මවා ගිය අතර එය ලොව පුරා විශේෂයෙන් ඉන්දියාවේ අතිශය ජනප්‍රිය විය. මාලදිවයින සහ බංග්ලාදේශයේ ද එම වීඩියෝ ගීතය එලෙසම ජනප්‍රිය විය. අද ‘මැණිකේ මගේ හිතේ’ ගැන කතා කරන්නේ එහි සංගීතය ගැන විග්‍රහයක් සිදුකිරීමට නොවේ. සංගීත තාරකාව යොහානි දිලෝකා ද සිල්වා මෙරට අර්බුදය පිළිබඳව වැදගත් පියවරක් ගෙන තිබීම ගැන සටහනක් තැබීමටය. වෙනත් නළු නිළියන් හා ගායකයින් ගාලු මුවදොරට පැමිණ කළු ඇඳුමින් සැරසී විවිධ නර්තන දක්වන විට වඩා ආදර්ශවත් පියවරක් ගැනීම ගැන යොහානිට රටවාසීන් ස්තුතිවන්ත විය යුතුය. පාරේ ගොන්පාර්ට්වලින් මෙරට ආර්ථික අර්බුදය විසඳෙන්නේ නැත. යොහානි සිය ඉන්ස්ටග්‍රෑම් ගිණුමේ මෙලෙස සටහනක් තබා තිබිණි.

යොහානිගේ දේශප්‍රේමීත්වය අගය කරමු

“ලෝකයේ සෑම තැනකම සිටින සියලුම රසික රසිකාවියන් වෙත, මගේ සංගීතයට සම්බන්ධ නැති දෙයක් ගැන කතා කිරීමට ඉඩ දෙනු ඇතැයි මම බලාපොරොත්තු වෙමි. මම පසුගිය සති කිහිපය තුළ ඉන්දියාවේ සිටියත්, ජාතියක් ලෙස ඉතිහාසයේ දරුණුතම ආර්ථික අර්බුදය හරහා ශ්‍රී ලාංකිකයින් පත්ව ඇති පීඩාව මා කම්පනයට පත්කර ඇත. මගේ මිනිස්සු විඳින දුක දැකලා මේ වෙලාවේ ඔවුන් සමග ඉන්න නැති එක ගැන මගේ හිත රිදෙනවා. පසුගිය දින කිහිපය පුරාම පළවුණේ ශ්‍රී ලංකාව පිළිබඳව බොහෝ නිෂේධාත්මක අදහස්. මගේ රට සැබවින්ම අපූරු මිනිසුන්ගෙන් පිරුණු පාරාදීසයක් වන අතර ඔවුන්ගෙන් බොහෝ දෙනෙක් මම මිතුරන් සහ රසිකයන් ලෙස හඳුන්වමි. කලාකරුවෙක් විදියට වගේම පුද්ගලයෙක් විදියටත් මම මගේ වෘත්තීය ජීවිතය පුරාවටම දේශපාලනයෙන් තොර කෙනෙක්. මගේ කණ්ඩායමත් එම ප්‍රතිපත්තියේ සිටිනවා. නමුත්, මගේ රටේ තානාපතිවරයෙකු ලෙස, මගේ නිශ්ශබ්දතාවය බිඳ දමා ආපසු මගේ ජනතාව වෙනුවෙන් කතා කිරීමට තීරණය කළා. මම රටට දැනෙන ආකාරයෙන් දායක වීමට මගේ හැඟීම් බෙදා ගන්නා සහෝදර ශ්‍රී ලාංකික කලාකරුවන් කිහිප දෙනෙකු සමඟ ව්‍යාපෘතියක වැඩ කරමින් සිටිමි. ඉන්දියාවේ සහ ලෝකයේ සිටින මගේ රසික රසිකාවියන් මේ ව්‍යාපෘතියට සහයෝගය දී ශ්‍රී ලංකාව සමඟ සිට ගනීවි කියා මම බලාපොරොත්තු වෙනවා. සහාය සඳහා ඔබ ඇමතීම ගැන මට කනගාටුයි, නමුත් ශ්‍රී ලාංකීය ජනතාවට මෙම දුෂ්කර අවස්ථාවේ එය අවශ්‍යයි. සංගීතය ශ්‍රී ලංකාව යළි නගා සිටුවීමට සැමදෙනා උපකාරී වනු ඇතැයි මම බලාපොරොත්තු වෙමි.”

යොහානි රට වෙනුවෙන් ඩොලර් මිලියනයක් එකතු කිරීමේ වැඩසටහන වෙනුවෙන් මෙම සටහන තබා තිබිණි. එය සැබවින්ම අගය කළ යුතුය. කටින් ආණ්ඩු වෙනස් කිරීමට උත්සහ කරන ඊනියා කලාකරුවන්ට වඩා යොහානි ප්‍රායෝගික වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර තිබේ. මේ පිළිබඳව ඉන්දීය මාධ්‍ය පුළුල් ප්‍රචාරයක් ලබා දී තිබුණේ යොහානි ඉන්දියාව කැලඹූ සංගීත තාරකාවක් වීම නිසාය. ඇය කොතරම් ඉන්දියානුවන්ගේ හදවත් බදා වැළඳ ගත්තේ දැයි කිවහොත් ඉන්දීය සුපිරි නළු අමිතාබ් බච්චන් තම සමාජ මාධ්‍ය ගිණුම ඔස්සේ සටහනක් තබමින් කියා සිටියේ ‘මැණිකේ මගේ හිතේ’ ගීතය නොඅසා සිටින්නට නොහැකි බවය. ඔහු භාරතවාසීන් සමග මැණිකේ මගේ හිතේ ගීතයට නැටුවේය. මේ නිසාම ඉන්දීය රූපවාහිනි සේවා ලංකාවේ අර්බුදය ගැන මුම්බායි රැඳී සිටින යොහානි ගෙන් විමසා තිබිණි. වියොන් රූපවාහිනිය සමග පැවති සාකච්ඡාවේදී ඉන්දීය නිවේදිකාව “ජනපතිවරයා ඉවත්ව යායුතුද” යන්න විමසූ විට යොහානි පැවසුවේ තමන්ට ඒ ගැන ප්‍රකාශ කිරීමට දේශපාලන දැනුමක් නොමැති බවයි. මෙය සමහරුන් කෝප කිරීමට හේතුවී තිබේ. නමුත් ඇගේ නිර්දේශපාලනික ස්ථාවරය අගය කළ යුතුය. රටට ඩොලර් එවන්නට එපා කියන යම් දේශපාලන කණ්ඩායම් යොහානිගේ ආධාර එකතු කිරීමට එරෙහි වෙති. මේ සැබවින්ම ඔවුන්ගේ කුහකකම ප්‍රදර්ශනය කිරීමකි. අපි යොහානිගේ දේශප්‍රේමීත්වය අගය කරමු.

● චතුර පමුණුව

advertistmentadvertistment
advertistmentadvertistment