නෙදර්ලන්තය කොරෝනා අගුලූ දැමීමේ සීමාවන් දැඩි කරයි

162

දෛනිකව වාර්තා වන කොරෝනා ආසාදිතයන්ගේ සංඛ්‍යාව වැඩිවීම හා නව ‘‘මික්‍රෝන්’’ වෛරස් ප‍්‍රභේදයෙන් එල්ල වී ඇති තර්ජනය යන හේතූන් මත මෙතෙක් අර්ධ වශයෙන් අගුලූ දමා තිබූ නෙදර්ලන්තයේ අගුලූ දැමීමේ සීමාවන් ඉදිරි සති තුනක කාලය සඳහා තවත් දැඩි කිරීමට නෙදර්ලන්ත රජය පියවර ගෙන තිබේ.

 දකුණු අප‍්‍රිකාවෙන් සොයාගත් ‘‘ඔමික්‍රෝන්’’ වෛරස් ප‍්‍රභේදය ආසාදනය වූවන් 61 දෙනකු නෙදර්ලන්තයෙන් සොයාගෙන ඇති බව ඊයේ සවස නිවේදනය කර තිබූ අතර ඔවුන් සියලූ දෙනාම නෙදර්ලන්ත ජාතික ගුවන් සේවාව වන ‘‘කේ.එල්.එම්.’’ ගුවන් සේවාවට අයත් ගුවන් යානාවලින් දකුණු අප‍්‍රිකාවේ සිට නෙදර්ලන්තයට පැමිණ ඇති බව වාර්තා වී තිබේ. දැඩි කර ඇති නව අගුලූ දැමීමේ සීමාවන් යටතේ අවන්හල්, කෞතුකාගාර හා සිනමා ශාලා ඇතුළු සංස්කෘතික මධ්‍යස්ථාන හා සංචාරක මධ්‍යස්ථාන ඉදිරි සති තුනක කාලයේදී සවස 5.00 වන විට වසා දැමීමට උපදෙස් දී තිබේ. රටේ රෝහල් පද්ධතිය කොරෝනා ආසාදිතයන්ගෙන් පිරී ඉතිරී යෑම වැළැක්වීම සඳහා මෙම නව අගුලූ දැමීමේ සීමාවන් ක‍්‍රියාත්මක කරන බව රජය ප‍්‍රකාශ කර තිබේ. කොරෝනා වසංගතය හේතුවෙන් නෙදර්ලන්තයේ දැඩිසත්කාර ඒකක ආසාදිතයන්ගෙන් පිරී ඉතිරී යන බව වාර්තා වී ඇති අතර ආසාදිතයන්ගේ වැඩිවීම හේතුවෙන් රෝහල්වල සැත්කම් පවා අවලංගු කිරීමට බලධාරීන් විසින් පියවර ගෙන තිබේ. දෛනිකව නෙදර්ලන්තයෙන් කොරෝනා ආසාදිතයන් 20,000කට අධික සංඛ්‍යාවක් වාර්තා වෙමින් පවතී.

advertistmentadvertistment
advertistmentadvertistment