පාර්ලිමේන්තුවේ විවාදය යද්දී: ක්‍රිකට් ගිණුමෙන් ඩොලර් මිලියන 2ක් අදින්න හදනවා – ඇමැති රොෂාන් පාර්ලිමේන්තුවේදී කියයි

65

මේ බලු වැඩේ කරන්න දෙන්න එපා ජනාධිපතිට කියන්න – විපක්‍ෂ නායක සජිත්

“දූෂිත ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙහි නිලධාරී මණ්ඩලය ඉවත් කිරීම” යන මැයෙන් ආණ්ඩු පක්ෂය සහ විපක්ෂය ඒකාබද්ධව ඊයේ (09 දා) විශේෂ විවාදයක් ක්‍රියාත්මක වන අතරේදී ලංකා බැංකුවේ නිදහස් චතුරස්‍ර ශාඛාවේ ගිණුමෙන් ඩොලර් මිලියන දෙකක් නිදහස් කර ගැනීමට ක්‍රිකට් බලධාරීන් උත්සාහ දරන බව ක්‍රීඩා ඇමැති රොෂාන් රණසිංහ මහතා පාර්ලිමේන්තුවේ දී ඊයේ (09 දා) කීය.

කෙසේ වෙතත් පාර්ලිමේන්තුවේ මෙවැනි විවාදයක් ක්‍රියාත්මක වන හෙයින් මුදල් නිදහස් කිරීමට එම බැංකු කළමනාකාරවරයා ඉහළ උපදෙස් ඉල්ලා ඇතැයි ද ඔහු සඳහන් කළේය. එහිදී මතුවූ සංවාදය පහත පරිදිය-

ඇමැති රොෂාන් රණසිංහ මහතා – මට දැන් දැනගන්න ලැබෙනවා මේ අය ලංකා බැංකුවේ නිදහස් චතුරස්‍ර ශාඛාවෙන් ඩොලර් මිලියන 02ක් ගන්න යනවා කියලා. ඒත් පාර්ලිමේන්තුවේ මේ ප්‍රශ්නය තිබෙන නිසා ඒ කළමාකාරතුමා ඉහළින් උපදෙස් ඉල්ලලා තිබෙනවා. මෙයින් පැහැදිලි වෙනවා පැහැදිලි දූෂණයක් තිබෙනවා කියලා. මේ අයගේ ගමන් බලපත්‍ර අත්හිටුවන්න ගන්න පුළුවන් පියවර මොකක්ද කියලා බලන්න ඕනා. මෙයින් එක් පුද්ගලයෙක් රටේ නෑ. අපේ මේ කල් මැරිල්ල තුළ වෙන දේවල් ගැන ප්‍රශ්නයක් තිබෙනවා. අශ්වයා ගියාට පස්සේ ඉස්තාලය වහලා වැඩක් නෑ.

ලක්ෂ්මන් කිරිඇල්ල මහතා – මම ඇමැතිතුමාට ඊයේ කිව්වා අතුරු තහනම් නියෝගය ඉවත් කරගන්න පියවර ගන්න කියලා. ඔබතුමා නඩුවට ඇතුළු වෙන්න ඕනා.

විපක්ෂනායක – ජනාධිපතිතුමාට දුරකථන ඇමැතුමක් අරගෙන මේ විදිහේ දෙයක් කරන්න යනවා කියලා කියන්න. එතකොට ශ්‍රී ලංකා ක්‍රිකට් ගිණුම් තිබෙන සියලුම බැංකුවලට මේ ගැන කියන්න. මේ රටේ ජනතාවගේ සල්ලි. මෙහෙම සල්ලි ගන්න යන්නේ කාගේ හයියකින්ද? මේ බරපතළ ප්‍රශ්නය ගැන ජනාධිපතිට කියන්න. මේ බලු වැඩේ කරන්න දෙන්න එපා.

රොෂාන් රණසිංහ මහතා – මම නීතිපතිට වාචිකව මොකුත් කියන්න යන්නේ නෑ. මොකද වැඩක් නෑ එහෙම කියලා. මම ලිඛිතව දැනුම් දුන්නා මේ නඩුව ගන්න කියලා. අනෙක මේ වෙලාවේ ඡන්දෙන් පත්වුණු ක්‍රිකට් ලේකම් නෑ. ලේකම් නැතුව ඩොලර් මිලියන දෙකක් ගන්න එකත් ප්‍රශ්නයක්. මොකද මේ තරම් මුදලක් ගන්නකොට ප්‍රධාන ගණන් ගැනීමේ නිලධාරියා ලෙස ලේකම් කටයුතු කරන්න ඕනෑ.

අකිත පෙරේරා, රනිල් ධර්මසේන

advertistmentadvertistment
advertistmentadvertistment