රිළා කතා ආයෙත් මැතිසබයට: සතුන්ගෙන් වන වගා හානි වළක්වන්න පරිසර සංවිධාන දුන් විසඳුම් අසාර්ථකයි – ඇමැති අමරවීර

76

රිළවා, වඳුරා, ඉත්තෑවා, මොනරා, දඬුලේනා ආදී වන සතුන්ගෙන් වගාවන්ට සිදුවන හානිය වළක්වා ගැනීමට මෙරට පරිසර සංවිධාන ලබා දී ඇති යෝජනා අසාර්ථක යැයි කෘෂිකර්ම ඇමැති මහින්ද අමරවීර මහතා පාර්ලිමේන්තුවේ දී ඊයේ (05 දා) ප්‍රකාශ කළේය.

පරිසර සංවිධාන විසින් ලබා දුන් යෝජනා වනුයේ අක්කර 05ක් වගා කරන්නේ නම් සතුන් සඳහා අක්කර භාගයක් වෙන් කර දෙන ලෙස වුවත් සතුන් එසේ එම අක්කර භාගය පමණක් තෝරා ගෙන හානි කරයි දැයි යන්න ගැටලු සහගත බව ඇමැතිවරයා පැවසීය. ඊට අමතරව ගස්වලට තහඩු බැඳීම, ඉටිරෙදිවලින් ආවරණය කිරීම, පරණ සාරි එල්ලීම වැනි අසාර්ථික හා ප්‍රායෝගික නොවන විසඳුම් ලබා දුන් බව ද හෙතෙම කීය.

මෙරට රිළවුන් විශාල ප්‍රමාණයක් චීනයේ සත්වෝද්‍යානවල ප්‍රදර්ශනය සඳහා ලබා ගැනීමට එරට සමාගමක් විසින් මෙරට කෘෂිකර්ම අමාත්‍යාංශය වෙත ඉල්ලීමක් ඉදිරිපත් කර ඇති බවත් ඒ සම්බන්ධයෙන් එම සමාගමේ නිලධාරියකු සමග මූලික සාකච්ඡාවක් ද පවත්වා ඇති බවත් කෘෂිකර්ම රාජ්‍ය ඇමැති මොහාන් පී. ද සිල්වා මහතා කීය.

ඒ අනුව මේ සම්බන්ධයෙන් වැඩිදුර අධ්‍යයනය කිරීම සඳහා විද්වත් කමිටුවක අදහස් ලබා ගැනීමට තීරණය වී ඇති නමුත් මතු වූ නීතිමය වැඩපිළිවෙළ හේතුවෙන් මෙය ක්‍රියාත්මක නොවූ බව ද කෘෂිකර්ම රාජ්‍ය ඇමැති මොහාන් පී. ද සිල්වා මහතා ඊයේ පැවසීය.

අදාළ කටයුත්ත සම්බන්ධයෙන් එකඟතාවක් ඇති කර ගැනීම සඳහා චීන තානාපති කාර්යාලය වෙත ලිපියක් කෘෂිකර්ම අමාත්‍යාංශය විසින් පසුගිය අප්‍රේල් මස දී යැව්වද ඒ පිළිබඳ මෙතෙක් කිසිදු ප්‍රතිචාරයක් ලැබී නැතැයි ද විපක්ෂ මන්ත්‍රී නිරෝෂන් පෙරේරා මහතා විසින් වාචික පිළිතුරු අපේක්ෂාවෙන් විමසන ලද ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් හෙතෙම පැවසීය.

අකිත පෙරේරා, රනිල් ධර්මසේන

advertistmentadvertistment
advertistmentadvertistment