නිලාර් ACPOSL මුල් පුටුවට

76

ශ්‍රී ලංකාවේ සංගීත කර්තෘ, සංගීත නිර්මාතෘ සහ ප්‍රකාශකයන්ගේ සංගමයේ ( ACPOSL) නව සභාපතිවරයා වශයෙන් ප්‍රවීණ ගේය පද රචක නිලාර් එන්. කාසිම් මහතා පත්ව තිබේ. එහි අධ්‍යක්ෂ මණ්ඩලය වශයෙන් කීර්ති පැස්කුවල්, සුනිල් ආර් ගමගේ, සමන්ත පෙරේරා, භාතිය ජයකොඩි, රංග දසනායක සහ රාජ් තිල්ලෙයාන්පලම් යන මහත්වරු වූහ.

ශ්‍රී ලංකාවේ සංගීත ක්ෂේත්‍රය අරභයා ප්‍රබල මැදිහත් වීමක් කරන මෙම සංවිධානයේ වාර්ෂික මහා සභා රැස්වීම සැප්තැම්බර් විසි දෙවැනි දා කොළඹ දී පැවැත්වුණු අතර සමස්ත සාමාජිකත්වය විසින් නව අධ්‍යක්ෂ මණ්ඩලය මෙහිදී ඒකමතිකව පත්කර ගෙන තිබේ.

ශ්‍රී ලංකාව තුළ විද්‍යුත් මාධ්‍යවල ගීත විකාශය කිරීමේදී සහ මහජනයා හමුවේ ගීත ඉදිරිපත් කිරීම්වල දී ගෙවිය යුතු කර්තෘ භාග ඒකරාශී කිරීමේ බලය සම්පූර්ණයෙන්ම ඇත්තේ සාමූහික සංගමයකටය. ACPOSL එවන් සාමූහික සංගමයකි. ලෝක බුද්ධිමය දේපළ සංවිධානය ට අනුව රටකට පැවතිය හැක්කේ එක් සාමූහික සංගමයක් වන අතර ඒ අනුව සංස්ථාපිත වූ මෙරට සාමූහික සංගමය වන්නේ ACPOSL පමණි. එහි කටයුතු බුද්ධිමය දේපළ කාර්යාලය මගින් අධික්ෂණය කෙරේ.

මේ සංගමය ශ්‍රී ලංකාවේ ගීත රචකයන්, සංගීත අධ්‍යක්ෂවරුන් සහ සංගීත ප්‍රකාශකයන්ගෙන් සමන්විතය. එමෙන්ම එය ලෝක බුද්ධිමය දේපළ සංවිධානය හා ගිවිසුම්ගතව එහි නිර්ණායක මත පදනම්ව කටයුතු කරයි. මෙම සංවිධානයේ සභාපතිවරයා වශයෙන් මීට පෙර කටයුතු කරන ලද්දේ ජනමාධ්‍ය අමාත්‍යාංශයේ හිටපු ලේකම්වරයෙකු ද වූ ඩබ්ලිව්. බී. ගනේගල මහතාය.

advertistmentadvertistment
advertistmentadvertistment