තිරිඟු පිටි ආනයනය කිරීම තහනම් කොට තිබූ කාලයේදී මෙකී සමාගම් විසින් තිරිඟු පිටි විශාල වශයෙන් ආනයනය කොට ගබඩා කරලා

තිරිඟු පිටි සහ සීනි ආනයනයේදී අනිසි ලාභ උපයාගත් පාර්ශ්වයන්ගෙන් නියමිත බද්ද අය කරගන්න
ක්‍රම හා විධිකාරක සභාවෙන් නියෝග

කෝපා කමිටුව ඇස් බැන්දුමක්ද

සීනි,තිරිඟු පිටි ආනයනයේදී සමාගම් දෙකක් විසින් අයුතු ලාභයක් උපයලා

සීනි බදු වංචාවෙන් රජයට අහිමි වූ බිලියන 16ක බදු ආදායමෙන් ශත පහක්වත් අදාළ පාර්ශ්වයන්ගෙන් අයකරගෙන නැහැ

රජය විසින් සෑම බදුබරක්ම ජනතාව මත පටවා තිබේ. මේ වනවිට සෑම භාණ්ඩයක හා සේවාවකම මිල අහස උසට නැග තිබේ. මෙකී නොකී විවිධ බදු වර්ග ජනතාව මත පටවමින් ජනතාවගේ බොටුව මිරිකා රාජ්‍ය ආදායම වැඩිකර ගැනීමට රජය කටයුතු කරන්නේය. ඒ කොයිහැටිවුවද ඇතැම් කුප්‍රකට ව්‍යාපාරිකයන් බිලියන ගණනින් රජයට බදු වංචා කරති. කුප්‍රකට සීනි බදු වංචාව ගැන අමුතුවෙන් සඳහන් කළයුතු නැත. මේ නිසා රජයට අහිමි වූ බදු ආදායම රුපියල් බිලියන 16කි. ඒ විතරක් නොව තිරිඟු පිටි ආනයනයේ දි ප්‍රසිද්ධ සමාගම් දෙකක් විසින් අයුතු ලාභයක් උපයාගත් බවට මේ වනවිට අනාවරණය වෙමින් ඇත්තේය. භාණ්ඩයක මිල තීරණය විය යුත්තේ ඉල්ලුම හා සැපයුම අනුවය. එහෙත් අපේ රටේ පාන් පිටි සඳහා වෙළෙඳපොළ තුළ ඇත්තේ ඒකාධිකාරියකි. පාන් පිටි කිලෝවක මිල තීරණය කරන්නේ ප්‍රසිද්ධ සමාගම් දෙකක් විසීනි. පසුගිය කාලයේ බලයට පත්වූ කිසිදු රජයකට මෙම ඒකාධිකාරිය කඩාබිඳ දැමීමට තවමත් නොහැකි වී ඇත්තේය. බලයට පත්වන සැම රජයක්ම අල්ලේ නැටවීමට තරම් මහා බලපරාක්‍රමයක් මෙම සමාගම් දෙක සතුව ඇත්තේය.

සීනි- තිරිඟු පිටි ගෙන්නලා බිලියන ගාණක් ගහලා…

මුදල් අමාත්‍යාංශය මගින් බදු පැනවීම් හා තිරිඟු පිටි ආනයනය තහනම් කරන්නේ ද මෙකී සමාගම්වල ඕනෑ එපාකම් මතය. පසුගිය කාලයේ දි තිරිඟු පිටි ආනයනය කිරීම සඳහා මෙකී සමාගම් දෙක හැර වෙනත් ආනයනකරුවන්ටද අවස්ථාව ලබා දි තිබුණි. මෙම කාලයේ දි තුර්කියේ තිරිඟු පිටි මිල අඩුවී තිබූ අතර එකී ආනයනකරුවන් විසින් තුර්කියෙන් තිරිඟු පිටි ආනයනය කොට පාරිභෝගිකයින්ට සාධාරණ මිලකට පාන් පිටි ලබාදිමට කටයුතු කර තිබුණි. මේ හේතුවෙන් මෙරට තිරිඟු පිටි ආනයනය කරනු ලබන ප්‍රධාන සමාගම් දෙකට පහර වැදී තිබුණි. මෙම වර්ෂයේ ජනවාරි මාසයේ දි පාන් පිටි මෙට්‍රික්ටොන් 18000ක් ආනයනය කොට තිබූ අතර ජුනි මාසයේදී ආනයනය කොට තිබූ තිරිඟු පිටි මෙට්‍රික්ටොන් 24000කි. එවැනි පසුබිමක් තුළ රජය විසින් දේශීය වී ගොවියා ආරක්ෂා කිරීමේ අරමුණින් බව සඳහන් කරමින් මෙම වර්ෂයේ ජුනි මස 10 වැනිදා සිට අගෝස්තු මස 16 දක්වා මාස දෙකක කාලයකට මෙරටට තිරිඟු පිටි ආනයනය තහනම් කිරීමට කටයුතු කරනු ලැබීය. එහෙත් මෙරටට තිරිඟු පිටි ආනයනය කරනු ලබන ප්‍රධාන සමාගම් දෙකට එකී තහනම අදාළ නොවීය. තහනම ක්‍රියාත්මක වූ මාස දෙකක කාලය තුළදී මෙකී සමාගම් දෙක විසින් විශාල වශයෙන් තිරිඟු පිටි තොග රැස්කර ගැනීමට කටයුතු කරනු ලැබීය. මෙම කාලය තුළදී පාන් පිටි මෙට්‍රික්ටොන් 2,89000ක පමණ තොගයක් රැස්කරගෙන තිබූ බවද පැවසේ.

පසුව මුදල් අමාත්‍යාංශය විසින් අගෝස්තු මාසයේදී තිරිඟු පිටි ආනයනය කිරීමේ තහනම ඉවත් කිරීමට කටයුතු කරනු ලැබීය. ඒ සමග මුදල් අමාත්‍යාංශය විසින් තිරිඟු පිටි කිලෝවක් සඳහා රුපියල්. 16ක බදු මුදලක් පැනවීමට කටයුතු කළේය. මෙකී බදු මුදල පනවන අවස්ථාවේ දි ගබඩාවල ඇති පාන් පිටි තොග පිළිබඳ කිසිදු ගණනය කිරීමක් සිදුකොට නොතිබුණි. ඒ අනුව අදාළ සමාගම් විසින් පාන් පිටි කිලෝවක මිල රුපියල් 16කින් වැඩිකොට පාරිභෝගිකයන්ට අලෙවි කිරීමට කටයුතු කරනු ලැබීය. අඩුමිලට ආනයනය කොට තිබූ පාන් පිටි වැඩිමිලට අලෙවි කිරීමෙන් මෙකී සමාගම් දෙක විසින් සැලකිය යුතු අයුතු ලාභයක් උපයාගෙන ඇති බව ඉතා පැහැදිලිය. මින් පහරවැදුණේ පාන් පිටි පරිභෝජනය කරනු ලබන මෙරට අහිංසක ජනතාවටය. මෙරට වැඩි වශයෙන් පාන් පිටි පාරිභෝජනය කරනු ලබන්නේ වතුකරයේ ජනතාවය. වතුකරයේ ජනතාවට රොටියක් පුච්චාගෙන කෑමට නොහැකිවන තරමට පාන් පිටි මිල ඉහළ ගියේය. මුදල් අමාත්‍යාංශය විසින් ද මෙකී සමාගම් දෙකට අනියම් අයුරින් වාසිවන ආකාරයට කටයුතුකොට ඇති බව සක්සුදක් සේ පැහැදිලිය. බදු සංශෝධන වලදී තීන්දු තීරණ ගතයුත්තේ කුප්‍රකට ගජමිතුරු ව්‍යාපාරිකයන්ට හා සමාගම්වල අවශ්‍යතාවට අනුව නොවේ. රජයේ ආදායම වැඩිකරගැනීම, හා පාරිභෝගිකයින්ද පිළිබඳ සලකා බැලීම, පළමු කළයුතු අතර තෙවනුව අදාළ සමාගම් ගැන සලකා බැලිය යුතුය. එහෙත් මුදල් අමාත්‍යාංශයේ ඇතැම් නිලධාරීන් තීන්දු තීරණ ගෙන ඇත්තේ කුප්‍රකට ව්‍යාපාරිකයන්ගේ සහ සමාගම්වල මනදොල සපුරාලීම සඳහාය.

මේ පිළිබඳ ක්‍රම සහ විධි පිළිබඳ කාරක සභාව මගින් තිරිඟු පිටි සහ සීනි ආනයනයේදී අනිසි ලාභ උපයාගත් පාර්ශ්වයන්ගෙන් නියමිත බද්ද අය කර ගැනීමට කඩිනමින් කටයුතු කරන ලෙස නියෝග කොට ඇත. ඒ විතරක් නොව තිරිඟු පිටි ආනයනයේදී සිදුවී ඇති අයුතු අලාභය පිළිබඳ විගණනයක් කිරීමට කටයුතු කරන ලෙස රාජ්‍ය ගිණුම් කාරක සභාව මගින් ජාතික විගණන කාර්යාලයට උපදෙස් ලබාදි ඇති අතර මේ වනවිට තිරිඟු පිටි බදු වංචාව පිළිබඳ විගණනයක් ආරම්භකොට ඇත. තිරිඟු පිටි ආනයනයේ දි සිදුවී ඇති අයුතු අලාභය අදාළ පාර්ශ්වයන්ගෙන් අයකරගන්නා ලෙස ක්‍රම සහ විධි කාරක සභාව මගින් නියෝග කළද ඒවා නියෝගවලට පමණක් වීමට ඇති ඉඩකඩ වැඩිය. මක්නිසාදයත් සීනි බදු වංචාව පිළිබඳ ජාතික විගණන කාර්යාලය මගින් සිදුකරනු ලැබූ විගණනයට අනුව එනම් 2020 වර්ෂයේ දි සීනි සඳහා පනවා තිබූ විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද ශත 25 දක්වා අඩුකිරීමෙන් පසු මාස 04ක් හා දින 14ක කාලයක් තුළදී රජයට රුපියල් මිලියන 16.763ක බදු ආදායමක් අහිමිවිය.

2020 වර්ෂයේදී සීනි සඳහා පනවා තිබූ විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද අඩු කිරීමෙන් පසු මෙරටට ආනයනය කොට තිබූ සීනි මෙට්‍රික්ටොන් 277,715 ක් ඇතුළත් සීනි තොගයෙන් සියයට 45ක් පමණ ආනයනය කොට ඇත්තේ ද ප්‍රශ්නතගත පුද්ගලික සමාගම විසීනි. එම සමාගම විසින් සීනි මෙට්‍රික්ටොන් 125207ක් ආනයනය කොට තිබුණි. බදු අඩුකළ කාලය තුළ මෙකී පුද්ගලින සමාගමේ සීනි ආනයනය සියයට 1222 කින් වැඩිවී තිබුණි. එම සමාගමේ මාසික සීනි ආනයනය කිලෝග්‍රෑම් 27,823,989කි. එම පදනම මත මෙකී සමාගමට රුපියල් හැටදෙකෝටි විසිනමලක්ෂ විසිපන්දහස් අටසිය විස්සක (6,229,025,820) ක බදු වාසියක් බදු ගෙවන අවස්ථාවේ දී හිමිව තිබුණි. කෙසේවුවද සීනි ආනයනය කරනු ලැබූ වෙනත් කිසිදු සමාගමක් එම කාලය තුළ පෙර පැවති ආනයන ප්‍රමාණය සියයට 10 ඉක්මවා ආනයනය කර නොතිබුණි. ඒ විතරක් නොව මෙම පුද්ගලික සමාගම විසින් බන්දිත ගුදම් පහසුකම් යටතේ බදු නොගෙවා ආනයනය කරනු ලැබූ සීනි මෙට්‍රික්ටොන් 7608ක් 2020 ඔක්තෝබර් මස 13 දින වනවිට එම බන්දිත ගුදමේ රඳවා තිබුණි. එම තොගයෙන් සීනි මෙට්‍රික්ටොන් 7468ක් බදු අඩුකළ දිනයේම සීනි කිලෝග්‍රෑම් 01ක් සඳහා ශත 25ක බද්දක් ගෙවා ගුදමෙන් ඉවත්කර ගැනීමට එම සමාගම කටයුතු කර තිබුණි. එමගින් එම පුද්ගලික සමාගමට එක් දිනක් තුළ රුපියල් මිලියන 378ක පමණ බදු වාසියක් හිමිවි තිබූ බව විගණන වාර්තාවේ සඳහන් වේ.

සීනි කිලෝවක් මත අයකරන බද්ධ ශත විසිපහ දක්වා අඩුකළ විටදි එම වාසිය පාරිභෝගිකයා වෙත නොලැබුණි. එම බදු වාසිය ලබාගත් පාර්ශ්වයන් නිවැරදි ලෙස හඳුනාගෙන ඉදිරියේ දී හෝ එම ආර්ථික වාසිය පාරිභෝගිකයන්ට ලබාදීම සඳහා සලකා බැලිය යුතු බවට විගණනය මගින් නිර්දේශකොට තිබුණි. එසේ නොමැතිනම් රජය විසින් කැපකළ බදු ආදායම රඳවාගත් පාර්ශ්වයන්ගෙන් රජයට ලබාගැනීමේ හැකියාව පිළිබඳ සලකා බැලිය යුතු බවටද විගණනය මගින් නිර්දේශකොට ඇත. දේශීය ආදායම් බදු කොමසාරිස්වරයාට ඇති බලතල ප්‍රකාරව අදාළ බදු මුදලින් සියයට තිහක මුදලක් අයකර ගැනීමට කටයුතු කරන බවට මුදල් රාජ්‍ය ඇමැති රංජිත් සියඹලාපිටිය මහතා විසින් මීට පෙර සඳහන් කොට තිබුණි. එහෙත් සීනි බදු මගඩියට සම්බන්ධ ව්‍යාපාරිකයන්ගෙන් මේ වනතෙක් ශත පහක් හෝ අයකරගෙන නැත. රාජ්‍ය මුදල් කාරක සභාවේදී එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා මහතා විසින් මේ ගැන මුදල් අමාත්‍යාංශයේ නිලධාරීන්ගෙන් ප්‍රශ්න කළේය. එහිදී මුදල් අමාත්‍යාංශයේ නිලධාරීන් නිරුත්තර වූහ.

කෝපා සහ ක්‍රම හා විධිකාරක සභා මගින් කුමන නියෝග කළද මේ සම්බන්ධ වාර්තා සකස්කොට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළද ඒවා වාර්තා හා නියෝගවලට පමණක් සීමා වී ඇත්තේය. මේ පිළිබඳ විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂමන් කිරිඇල්ල මහතා සඳහන් කරන්නේ පාර්ලිමේන්තුවේ ක්‍රියාත්මක වන රාජ්‍ය ගිණුම් කාරක සභාව වැනි කමිටු සීනි බදු වංචාව පිළිබඳ විමර්ශනයක් සිදු නොකොට ඇස්බැන්දුමක් කරන බවය. මේ ගැන පසුවිපරමක් සිදු නොකරන බවද ඒ මහතා සඳහන් කරන්නේය.

එමෙන්ම, සීනි සඳහා වූ විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද ශත 25 සිට රු. 50 දක්වා වැඩි කිරීම මගින් දෙවැනි වතාවටද සීනි බදු වංචාවක් සිදුවී ඇති බවට අනාවරණය වෙමින් තිබේ. මෙකී වෙළෙඳ භාණ්ඩ බද්ද වැඩිකරන අවස්ථාවේ සීනි ආනයනකරුවන් විසින් ආනයනය කොට ගබඩා කර තිබූ සීනි ටොන් 8500කට ආසන්න තොග ප්‍රමාණයක් වෙළඳපොළට මුදාහැරීමෙන් සැලකිය යුතු අයුතු ලාභයක් අදාළ සමාගම් විසින් උපයා රැගෙන ඇති බව ක්‍රම හා විධි කාරක සභාවේදී අනාවරණය විය. මේ නිසා 2017 අංක 24 දරන දේශීය ආදායම් පනතේ විධිවිධාන ප්‍රකාරව ඉහත අවස්ථා තුනේදී එසේ උපයාගත් අනිසි ලාභයට අදාළ නියමිත බද්ද අදාළ පාර්ශ්වයන්ගෙන් අය කර ගැනීමට කඩිනම් පියවර ගන්නා ලෙසත් කාරක සභාව විසින් නැවත වතාවක් නියෝග කරනු ලැබිණි.

මීට පෙර සිදුවූ සීනි බදු වංචාවට සම්බන්ධ ප්‍රශ්නගත සමාගම විසින් මෙම වර්ෂයේ අගෝස්තු මාසයේ සීනි මෙට්‍රික්ටොන් 2700ක්, සැප්තැම්බර් මාසයේ සීනි මොට්‍රික්ටොන් 2000ක් ආනයනය කොට තිබුණි. එහෙත් ඔක්තෝබර් මාසය තුළ පමණක් මෙකී සමාගම විසින් සීනි මෙට්‍රික්ටොන් 10.200ක් ආනයනය කොට තිබුණි. සාමාන්‍යයෙන් මෙම සමාගම විසින් මාසිකව සීනි මෙට්‍රික්ටොන් 2000ක් පමණ ආනයනය කරනු ලබයි. එහෙත් සීනි බද්ද පැනවීමට දින කිහිපයකට පමණ ඉහතදි ඉකුත් මාසයට වඩා පස් ගුණයක් සීනි ආනයනය කොට තිබුණි. එකවරම ආනයනය කරනු ලබන සීනි ප්‍රමාණය පස් ගුණයකින් වැඩිකිරීම ගැටලු සහගතය. රට තුළ සීනි හිඟයක් ද නොතිබූ අතර ලෝක වෙළෙඳපොළේ සීනි මිලෙහි අඩුවීමක්ද දක්නට නොලැබුණි. එවන් පසුබිමක් තුළ හිටිහැටියේම ආනයනය කරනු ලබන සීනි ප්‍රමාණය වැඩිකිරීමෙන් පැහැදිලි වන්නේ සීනි සඳහා බද්දක් පැනවීම පිළිබඳ තොරතුර සීනි ආනයනය කරනු ලබන ව්‍යාපාරිකයන් වෙත ලැබී ඇති බවය. ඉතා සැලසුම් සහගත ලෙසද මෙවරද සීනි බදු වංචාවක් සිදුකොට ඇති බව පැහැදිලිය. මෙකී සමාගම පමණක් නොව තවත් එක්තරා සමාගමක් විසින් සීනි මෙට්‍රික්ටොන් 3696ක් ඔක්තෝබර් මාසයේ දි ආනයනය කොට තිබුණි. එම සමාගම විසින් මීට පෙර මාසිකව ආනයනය කරනු ලබන්නේ සීනි මෙට්‍රික්ටොන් 135කි. එසේනම සීනි බද්ද වැඩිකිරීම පිළිබඳ තොරතුරු මෙකී ව්‍යාපාරිකයන් වෙත ලබා දුන්නේ කවුද? එම තොරතුරු ලබා දුන් අය පිළිබඳ විශේෂ පරීක්ෂණයක් සිදුකළ යුතුය.

ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ දත්තවලට අනුව මෙරට සුදු හා රතු සීනිවල මාසික පාරිභෝජනය මෙට්‍රික්ටොන් 50000කි. එහෙත් මෙරට මාසික සීනි නිෂ්පාදනය මෙට්‍රික්ටොන් 4359කි. ඒ අනුව මාසික පාරිභෝජනය සඳහා සීනි මෙට්‍රික්ටොන් 45000ක් පමණ ආනයනය කරයි. රේගුවේ දත්තවලට අනුව පසුගිය මාස කිහිපය තුළ ආනයනය කොට ඇත්තේ මාසිකව සීනි මොට්‍රික්ටොන් 20000කි. එහෙත් ඔක්තෝබර් මාසය තුළ පමණක් සීනි ව්‍යාපාරිකයන් 14 දෙනකු විසින් සීනි මෙට්‍රික්ටොන් 39000ක් ආනයනය කොට තිබුණි. මින් වැඩිම සීනි ප්‍රමාණයක් ආනයනය කොට තිබුණේ ප්‍රශ්නගත සීනි සමාගම විසිනි. සීනි බද්ද වැඩිකිරීමේ ගැසැට්ටුව නිකුත්කරන අවස්ථාවේ දි මෙරට සීනි මෙට්‍රික්ටොන් 50000ක් තොගයක් තිබී ඇත. ඉන් සීනි මෙට්‍රික්ටොන් 35000ක් ආනයනය කොට තිබු සීනි තොග වන අතර ඉතිරි සීනි මෙට්‍රික්ටොන් 15000 දේශියව නිෂ්පාදනය කොට තිබුණි. අනික් කාරණය වන්නේ සීනි බද්ද වැඩිකිරීමට පෙර රටේ පවතින සීනි තොග පිළිබඳව හා සීනි සඳහා පාලන මිල පැනවීම පිළිබඳ මුදල් අමාත්‍යාංශය මගින් කිසිදු අධ්‍යයනයක් සිදුකොට නොතිබුණි. මේ පිළිබඳ රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේදී පාඨලී චම්පික රණවක මහතා නිලධාරීන්ගෙන් ප්‍රශ්න කළේය. එහිදී මුදල් අමාත්‍යාංශයේ නිලධාරීන් නිරුත්තර වූහ.

මුදල් අමාත්‍යාංශය සඳහන් කරන ආකාරයට හිටිහැටියේම සීනි කිලෝවක් සඳහා බදු මුදල රුපියල් 50කින් වැඩිකොට ඇත්තේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ උපදෙස් අනුවය. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් රජයේ ආදායම වැඩිකර ගැනීමට ලබා දුන් උපදෙස් අනුව මෙකී බද්ධ පැනවීමට කටයුතු කළ බව මුදල් අමාත්‍යාංශය සඳහන් කරන්නේය. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් උපදෙස් ලබාදි ඇත්තේ මධ්‍යම රාත්‍රි 12.00ට මෙවැනි ගැසට් නිකුත් නොකරන ලෙසය. යක්කු ගස්නගින වේලාව තුළදී මෙවැනි ගැසට් නිකුත් කිරීම නිසා විශාල දූෂණ අක්‍රමිකතා මෙන්ම ගැසට් අවභාවිත වීම සිදුවන බවද ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් සඳහන් කොට ඇත. පාරිභෝගික අධිකාරියේ දත්තවලට අනුව සීනි බද්ද ඉහළ නැංවීමේ ගැසට්ටුව නිකුත් කරන විට මෙරට සීනි මෙට්‍රික්ටොන් 40000ක් තිබී ඇත. සීනි ආනයනය කරනු ලබන අදාළ සමාගම විසින් මෙකී සීනි තොග වෙළෙඳපොළ වෙත නිකුත්කොට තිබුණේ වැඩි මිලකටය. සීනි කිලෝවක මිල රුපියල් 50කින් වැඩිකොට තිබුණි. මහාපරිමාණ සීනි ව්‍යාපාරිකයන් කිහිප දෙනකු විසින් අයුතු ලාභයක් ලබා ඇති බව ඉතා පැහැදිලිය.

සීනි සඳහා වන විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද ඉහළ දැමීම හේතුවෙන් සීනි ආනයනකරුවන් අනිසි ලාභ ලබා ඇත්දැයි සොයා බැලීම සඳහා දේශීය ආදායම් දෙපාර්තමේන්තුව විසින් මේ වනවිට සීනි ආනයනකරුවන් අට දෙනකු සම්බන්ධයෙන් විගණනයක් ආරම්භකොට ඇත. ඉන් සීනි ආනයනකරුවන් තිදෙනකු සම්බන්ධයෙන් කරනු ලැබූ විගණනය මේ වනවිට අවසන්කොට ඇති බැව් දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේය.

කෝපා, ක්‍රම හා විධිකාරක සභා සහ විගණනය මගින් සීනි, තිරිඟු පිටි සම්බන්ධ බදු වංචාවක් කෙතරම් අනාවරණය කළද රජයට අහිමි වී ඇති බදු ආදායම අදාළ පාර්ශ්ව වලින් අයකර ගැනීමට කටයුතු නොකරන්නේ නම් මෙකී කමිටුවලින් පලක් නැත. විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා සඳහන් කරන ආකාරයට මෙම කමිටු ඇස්බැන්දුමක් වනු ඇත.

ලලිත් චාමින්ද

advertistmentadvertistment
advertistmentadvertistment