තෙල් වෘත්තීය සමිති විරෝධතාවෙන් පාර්ලිමේන්තු පිවිසුම් මාර්ග ඇහිරෙයි – පොලිසියේ කඳුළු ගෑස් ප්‍රහාරයෙන් 10කට තුවාල

127

ඛනිජ තෙල් සම්පත් සුරැකීමේ වෘත්තීය සමිති එකමුතුව ඊයේ (6 වැනිදා) පාර්ලිමේන්තු පිවිසුම් මාර්ගයේදී පැවැත්වූ විරෝධතාවට පොලිසිය කඳුළු ගෑස් හා ජල ප්‍රහාර එල්ල කිරීමත් සමග ප්‍රදේශයේ උණුසුම් තත්ත්වයක් හටගත් අතර එහිදී විරෝධතාවේ යෙදුණු 10 දෙනෙක් තුවාල ලැබූහ.

විරෝධතාකරුවන් පළමු පොලිස් මාර්ග බාධකය පෙරළා ඉදිරියට ගමන් කිරීමත් සමග පොලිසිය කඳුළු ගෑස් හා ජල ප්‍රහාර එල්ල කරන්නට වූහ. මෙම විරෝධතාව හේතුවෙන් බත්තරමුල්ල පොල්දූව මංසන්ධිය සහ ජපන් මිත්‍රත්ව පාලම අසලින් පාර්ලිමේන්තුවට පිවිසෙන සියලුම මාර්ග අවහිර වී තිබිණි.

‘පිරිපහදුව දුවාගන්න බොර තෙල් ටික ගෙනත් දෙන්න’, ‘කංචනට අපි කියන්නේ ඔය කැබිනට් පත්‍රිකාව ඉරා දමව්’, ‘පිරිපහදුව වහල දාන කැබිනට් පත්‍රිකාව අකුලාගනු’ වැනි වැකි සහිත පුවරු අතැතිව ඔවුහු විරෝධතාවේ නිරත වූහ.

මෙම විරෝධතාවට ඛනිජ තෙල් සේවකයන් සමග ප්‍රදේශවාසීහු ද එක්ව සිටියහ. මෙහිදී අදහස් දැක්වූ ඛනිජ තෙල් පොදු සේවක සංගමයේ සභාපති අශෝක රන්වල මහතා මෙසේ පැවසීය. “අපි අද මේ විරෝධතාව පටන් ගත්තේ සපුගස්කන්ද තෙල් පිරිපහදුව ළඟින්. මේ සේවකයන්, ප්‍රදේශවාසීන් සමග අප මුලින් විරෝධතා පා ගමනින් මාවරමණ්ඩියට ආවා. ඊට පස්සේ අපි බස්වලින් දියත උයන ළඟට ආවා. එතන ඉඳන් අපි විරෝධතා පා ගමනින් එනකොට පොලිසිය අපට කඳුළු ගෑස් හා ජල ප්‍රහාර එල්ල කළා. මෙහිදී ජල ප්‍රහාර වැදිලා වැටුණු දහදෙනෙක් විතර තුවාල ලබා තිබෙනවා.

එම කඳුළු ගෑස් හා ජල ප්‍රහාර එල්ල කිරීමෙන් පසුව ද එම පිරිස විරෝධතාවයේ නිරත වෙමින් රැඳී සිටියහ.

ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන් සහ චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment