‘ගිම්හානෙ පාවෙලා’ තුළින් යළි කරළියට පැමිණි – සමන්ත

85

මේ ගීතය ලියැවුණේ මගේම අතින්

වසර එකොළහකට පසුව නැවතත් ‘ගිම්හානෙ පාවෙලා’ හැමෝම කතාවෙන ගීතයක් බවට පත්වෙලා. මේ වන විට Views මිලියන පහක් ඉක්මවා ලබන්න මේ Cover Song එක සමත් වෙලා තියෙනව. මේ ගැන කතාකරන්න හොඳම කෙනා තමයි එහි මුල් අයිතිකරු. ඔහු ගායන ශිල්පී සමන්ත කෝනාර. අපි සමන්ත සමග කතාබහකට එකතු වුණා.

● සමන්ත කෝනාරගෙ ගිම්හානෙ පාවෙලා ගීතය පසුගිය දවස්වල බොහොම ජනප්‍රිය වුණා?

මේ ගීතය කළේ 2012 වර්ෂයේ. ඒ කාලෙ ශෝෂල් මීඩියා පැත්තෙන් ටික්ටොක්, ඉන්ස්ටර්ග්‍රැම් වගේ දේවල් තිබුණෙ නැහැ. එෆ් එම් සහ රූපවාහිනී නාළිකාවලින් තමයි ප්‍රචාරය වුණේ. ඒ කාලෙ හැටියටත් බොහොම ජනප්‍රිය වුණා. නමුත් මෑත කාලයේ ටික් ටොක් හරහා තමයි ජෙනී කින්ස්ලි කියන දරුවා ඒ ගීතය ගායනා කරල නැවත වරක් පිබිදීමට ලක්වෙලා ඉතාම ජනප්‍රිය වුණා.

‘ගිම්හානෙ පාවෙලා’ තුළින් යළි කරළියට පැමිණි - සමන්ත

● මේ දේ සිදු වුණේ ඔබේ අවසරයක් ඇතිවද?

ටික් ටොක් හරහා මේකෙ කවර්ස් ගොඩක් කරල තිබුණා. මගේ ගීතයක් නිසා ලොකු සතුටක් ඇති වුණා. ජෙනීටත් විශේෂ අවසරයක් දුන්නෙ නැහැ. ගීතයට අසාධාරණයක් නොවී හොඳින් කරල තිබුණ නිසා මම ඒක පිළිගත්තා. ඉන් පස්සෙ ඔවුන් මගෙන් කතාකරල ඇහුව කවර් එකක් කරන්නද කියල. මේ ගීතයේ මුයුසික් කළේ රධීෂ් වැන්දබෝනා. ඔහුත් කිවුවා අපි එහෙනම් කවර් එකක් කරමු කියල. පසුව අපි තුන්දෙනාම කතාවෙලා වීඩියෝ එකක් කළා. ඇයට තමයි වැඩි ඉඩක් දුන්නෙ. මම පොඩි කොටසකට විතරයි දායක වුණේ.

‘ගිම්හානෙ පාවෙලා’ තුළින් යළි කරළියට පැමිණි - සමන්ත

● මේ ගායනය මිලියන පහකට වඩා නරඹලා?

ඔව්, තාක්‍ෂණයත් එක්ක ශෝෂල් මීඩියා හරහා තමයි මේ ගීතය ජනප්‍රිය වුණේ. ඊටඅමතරව රූපවාහිනී නාළිකාවල ඉතාම සුළු ප්‍රමාණයක් තමයි විකාශය වුණේ.

● ඔබේ ගායනයට වඩා ජෙනීගේ ගායනය ජනප්‍රිය වුණා. මෙවැනි තත්ත්වයන් තුළදි ගායකයන් විවිධ බලපෑම් කරනවා?

ඔව්, අනිවාර්යයෙන්ම. එවැනි අය බොහෝ දෙනෙක් කරපු දේවල් මම දන්නව. නවකයකුට එවැනි බාදක දාල මොකටද. පෘතග්ජන මිනිස්සු හැටියට වුණත් මම කවදාවත් ඒ වගේ දෙයක් නම් කරන්නෙ නැහැ. මගේ අයිතිය තියෙන ගීත ඕනෑම කෙනෙකුට ගායනා කරන්න පුළුවන්.

● මේ ජනප්‍රියත්වය ඔබ දකින්නෙ කොහොමද?

ඒ ගැන මට තියෙන්නෙ සතුටක්. ගීතයේ හැම වචනයක්ම ලියවුණේ මගේ අතින්. අයිතිය තියෙන්නෙ මට. ඒ වචන මේ තරම් ලස්සනට ලෝකයේ රසිකයො වැළඳ ගන්නකොට ගායකයකුට ඊට වඩා සතුටක් තවත් නැහැ.

● ජෙනී මොකද කියන්නෙ?

ඇය තවත් ගායක ගායිකාවන්ගෙ ගීත ගායනා කරල තිබුණා. නමුත් ඇය මට කතාකරල කිව්වෙ අංකල් මම මේ ගීතයෙන් තමයි ගොඩක් ජනප්‍රිය වුණේ, ඒකට බොහොම ස්තූතියි කියල.

● ඇය ගැන විස්තර ටිකක් කිව්වොත්?

ජෙනීගේ ගම නුවර. ඇය තවම උසස් පෙළ අධ්‍යාපනය ලබන දැරියක්.

● පසුගිය කාලයේ ඔබ මොනවද කළේ?

පසුගිය කාලයේ මම ගොඩක් ගීත රස වින්ඳා. මියුසික් වීඩියෝ බැලුවා. මට හරියන පද වැලක් නිර්මාණය කරගන්නත් බැරි වුණා. මේ නිසා ටිකක් නතර වෙලා හිටියා.

● අද තියෙන රැල්ලත් එක්ක ඔබේ කාලයේ අයට තැනක් නැහැ කියල හිතෙනවද?

එහෙම දෙයක් නෙමෙයි. මගේ ව්‍යාපාර තියෙනව. ඒවාට මූලික තැන දීල තියෙන්නෙ. සංගීතය කියන්නෙ මගේ විනෝදාංශය. හරියටම කිව්වොත් මම වෘත්තීයමය ගායකයෙක් නෙමෙයි.

● ගිම්හානෙ පාවෙලා ගීතය ලියැවෙන්නෙ කොහොමද?

ඇත්තටම මේ ගීතය ලියවෙන්නෙ රධීෂ් වැන්දබෝනාගේ මෙලඩියකට. ඔහු මේ මෙලඩිය මට දුන්නම මම ප්‍රවීණ ගීත රචකයන් කිහිප දෙනකුටම කිව්වා ගීතයක් රචනා කර දෙන්න කියල. ගීත කිහිපයක් රචනා කරල මට ලැබුණා. නමුත් මගේ හිතට හරි ගියේ නැහැ. ඉන් පස්සෙ තමයි මගේ අතින් මේ ගීතය ලියැවෙන්නෙ.

● මේ දවස්වල මොකද වෙන්නෙ?

අලුත් දෙයක් කරන්න රධීෂ් එක්ක කතා බහ කළා. ඔහු මේ දවස්වල මියුසික් ට්‍රැක් එක හදාගෙන යනව. ඒකට පද රචනය කරන්න තමයි මම අදහස් කරන්නෙ.

● ප්‍රසංග වලට ආරාධනා නැද්ද?

ආරාධනා නම් ගොඩක් ලැබනව. නමුත් දුර බැහැර ඒවාට නම් මට යන්න කාලයක් නැහැ. නුවර අවට ඒවාට සහභාගී වෙනව.

● Cover Song එක රූපරචනා වුණේ කොහොමද?

මේ රූපරචනාව කෙරෙන්නෙ චාරුක දුෂ්මන්ත මල්ලි අතින්. මාතලේ රිවර්ස්ටන් වල තමයි ෂූටිං කළේ. විෂුවල් ඒක කරන මුළු දවසෙම තද වැසි තිබුණා. ඉන් පස්සෙ අපි ෂුටිං නතර කරල මහනුවර තලාතු ඔය බෙලිවුඩ් ගම්මානය කියන ප්‍රදේශයේදී සම්පූර්ණ වීඩියෝ එක කළා.

● කවුද බර පැන දැරුවෙ?

මේ රූප රචනාව සිදු වුණේ සම්පූර්ණයන්ම මගේ වියදමින්. එහෙම වියදම් කරල මම ජෙනීට තමයි ඒ අවස්ථාව ලබා දුන්නෙ.

● මේ දේ කළේ ඔබ හිට් වෙන්න හිතාගෙනද?

කොහෙත්ම එහෙම දෙයක් නැහැ. එහෙම අදහසක් තිබුණ නම් ජනප්‍රිය වෙලා ඉන්න මේ මොහොතෙ ඇල්බම් දෙක තුනක්ම කරනව. අපි අවුරුදු සියය දෙසීයය ජීවත් වෙන්න ඇවිත් නැහැනෙ. ජීවත් වෙන කෙටි කාලයේ කලාවට වගේම මිනිස්සුන්ටත් උදව්කරගෙන ඉන්නයි ඕන.

● ඔබේ අනෙක් ගීත ගැන කතා කළොත්?

2009 වසරේදී මම ගායනා කළ ‘තරු පිපෙන රැයේ’ ගීතය ජනප්‍රිය වුණා. විශාරද නිහාල් ගම්හේවා ශූරීන් තමයි පද රචනය සහ සංගීතය කළේ. ඉන් පස්සෙ දුක තියාම ඔයා, මේ මගෙන් සෙව් සෙනේ, නින්ද මා ගාව කොහොමත් නෑ කියන ගීත ජනප්‍රිය වුණා වගේම මේ ගීතවලට රූප රචනා නිර්මාණය වුණා.

● රඟපෑමටත් ආරාධනා ලැබුණා?

ඔව්, රඟපෑමටත් ආරාධනා ලැබිල තියෙනව. ‘ඉතින් ඊටපස්සේ’ ටෙලි නාට්‍යයේ ජයමාල්ගේ චරිතයට මම දායක වුණා. ‘පූජාසනේ’ ටෙලි නාට්‍යයේ පොඩි චරිතයකට එකතු වුණා.

● ගායකයෙක්, ව්‍යාපාරිකයෙක් වෙන්න කලින් ඔබ හමුදා නිලධාරියෙක්?

ඔව්, මුලින්ම මම නාවික හමුදාවේ තූර්යවාදක කණ්ඩායමේ නිලධාරියෙක් විදිහට සේවය කළා. එවකට හිටපු නාවික හමුදාපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහත්මයාවත් මතක් කරන්න ඕන.

මහේෂ් එදිරිසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment