පීරමීඩයෙන් මිනිස්සු අන්දන onmaxDT යළිත් වැඩ පටන් ගනියි !

3181

මාස හතරට පැමිණිලි 30ක්

ගිණුම් අත්හිටුවුවත් මැයි මාසයේත් ආයෝජකයන්ට මුදල්

ආයෝජනය කළ මුදල මෙන් දෙතුන් ගුණයක් ඉතා කෙටි කාලයකින් ලබාගත හැකි යැයි පවසමින් ක්‍රියාත්මක වූ මේ සඳහා ආයෝජකයන් සම්බන්ධ කරගැනීමට බොහෝ දුරට භාවිත කරන්නේ සුපිරි හෝටල් ය. ඒ ජනතාවට විශ්වාසයක් ඇති වන ආකාරයෙන් කටයුතු කිරීම සඳහාය. එසේම කුලියට ලබා ගන්නා සුඛෝපභෝගී වාහනවලින් මෙවැනි වංචාකාරයන් පැමිණෙන අතර මෙහි ආයෝජනය කරන ජනතාවට ඉතා කෙටි කලකින් මෙවැනි සුඛෝපභෝගී ජීවිතයක් ගත කිරීමට හැකි බව පෙන්වීම මෙහි මූලික අරමුණයි.

මෙරට ජනතාව වංචාකාරයන්ට හසුව මුදල් අහිමි කරගත් අවස්ථා වාර්තා වූයේ එකක් දෙකක් නොවේ. වරෙක සක්විතිටද තවත් වරෙක දඬුවම් මුදලාලිටද තවත් වරෙක දැඩි දඬුවම් යැයි කියන පුද්ගලයකුටද වශයෙන් මුදල් අහිමි කරගත් අවස්ථා ගණන ඉතා විශාලය. එසේම කොතරම් ජනතාව දැනුවත් කළත් එවැනි මූල්‍ය ආයතනවල මුදල් තැන්පත් කිරීමේ අඩුවක් දකින්නට ද නැත.

මෙවැනි වංචා සඳහා ජනතාව වැඩිපුරම යොමු වන්නේ බැංකු වලින් ලැබෙන පොලී අනුපාත අඩු වන විටය. නැතිනම් අධික බදු පනවන විටය. එසේම ජනතාව සතුව පවතින මුදල් සීමිත වන අවස්ථාවලදීද කණකර උගස් කර හෝ ඉක්මනින් මුදල් සොයා ගැනීමට ජනතාව පෙළඹේ.

ජනතාව මොනතරම් අවදානමක් තිබුණත් පිළිගත් බැංකුවල මුදල් තැන්පත් නොකර මෙවැනි වංචනික පුද්ගලයන් වෙත යොමු වන්නේ ඒ නිසා විය හැක.

ශ්‍රී ලංකාවේ මෙන්ම විදෙස් රටවල ද විශාල ලෙස ජනතාව රවටා මුදල් උපයන ක්‍රමයක් වන්නේ පිරමිඩාකාර මූල්‍ය ජාවාරමයි. කලින් කලට විවිධ ස්වරූපයන්ගෙන් පැමිණෙන මෙම ජාවාරම මෙරට තුළ තහනම් මූල්‍ය ක්‍රමයකි. මුලදී එක් අයෙකු විසින් තවත් පුද්ගලයන් පහක් හෝ දහයක් ඍජුවම මුදල් අයකර මෙම පද්ධතිය තුළට ඇතුළු කර ගනී. එම දහ දෙනා තවත් දහය බැගින් සියයක් බඳවා ගනී. මෙසේ ආරම්භ වන මෙම ජාවාරමේ මුල් සාමාජිකයන්ට කොමිස් මුදල් ලැබෙන්නේ මේ සඳහා තව තවත් අලුතින් සාමාජිකයන් සම්බන්ධ කර ගැනීම තුළිනි. ශ්‍රී ලංකා මහ බැංකුවේ උකුසු ඇස මේ කෙරෙහි යොමු වන්නට වීමත් සමග මෙරට තුළ පිරමිඩ ජාවාරම් යම් තරමකින් අඩුවිණි. නමුත් ඒ ටික දිනකට පමණි.

● යළිත් අලුත් මුහුණුවරකින් පිරමිඩ ජාවාරම

රට තුළ නීති රීති දැඩිවත්ම ජාවාරම්කරුවන් විසින් අලුත් අලුත් ක්‍රම මේ සඳහා සොයා ගන්නට විය. එවන් එක් ක්‍රමයක් වන්නේ විවිධ වන වගා ව්‍යාපෘතිය. තේක්ක වගාව, අඹ වගාව, ගස්ලබු වගාව ආදී ලෙසින් නොයෙකුත් වන වගා ව්‍යාපෘති ක්‍රියාත්මක විය. ඒ නියමිත මුදලට වඩා දෙතුන් ගුණයක් වැඩි මිලකටය. ඒ තුළට නව සාමාජිකයන් එකතු කර ගැනීම තුළින් මෙම ජාවාරම ටික කලක් කර ගෙන කරගෙන ගියේය. අදටත් සමහර ප්‍රදේශවල මෙවැනි ආකාරයෙන් මූල්‍ය අක්‍රමිකතා සිදුවේ. මෙවැනි වංචාකාරයන්ට මිනිසුන් හසුවන්නේ ප්‍රධාන වශයෙන්ම මෙම වංචාකාරයන්ගේ පවතින චතුර වාග් විලාසය නිසාය. ඕනෑම බොරුවක් ඇත්තක් ලෙස පෙන්වීමට හැකි පිරිසක් තෝරා ගැනීම මෙවැනි කූට ජාවාරම් කාරයන්ගේ සිරිතයි. එසේත් නැතිනම් විශාල මුදලක් වියදම් කර සමාජයේ පිළිගත් උසස් චරිතයක් මේ සඳහා සම්බන්ධ කර ගනී.

● ඩිරෙක්ට් මාර්කටින්වලට මුවා වීම

කොරෝනා වසංගතය පැමිණීමත් සමඟ බොහෝ දෙනා දබකසබැ ගනුදෙනු සඳහා වැඩි වශයෙන් යොමු වන්නට වූහ. මේ අවස්ථාවෙන් ප්‍රයෝජන ගත් වංචාකාර පිරමීඩ ජාවාරම්කරුවන් සිදුකළේ ඩිරෙක්ට් මාර්කටින්වලට මුවා වී තම පිරමීඩ ජාවාරම නැවත වටයකින් ව්‍යාප්ත කරන්නට පටන් ගැනීමයි. එහිදී ඩිරෙක්ට් මාර්කටින්වලදී මෙන් භාණ්ඩ විකිණීමට යැයි පවසා අලුතින් සාමාජිකයන් බඳවා ගන්නට වූ අතර මෙයට සම්බන්ධ වන පුද්ගලයන්ගෙන් මුදලක් අයකර සම්බන්ධ කර ගැනීම පිරමීඩ ජාවාරම් වල ස්වභාවයයි. නමුත් ඩිරෙක්ට් මාර්කටින්වලදී කිසිවිටක එම ජාලයට ඇතුළු වීමට හෝ පුහුණුවට ආදී වශයෙන් කිසිදු දෙයකට මුදලක් ගෙවිය යුතු නැත.

පිරමිඩ ජාවාරම්කරුවන් ඩිරෙක්ට් මාර්කටින්වලදී මෙන් භාණ්ඩ අලෙවි කිරීම ඉදිරියට දමාගෙන මෙම වංචාව සිදු කළත් එම භාණ්ඩවල මිල සටහන් කර ඇත්තේ භාණ්ඩයේ නියමිත මිලට වඩා දෙතුන් ගුණයක් ඉහළ මිලකට ය. ඒ එම මිල ගෙවා භාණ්ඩ මිලට ගෙන මෙම ජාලයට සම්බන්ධ වන පුද්ගලයන්ගෙන් ලැබෙන මුදල් වලින් මෙම ජාලයේ මුල් පුරුක්වල සිටින සාමාජිකයන්ට කොමිස් මුදල් ගෙවිය යුතු බැවිනි.

ඩිරෙක්ට් මාර්කටින්වලදී අතරමැදියන්ගෙන් තොරව කෙළින්ම පාරිභෝගිකයා ඉලක්ක කර භාණ්ඩ අලෙවි කරන අතර නියමිත මිලට පමණක් මේ භාණ්ඩය අලෙවි කරනු ලබයි. එසේම මෙම ජාලය පුළුල් කර වැඩියෙන් ලාභ ඉපයීමට කෙනෙක් කැමැති නම් ඒ සඳහා ඔහුට ඔහු යටතේ සේවය කරන නියෝජිතයන් පිරිසක් පුහුණු කර බඳවා ගත හැකිය. නමුත් ඒ සඳහා සම්බන්ධ වන පුද්ගලයන් මුල් සාමාජිකයාට මුදල් ගෙවිය යුතු නැත. එසේම තම උනන්දුව සහ කැපවීම මත තමන්ගේ දියුණුව වැඩිදියුණු කරගත හැක. වැඩි වැඩියෙන් භාණ්ඩ අලෙවි කිරීම තුළින් තම ස්ථාවරය ගොඩනගාගත හැකිය. නමුත් පිරමීඩවල එසේ වැඩි වැඩියෙන් භාණ්ඩ අලෙවි කිරීම වෙනුවට සිදු කරන්නේ වැඩි වැඩියෙන් අලුත් අලුත් සාමාජිකයන් බඳවා ගැනීම ය.

මෑත කාලයේ වැඩිපුරම පිරමිඩ ජාවාරම්කරුවන් තම වංචාව සඳහා භාවිත කළ භාණ්ඩ වන්නේ සූර්ය පැනල පද්ධති, ඔරලෝසු, ජංගම දුරකථන ය. පසුගිය කාලයේ විදුලි අර්බුදයත් සමග මෙන්ම පවතින අධික විදුලි බිලත් සමග ලෙහෙසියෙන්ම වංචාකරුවන්ට මිනිසුන්ව තම අරමුණු වෙනුවෙන් යොදා ගත හැක.

● නව තාක්ෂණයත් සමග පිරමිඩ ජාවාරම අලුත් වීම

ලෝකය දිනෙන් දින දියුණු වීමත් නව නව තාක්ෂණයෙන් සන්නද්ධ වීමත් සමග මේ වන විට භාවිතයට පැමිණ ඇති මුදල් ඒකකයක් වන්නේ විද්‍යුත් මුදල් ඒකකයයි. එනම් ක්‍රිප්ටෝ මුදල්ය. ක්‍රිප්ටෝ මුදල් යනු කිසිදු රටක පිළිගත් මූල්‍ය අධිකාරියට මැදිහත්වීමකින් තොරව පුද්ගලික වශයෙන් ජනනය වන අතත්‍ය මුදල් වර්ගයකි. මෙහි සියලු ගනුදෙනු අන්තර්ජාලය හරහා සිදුවේ.

එසේම ක්‍රිප්ටෝ මුදල් ඒකකය මේ රට තුළ වලංගු මුදල් ඒකකයක් නොවේ. ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ක්‍රිප්ටෝ මුදල් සම්බන්ධ මූලික කාසි නිකුතුවකට, එහි කිසිදු ප්‍රභේදයකට, ක්‍රිප්ටෝ මුදල් ජනනය කිරීමේ කාර්යයකට, මුදල් හුවමාරුවකට, මුදල් සම්බන්ධ තැන්පතු භාර ගැනීමට හෝ භාරකාර සේවා සැපයීම් හෝ ක්‍රිප්ටෝ මුදල් ආයෝජන උපදේශන සේවා සඳහා අනුමැතිය ලබා දී නැත.

නමුත් මෙම විද්‍යුත් මුදල් ඒකක භාවිත කරමින් විශාල වශයෙන් පිරමිඩාකාර ජාවාරම් කිහිපයක්ම පසුගිය කාලයේ මෙරට තුළ ක්‍රියාත්මක විය. ආයෝජනය කළ මුදල මෙන් දෙතුන් ගුණයක් ඉතා කෙටි කාලයකින් ලබාගත හැකි යැයි පවසමින් ක්‍රියාත්මක වූ මේ සඳහා ආයෝජකයන් සම්බන්ධ කරගැනීමට බොහෝ දුරට භාවිත කරන්නේ සුපිරි හෝටල් ය. ඒ ජනතාවට විශ්වාසයක් ඇති වන ආකාරයෙන් කටයුතු කිරීම සඳහාය. එසේම කුලියට ලබා ගන්නා සුඛෝපභෝගී වාහනවලින් මෙවැනි වංචාකාරයන් පැමිණෙන අතර මෙහි ආයෝජනය කරන ජනතාවට ඉතා කෙටි කලකින් මෙවැනි සුඛෝපභෝගී ජීවිතයක් ගත කිරීමට හැකි බව පෙන්වීම මෙහි මූලික අරමුණයි.

● සමාගම් තුනක් තහනම් කරයි

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් පසුගිය මාර්තු මාසයේදී 1988 අංක 30 දරන බැංකු පනතේ 83 ඇ වගන්තිය උල්ලංඝනය කරමින් තහනම් යෝජනා ක්‍රම ක්‍රියාත්මක කරන බවට ලැබුණු පැමිණිලි අනුව ඒ පිළිබඳ සොයා බලා

  1. past 3 cycle international (pvt) Ltd

2 spot chain app, sports chain zssociety srilanka

3 onmaxDt

නමැති ආයතන තුන මෙරට ක්‍රියාත්මක වීම තහනම් කරන ලදී. ඊට අමතරව එම ආයතනවලට සම්බන්ධ පුද්ගලයන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ද ගනු ලැබිණි. එහිදී මෙරට ලියාපදිංචි කරන ලද පෞද්ගලික සමාගමක් හරහා ඇමරිකානු ඩොලර් කෝටි 10කට අධික මුදලක් නීති විරෝධී අන්දමින් පිරමිඩාකාර ජාවාරම් ගනුදෙනුවල යෙදවූයේ යැයි පවසා ඔන්මැක්ස් ඩීටී නමැති සමාගමේ මුදල් තැන්පත් කර ඇති ඇමරිකානු මූල්‍ය සමාගමක ගිණුම් අටක් මාස 6කට අත්හිටුවන ලෙස කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා නියෝග කළේය. ඒ පසුගිය අප්‍රේල් මස 19 වැනිදා ය. ඒ ආකාරයෙන් නියෝගයක් නිකුත් කළ මූල්‍ය සමාගම වන්නේ ඇමරිකාවේ බයිනෑන්ස් ඩොට්කොම් නමැති මූල්‍ය සමාගමයි.

මේ ආකාරයෙන් ඇමරිකාවේ මූල්‍ය ආයතනයකට නියෝගයක් නිකුත් කර ඇත්තේ ප්‍රථම වතාවට ය. එම සමාගමේ ගිණුමට අතත්‍ය මුදල් ලෙස රුපියල් කෝටි 43 කට අධික මුදලක් තැන්පත් කර ඇත. එලෙස අත්හිටුවූ ගිණුම් අට වන්නේ ඔන්මැක්ස් ඩීටී පුද්ගලික සමාගම (ශ්‍රී ලංකාව), ඔන්මැක්ස් පීටී වයිඑල්ටීඩී (ඔස්ට්්‍රලියාව), ශ්‍රී ලාංකිකයන් වන ධනංජය ගයාන්, සම්පත් සඳරුවන් ලේනදූවගේ, සාරංග රන්දික ජයතිස්ස, (ගිණුම් දෙකක්) වික්‍රමපේලිගෙදර චන්ද්‍රකාන්ති සහ කහඳවආරච්චිගේ අතුල ඉන්දික සම්පත් යන අයගේ නම්වලින් ඇති ගිණුම්ය.

මෙම ගිණුම් හිමි අය අතර සිටින මෙරට පිහිටි එන්මැක්ස් ඩීටී පුද්ගලික සමාගමේ අධ්‍යක්ෂවරුන් සිව් දෙනකු සිටින අතර ඔවුන්ට මේ වන විට විදෙස් ගමන් තහනමක් පනවා තිබේ. ඒ සම්පත් සඳරුවන්, අතුල ඉන්දික සම්පත්, සාරංග රන්දික ජයතිස්ස සහ ධනංජය ගයාන් යන අයට ය.

තවද ශ්‍රී ලංකා මහ බැංකුවේ මූල්‍ය බුද්ධි ඒකකයේ අධ්‍යක්ෂවරයා විසින් කරන ලද පැමිණිල්ලකට අනුව ඔන්මැක්ස් ඩීටී පුද්ගලික සමාගම මෙරට ගනුදෙනු සඳහා යොදාගත් ලංකා බැංකුව, සෙලාන් බැංකුව, සෙන්ට්‍රල් ෆිනෑන්ස්, නේෂන්ස් ට්‍රස්ට් සහ පීපල්ස් ට්‍රස්ට් යන මූල්‍ය ආයතනවල ඔන්මැක්ස් ඩීටී සමාගම නමින් තිබූ බැංකු ගිණුම් පනස් හතක් අත්හිටුවීමට ද අධිකරණය නියෝග කළේය.

● යළිත් ඔන්මැක්ස් වැඩ

පසුගිය සතියේ වාර්තා වූ පුවත් මඟින් කියවුණේ මෙහි අධ්‍යක්ෂවරුන් විසින් මෙම මුදල් ජෝර්ජියාවේ ගිණුමක් වෙත මාරු කර ඇති බවයි. මෙය සත්‍ය විය යුතුය. මන්ද මේ වන විටත් ඔන්මැක්ස් ඩීටී සමාගම යළිත් තම සමාගමට නව සාමාජිකයන් බඳවා ගනිමින් සමාගම ප්‍රවර්ධනය කරමින් සහ ඔවුන්ට මුදල් ගෙවමින් ක්‍රියාත්මක වන බැවිනි. මැයි මාසයේ පවා ආයෝජකයන්ගේ ගිණුම්වලට මුදල් බැරවී ඇත. බොහෝ දෙනා පෙන්වා දෙන්නේ මෙම පිරමිඩ වංචාවලට සම්බන්ධ පිරිස් තවමත් නිදැල්ලේ සිටීම නිසා තව තවත් මෙම අක්‍රමිකතා වර්ධනය වන බවයි.

ශ්‍රී ලංකා මහ බැංකුව ද පසුගියදා පැවසුවේ ඔන්මැක්ස් ඩීටී සමාගම පිළිබඳ තවමත් ඔවුන් හට පැමිණිලි ලැබෙන බවයි එසේම ගෙවුණු සිව් මාසය තුළ මහ බැංකුව වෙත මෙවැනි පිරමිඩ ජාවාරම් සම්බන්ධ පැමිණිලි තිහක පමණ ප්‍රමාණයක් ලැබී ඇත.

● පිරමීඩ ජාවාරම්කරුවන්ට දිය හැකි දඬුවම්

මෙවැනි වංචාවකට කුමනාකාරයෙන් හෝ සම්බන්ධ පුද්ගලයෙකුට බරපතළ වැඩ ඇතිව හෝ නැතිව වසර තුනක සිර දඬුවමක් හෝ උපරිමය මිලියනයක දඩයකට හෝ එම දඬුවම් දෙකම පැනවිය හැක.

තවත් පුද්ගලයෙකු අමාරුවේ දැම්මේ ඒ පුද්ගලයාට අලාභයක් වන බව දැන දැනම නම් බරපතළ වැඩ ඇතිව හෝ නැතිව වසර තුනක් සහ උපරිමය වසර 5ක් දක්වා සිර දඬුවමකුත් රුපියල් මිලියන දෙකක් හෝ බඳවාගත් අය යෙදූ මුදල් මෙන් දෙගුණයක් යන දෙකෙන් වැඩි අගයට සමාන දඬුවමක් හෝ මේ දඬුවම් දෙකම හිමි වේ.

මේ ආකාරයෙන් උපයා ගන්නා මුදල්, මුදල් විශුද්ධිකරණය සඳහා හෝ ත්‍රස්තවාදී කටයුතු සඳහා යොදා ගන්නා බවට තීරණය කළ හැකි අවස්ථාවකදී එම මුදල් රජයට පවරා ගත හැකිය.

ජනතාව දැන දැනත් මෙවැනි මූල්‍ය ගනුදෙනු සඳහා වැඩි වැඩියෙන් යොමු වන්නේ ඉක්මනින් පොහොසතකු වීමටය. හැමකෙනාම සිතනු ඇත්තේ තමන් මෙහි මුල් පුරුකක් විය හැකි බව හෝ මෙම සමාගම එවැනි වංචාකාර සමාගමක් නොවනු ඇතැයි කියාය. තමන් මෙහි මුල් පුරුකක් නම් ආයෝජනය කළ මුදල කෙටි කලකින් යළි ලබාගත හැකි යැයි ඔවුන් සිතනවා විය හැක. එසේම විවිධ නීති විරෝධී ක්‍රම මගින් උපයන ධනය ද මෙවැනි වංචාකාර සමාගම් වල ආයෝජනය කරනු අනන්තවත් දක්නට ලැබේ. තවත් කොටසක් සැබෑ ලෙසම නොදැනුවත්භාවය නිසා මෙවැනි පිරමිඩාකාර ජාවාරම්වල මුදල් ආයෝජනය කරන අවස්ථාද නැතුවාම නොවේ ඒ කෙසේ වෙතත් දැන හෝ නොදැන රජයේ පිළිගත් බැංකු පද්ධතියෙන් තොරව මෙවන් තැන්වල මුදල් ආයෝජනය කිරීමෙන් සිදුවන පාඩුව තමන් විසින් දරා ගැනීමට සූදානම් විය යුතුය. පසුව මහ බැංකුවටවත් වෙනත් කිසිදු පාර්ශ්වයකට දොස් නැගීමෙන් ඵලක් නැත.

සමීර කන්නන්ගර

advertistmentadvertistment
advertistmentadvertistment