භූකම්පන මායිම්වල වෙනස්වීමක් අක්‍රීය භූකම්පන තලයක් සක්‍රීය වෙලා – මහාචාර්ය අතුල සේනාරත්න

650

ශ්‍රී ලංකාවේ භූ කම්පන සිදුවිය හැකි මායිම්වල වෙනස්වීමක් සිදුව තිබෙන බවත් ඉදිරියේදී ඒ තත්ත්වයන් කලින් හඳුනා ගැනීමට හැකි වන බවත් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ භූ ගර්භ හා භූ පර්යේෂණ දෙපාර්තමේන්තුවේ මහාචාර්ය අතුල සේනාරත්න මහතා පවසයි.

අක්‍රීයව තිබූ භූකම්පන තලයක් සක්‍රීය වූ අවස්ථාවක ඇති වන තත්ත්වයක් ඊයේ (22 දා) භූ කම්පනවලින් දක්නා ලැබෙන බවද හෙතෙම කීය.

භූ විද්‍යා හා පතල් කාර්යාංශය මගින් දිවයිනේ භූ කම්පන ඇති විය හැකි බවට අනුමාන කරන ප්‍රදේශ රැසක භූ කම්පන මාන සවි කිරීමේ කටයුතු සිදු කරන හෙයින් ඉදිරියේදී භූ කම්පන තත්ත්වයන් ඇති වන බවට අනුමාන ලබාගත හැකි බව ද මහාචාර්යවරයා කීය.

ලොව පුරා දිනකට භූ කම්පන දස දහස් ගණනක් සිද්ධ වන බවත් ඒවා ප්‍රබල භූමි කම්පා නොවන බවත් ජනතාව බිය විය යුතු නැති බවත් හෙතෙම කීය

තමන් මේ වන විට ක්‍රියාකාරී දත්ත විශ්ලේෂකයකු පර්යේෂකයෙකු ලෙස ලොව පුරා පර්යේෂණ කණ්ඩායම් කීපයක් සමගම කටයුතු කරන බව ද ඔවුන් නිරතුරුවම තමන් වෙත දත්ත වාර්තා සපයන බව ද මහාචාර්යවරයා කීය.

පොළොව අභ්‍යන්තරයේ සිදුවන බොහෝ කම්පන තත්ත්වයන් භූ තල මායිම්වල සිදුවන විභේදනයන් පොළොව මතුපිටට පැමිණෙන්නේ කම්පන ස්වභාවයකින් බව ද කී මහාචාර්යවරයා 3.5 ක අගය පසුකරන කම්පන තත්ත්වයන් ඇති වීම දුර්ලභ බව ද කීය.

මේ වන විට පරිසරයේ සිදුවන විවිධ විචල්‍යයන් භූමිය අභ්‍යන්තරයට බලපෑම් ඇති කරන බවත් කෘත්‍රිමව ඉදි කරන ගොඩනැගිලි, ඒවාගේ විශාලත්වය, බර, පොළොව අභ්‍යන්තරයට බලපෑම් ඇති කරන බවත් කී මහාචාර්ය අතුල සේනාරත්න මහතා සොබාදහමේත් පරිසරයේත් අසමතුලිතතාවයන් මත පොළොව මතුපිටට දැනෙන භූ කම්පන තත්ත්වයන් සංඛ්‍යාත්මකව වැඩි වී ඇති බවට සැක කළ හැකි බව ද කීය. දෛනිකව සැලකිය යුතු මට්ටමේ භූ කම්පන තත්ත්වයන් බහුලව සිදු වුවහොත් ඒ සම්බන්ධයෙන් කඩිනමින් පර්යේෂණ ආරම්භ කොට හේතු සොයා බැලීමට ජාත්‍යන්තර භූ විද්‍යාඥයින් කටයුතු කරනු ඇතැයි ද හෙතෙම කියා සිටියේය.
සමන්ති වීරසේකර

advertistmentadvertistment
advertistmentadvertistment