බුත්තල යළිත් හෙල්ලෙයි – මහා ශබ්දයක් එක්ක බඩු මුට්ටු හෙල්ලුණා – අපි කාර්යාලයෙන් එළියට පැන්නා

534

බුත්තල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ පරිපාලන නිලධාරිනි රජිකා දිෂානි

“අපි කාර්යාලයේ සිටින විට මහා ශබ්දයක් එක්ක බඩු මුට්ටු ඔක්කොම සෙලවුණා. මොකක්ද වෙන්න යන්නෙ කියලා හිතාගන්න බැරි වුණා. ඒත් එක්කම කට්ටියක් එක්ක කාර්යාලයෙන් එළියට පැන ගත්තා’ යැයි බුත්තල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ පරිපාලන නිලධාරිනි රාජිකා දිෂානි මෙනවිය ‘දිවයින’ට ඊයේ (22 වැනිදා) පැවසුවා ය.

බුත්තල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් ප්‍රදේශ කීපයකට ඊයේ (22 දා) පෙරවරු 11.44 ට පමණ සිදු වූ භූචලනය පිළිබඳ ඇය සිය අත්දැකීම මෙසේ හෙළි කළාය.

මෙහිදී තවදුරටත් සිය අත්දැකීම විස්තර කළ ඇය මෙසේ ද කීවාය.

අපි කාර්යාලයේ ඉන්න කොට එක්වරම මහා ශබ්දයක් සමග කාර්යාලයේ උපකරණ හා ලිපි ගොනු සෙලවුණා. මොකක්ද වෙන්න යන්නෙ කියලා අපිට හිතා ගන්නවත් බැරි වුණා. සියලුම සේවකයින් කාර්යාලයෙන් එළියට පැන ගත්තා. නමුත් සුළු වේලාවකින් ඒ සෙලවීම නතර වුණා. අපි කාටවත් අනතුරක් වුණේ නැහැ.

බුත්තල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ප්‍රදේශ කීපයක ඊයේ පෙරවරුවේ භූචලනයක් සිදු වූ බව මොනරාගල ආපදා කළමනාකාරණ ඒකකයේ සහකාර අධ්‍යක්ෂ ඒ. එච්. රවීන්ද්‍ර කුමාර මහතා ද තහවුරු කළේය.

ඌව පැල්වත්ත, බුත්තල, වගුරුවෙල සහ පැල්වත්ත සීනි සමාගමට අයත් ජනාවාසවලට මෙම තත්ත්වය බලපා ඇතැයි හෙතෙම කීය.

මෙහිදී පැල්වත්ත සීනි කර්මාන්තායතනයේ ස්කාගාරයේ සේවකයකු වන එම්. ජී. ලසන්ත මහතා මෙසේ පැවසීය.

අපි ස්කාගාරයේ වැඩ කරමින් සිටියා. එක්වම ශබ්දයක් සමග ෆැක්ටරිය සෙලවුණා. ඒත් එක්කම සේවකයින් සියලු දෙනා බියට පත් වී එළියට පැන ගත්තා. මේක මොකක්ද කියලා හිතා ගන්නවත් බැරි වුණා. අපිට ජීවිත ගැන බයකුත් දැනුණා.

මේ ගැන භූවිද්‍යා පතල් කැණීම් කාර්යාංශය සඳහන් කළේ රිච්ටර් මාපාංක 3.3ක අගයකින් යුත් භූචලනයක් බුත්තල හා වැල්ලවාය අතර ප්‍රදේශවලින් වාර්තා වන බවය.

සතියක් ඇතුළත බුත්තල ප්‍රදේශයෙන් භූචලනයක් සිදුවූ 4 වැනි අවස්ථාව මෙය වේ.

සාමාන්‍යයෙන් භූකම්පනයක් සිදුවීමට රිච්ටර් මාපාංක 4ක අගයක් විය යුතු බව භූවිද්‍යා පතල් කාර්යාංශයේ අධ්‍යක්ෂ ප්‍රේම් ජයන්ත මහතා ‘දිවයින’ට පැවසීය.
චමින්ද සිල්වා, ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්, රවිඳු ගුණතිලක – බඩල්කුඹුර

advertistmentadvertistment
advertistmentadvertistment