නාරම්මල පොලිස් වෙඩිල්ලට එරෙහිව බිරිඳ උසාවි යයි

216

කෝටි 20ක් වන්දි ඉල්ලයි

නාරම්මල පොලිසියට අනුයුක්තව සේවය කළ උප පොලිස් පරීක්‍ෂකවරයකු විසින් පසුගිය ජනවාරි 18 වැනිදා රාත්‍රි නාරම්මල රන්මුතුගල ප්‍රදේශයේදී සිදුකළ වෙඩි තැබීමෙන් මියගිය රොෂාන් කුමාරසිරි නමැති සිය සැමියාට සාධාරණයක් ඉටුකරන ලෙසට නියෝගයක් කරන්නැයි ඉල්ලා කමනී රූපිකා ප්‍රියංගනී නමැති තිදරු මව ඊයේ (16 දා) ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කළාය.

සිවිල් ඇඳුමින් සැරසී තවත් පොලිස් කොස්තාපල්වරයකු සමග රාත්‍රි කාලයේදී ගොස් මෙම වෙඩි තැබීම කර ඇතැයි ද ඉන් කියා තිබේ. නීතිඥ සුනිල් වටගල මහතා මගින් ගොනු කර තිබූ එම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස එම වෙඩි තැබීම සිදුකළ උප පොලිස් පරීක්‍ෂක කහවිටගේ ගුණවර්ධන නමැත්තාත් ඔහු සමග සිද්ධිය වනවිට ගමන් කළ පොලිස් කොස්තාපල් චමුදිත බණ්ඩාර කුලසේකර නමැත්තා මෙන්ම නාරම්මල පොලිසියේ ස්ථානාධිපතිවරයා, වැඩ බලන පොලිස්පතිවරයා හා නීතිපතිවරයා නම් කර ඇත.

නාරම්මල පොලිස් වෙඩිල්ලට එරෙහිව බිරිඳ උසාවි යයි
මියගිය රොෂාන් කුමාරසිරි

එදින රාත්‍රියේ මහමග රැක සිටි පළමුවන වගඋත්තරකාර උප පොලිස් පරීක්‍ෂකවරයා 38 හැවිරිදි තෙදරු පියකු වන සිය සැමියා පැදවූ ඩිමෝ වර්ගයේ ලොරි රථය නතර කරන ලෙසට සංඥා කර ඇති බව පැවසෙන බවත් එම සංඥාව අනුව රිය නතර නොකර ඉදිරියට ගමන් කිරීම නිසා යතුරුපැදියෙන් හඹාවිත් වාහනය නතර කර ඔහුගේ හිසට එම නිලධාරියාගේ රාජකාරි ගිනි අවියෙන් වෙඩි තබා ඝාතනය කර ඇති බවත් 36 හැවිරිදි කමනී රූපිකා ප්‍රියන්ගනි මහත්මිය එම පෙත්සම මගින් අධිකරණයට කියා ඇත. නිසි සොයා බැලීමකින් තොරව එම වෙඩි තැබීම සිදුකර ඇති බව බැලූ බැල්මට පෙනී යන හෙයින් එමගින් සිය සැමියාගේ මූලික අයිතිවාසිකම් වගඋත්තරකරු හෝ වගඋත්තරකරුවන් අතරින් කීපදෙනකු උල්ලංඝනය කොට ඇති බවට නිගමනය කරන තීන්දුවක් නිකුත්කරන ලෙසටත්, එකී මරණයට රුපියල් මිලියන 200ක වන්දියක් ගෙවීමට නියෝගයක් කරන ලෙසටත් පෙත්සම්කාරිය එමගින් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා තිබේ.

සිය සැමියාගේ අකල් මරණය නිසා 36 වියේ පසුවන තමා පමණක් නොව 16 හැවිරිදි සිය දියණිය හා අට හැවිරිදි පුත්‍රයාට ද බලවත් අගතියක් සිදුවී ඇති බවත් සිය පෙත්සම මගින් කියා ඇති පෙත්සම්කාරිය වයෝවෘද්ධ සැමියාගේ මව රැකබලා ගනිමින් පෝෂණය කරනු ලැබුවේ ද සිය සැමියා වන්නේ යැයි ද කියා තිබේ.

දෙවන වගඋත්තරකරුගේ එකී ක්‍රියාව සම්පූර්ණයෙන්ම ඔහු සතුව තිබූ පොලිස් බලතල ඉක්මවා ගොස් නීතියට පටහැනි ආකාරයෙන් සිදුකර ඇති බව මේ වනවිට ඉදිරිපත් වී ඇති තොරතුරු අනුව අනාවරණය වී ඇතැයි ද පෙත්සමෙන් කියා තිබේ.

ඒ. ජේ. ඒ. අබේනායක

advertistmentadvertistment
advertistmentadvertistment