බෙල්ලන සේවක අඩස්සියට

290

පොලිසියත් කැඳවයි

‘සුළු සේවකයන්ට බුරන බෙල්ලන එපා’

හූ හඬ මැද බෙල්ලන ගෙන යයි

කොළඹ ජාතික රෝහලේ සුළු සේවකයන් හට මාධ්‍ය හරහා දැඩි දෝෂාරෝපණයක් එල්ල කිරීමට විරෝධය පාමින් එම රෝහලේ කනිෂ්ඨ කාර්ය සහායකයන්, උපස්ථායකයන් 500කට අධික පිරිසක් එම රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතාගේ කාර්යාලය වටලා විරෝධය පාන්නට වීමත් සමග රෝහලේ දැඩි උණුසුම් තත්ත්වයක් ඊයේ (16දා) ඇතිවිය.

කැරලි මර්දන ඒකකය, පොලිසිය, යුද හමුදාව ද එම ස්ථානයට කැඳවා තිබිණි. ජල ප්‍රහාරක රථ ද, කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කරන අවි ඇති නිලධාරීන් ද දැක ගැනීමට හැකි විය.

මෙම උණුසුම් තත්ත්වය හමුවේ එම සේවකයෝ පැය.06කට අධික කාලයක් වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන කාර්යාල අඩස්සියේ තබා ගත්හ.

මෙම උණුසුම් තත්ත්වය හමුවේ එම ස්ථානයට පොලිසිය ද කැඳවීමට සිදුවිය.

අදාළ සෞඛ්‍ය කාර්ය මණ්ඩලය, රෝහල් නියෝජ්‍ය අධ්‍යක්‍ෂවරයා මාධ්‍ය හමුවේ කළ ප්‍රකාශයට විරෝධය පළ කරමින් ඊයේ දහවල් 12.00ට පමණ ජාතික රෝහල ඉදිරිපිට විරෝධතාවයක් පැවැත්වූහ.

ඉන් අනතුරුව එම සෞඛ්‍ය කාර්ය මණ්ඩලය රෝහල් නියෝජ්‍ය අධ්‍යක්‍ෂවරයාගේ කාර්යාලය වටලා විරෝධය පාන්නට වූහ. ‘බෙල්ලා පිස්සෙක්’ ‘බෙල්ලා පිස්සෙක්’ යැයි කෑගසමින් දිගින් දිගටම ඔවූහු විරෝධය පාන්නට වූහ.

මෙහිදී කතා කළ රෝහල් සෞඛ්‍ය කාර්ය සහායකයෙක් (නම හෙළිකිරීමට අකමැතිවූ) මෙසේ පැවසීය.

මෙය යූනියන් මට්ටමින් කරන විරෝධයක් නොවෙයි. රෝහලේ සමස්ත කාර්ය මණ්ඩලය වෙනුවෙන් කරන විරෝධයක් මේක. රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්‍ෂවරයා හැටියට ඔහු වගකීම් විරහිතව මාධ්‍යයට ප්‍රකාශ කරමින් සෞඛ්‍ය කාර්ය මණ්ඩලයට අපහාස කළා. ඒකට එරෙහිවයි අද අපි මේ විරෝධය දක්වන්නේ. මේ බෙල්ලන කියන වෛද්‍යවරයා සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණයක් ගන්න ඕනේ. සුළු සේවකයන් කියන්නෙ වැසිකිළි හෝදන අයලු. ඒ අයට රුපියල් 1000ක් 2000ක් දුන්නම ඇතිලු. මේ අය කටු කන අයලු. මේ අය රෝහල්වලට සුදුසු නෑලු. මේ වගේ වගකීම් විරහිත ප්‍රකාශ මාධ්‍ය හමුවේ කිරීම නිසයි මේ සේවකයෝ ඔක්කොම බැස්සේ. මේ ප්‍රකාශ එයා ඉල්ලා අස්කර ගන්න ඕන. අනිත් එක මේ රෝහල් නියෝජ්‍ය අධ්‍යක්‍ෂවරයාව වහාම මේ රෝහලින් මාරු කරන්න ඕනෙ. සෞඛ්‍ය කාර්ය සහායකයන් කරන සේවාව ගැන බොහෝ දෙනා දන්නවා.

මේ වගේ වෛද්‍යවරුන්ගෙන් කොළඹ ජාතික රෝහලේ ප්‍රතිරූපයටත් හානි සිදුවෙනවා. ඒ නිසා මේ රෝහල් නියෝජ්‍ය අධ්‍යක්‍ෂවරයාව ඉවත් කරන්න කටයුතු නොකළොත් අපි ඉදිරියේදී දැඩි පියවර ගන්නවා.

රෝහල් නියෝජ්‍ය අධ්‍යක්‍ෂ වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතාගෙන් අප අදහස් විමසීමට උත්සාහ ගත්ත ද එය අසාර්ථක විය.

ඊයේ සවස 6.30ට පමණ දැඩි රැකවල් මැද වෛද්‍ය බෙල්ලන මහතා එම කුටියෙන් එළියට ගෙන යන අයුරු දැකගැනීමට ලැබිණි. එම අවස්ථාවේදී රෝහල් සුළු සේවකයෝ හූ හඬ නැගූහ.

මෙහිදී අදහස් දැක්වූ සුළු සේවකයන් සඳහන් කළේ බෙල්ලන මහතා රෝහලෙන් ඉවත් කරන තුරුත් දිගමට විරෝධතා පවත්වන බවයි. ඒ අනුව අද උදෑසන යළි විරෝධතා පවත්වන බවද සෞඛය කාර්ය සහායකයෝ සඳහන් කළහ.

ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන් සහ සුජීව තත්සර

advertistmentadvertistment
advertistmentadvertistment