දේවකාරිය සේ කළයුතු රාජකාරිය

707

රාජකාරිය දේවකාරිය යැයි කියමනක් තිබේ. ඉන් අරුත් ගැන්වෙන්නේ තමන් කුමන තරාතිරමක වෘත්තියක නිරත වුවද එයට ආදරයෙන් භක්තියෙන් සහ වගකීමෙන් කළ යුතු බවයි. නමුත් පසුගිය කාලය පුරාවට ඇසෙන පුවත්වලින් කියැවෙන්නේ රාජකාරිය දේවකාරියක් ලෙස නොව එය තමන්ගේ බඩවඩා ගැනීම පිණිස බොහෝ පිරිස් ක්‍රියාකරන බවකි.

වෛද්‍ය වෘත්තිය යනු මුළු මහත් සමාජයේ ගෞරවයට සහ ආදරයට පාත්‍රවී ඇති රැකියාවකි. අන්ත අසරණ වූ රෝගීන් සුවපත් කරමින් වෛද්‍යවරුන් කරන සේවය ඇගයෙනුයේ දේවකාරියක් ලෙසිනි. නමුත් අද සමාජයේ ඇතැම් වෛද්‍යවරුන් කරනා වැඩ නීචය. වෛද්‍ය වෘත්තියේ ඇති කීර්ති නාමය කෙළසමින් එසේ ක්‍රියාකළ අයකු පිළිබඳව වාර්තා වන්නේ ගම්පොල ප්‍රදේශයෙනි. මෙම දොස්තර තම සුපිරි රියෙන් ගොස් මත් ලෝලීන්ට මත් පෙති විකුණා තිබේ. පොලිසිය මගින් අත්අඩංගුවට ගනු ලැබූ මත්පෙතිවලට ඇබ්බැහි තරුණයකුගෙන් කළ ප්‍රශ්න කිරීම්වලින් අනතුරුව මෙම දොස්තර අත්අඩංගුවට ගෙන තිබේ. පොලිසිය කරන ලද පරීක්‍ෂණවලදී හෙළිවී ඇත්තේ ද දීර්ඝ කාලයක් තිස්සේ මොහු විසින් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූ ගම්පොල ප්‍රදේශයේ පුද්ගලයන්ට සහ පාසල් ශිෂ්‍යයන්ට ද මෙම මත්පෙති විකුණා ඇති බවයි. තමන්ගේ රාජකාරිය අමතක කර මෙම සුනඛ ක්‍රියාව කළ අය අත්අඩංගුවට ගන්නා විටද ඔහු ළඟ තිබී මත්පෙති 1600ක් සොයාගෙන තිබේ.

දොස්තරවරයකු නැතහොත් වෛද්‍යවරයකු බිහි කිරීම සඳහා රජය විසින් විශාල මුදලක් වැය කරනු ලැබේ. රජයට එලෙස වියදම් කිරීමට මුදල් ලැබෙනුයේ ජනතාවගෙන් බදු වශයෙන් ලබාගන්නා මුදල් සහ වෙනත් ඉපයීම්ය. ජනතාවගේ බදු මුදල්වලින් ඉගෙන ගෙන සමාජයේ වැදගත් වෘත්තිකයකු සේ එළිබසින වෛද්‍යවරයකු කොයිතරම් විශ්වාසවන්ත ලෙස සමාජයට සේවය කළ යුතු දැයි අමුතුවෙන් කිවයුතු නැත. සමාජය විසින් ඔහුට ලබාදුන් ගෞරවනීය තත්ත්වයට පෙරළා යුතුකම් ඉටුකළ යුත්තේ ජනතා සේවයට කැපවීමෙනි. එහෙත් වෛද්‍ය වෘත්තිය වැනි උතුම් රාජකාරියකට මුවාවී සමාජ ව්‍යසනයකට හේතු වන මෙවැනි පාපකාරී ක්‍රියාවල යෙදෙන්නන්ට රජ කාලයේ දඬුවම් දුන්න ද පව් සිදුනොවනු ඇත.

අප රටේ බුද්ධි අංශ පිළිබඳව ඇත්තේ කීර්තිමත් ඉතිහාසයකි. විශේෂයෙන් අප රට වෙලාගෙන තිබුණු තිස් අවුරුදු යුද සාපයෙන් රට මුදාගැනීම සඳහා මෙරට බුද්ධි අංශ සුවිශාල මෙහෙවරක් කළේය. ඇතැම් අවස්ථාවල අප රටේ බුද්ධි අංශ වෙස් වලාගෙන කොටි ත්‍රස්තවාදීන්ගේ මරු කටට ගොස් තොරතුරු එක්රැස් කරමින් අප රට කුරිරු ත්‍රස්තවාදයෙන් මුදාගැනීම සඳහා කළ සේවයට මිලක් නියම කළ නොහැකි තරම්ය.

එවැනි ගෞරවනීය බුද්ධි සේවාවට නිගරු කරමින් ක්‍රියාකළ හමුදා බුද්ධි අංශයේ නිලධාරීන් දෙදෙනකු පොලිස් විශේෂ කාර්ය බළකාය මගින් අත්අඩංගුවට ගත් පුවතක් ද වාර්තා වෙයි. මොවුන් විසින් සිදුකර ඇත්තේ වෙඩි තබා මනුෂ්‍ය ඝාතන කිරීම සඳහා පාතාලයට යතුරුපැදි සැපයීමයි. වැටත් නියරත් ගොයම් කානම් කාට පවසම් ඒ අමාරුව කියන්නා සේ තමන්ගේ රාජකාරිය අමතක කොට මෙවැනි දුෂ්ට ක්‍රියාවල නිරතවන්නට ඉහළම දඬුවම් ලබාදීම අදාළ බලධාරීන්ගේ වගකීමයි.

ඖෂධ මාෆියාව නිසා අප රටේ රෝගීහු කාලයක් තිස්සේ දුක්ගැහැටවලට ලක්වී සිටිති. බාල ඖෂධ නිසා තමන්ගේ දෙනෙත් අන්ධ කරගත් රෝගීහු අප රටේ සිටිති. ඇස්වලට පමණක් නොව අනෙකුත් රෝගවලට ද ගෙන්වන ලද ඖෂධවල ප්‍රමිතිය පිළිබඳ ගැටලු නිසා විටින් විට ප්‍රශ්න පැනනැගී තිබේ. රෝගී ජීවිත මරු කටට යවන එවැනි පිරිසක් පිළිබඳව පරීක්‍ෂණ ද පැවැත්වෙමින් තිබේ. ඇතැම් අය සම්බන්ධයෙන් අධිකරණ ක්‍රියාමාර්ග පවා ගනිමින් තිබේ. සත්‍ය වශයෙන්ම රෝගීන්ගේ ජීවිත අනතුරේ හෙළා මෙවැනි ජාවාරම්වල නිරත වනවාට වඩා නගර සභා වැසිකිළියක් කඩාගෙන කෑම උචිතය. එය එතරම්ම පිළිකුල් සහගතය.

මේ සියලු දුෂ්ට වැඩ සිදුවන්නේ තමන්ගේ රාජකාරිය නිසිලෙස ඉටුනොකරන උදවිය නිසාවෙනි.

අප ඉහතින් සඳහන් කළ ක්‍ෂේත්‍ර තුනට අමතරව තවත් බොහෝ ක්‍ෂේත්‍රවල මෙවැනි වංචා දූෂණ අනන්තවත් සිදුවෙන අයුරු රටට රහසක් නොවේ. රට පත්ව ඇති තත්ත්වයෙන් ගොඩගැනීමට නම් අපට අනිවාර්යයෙන්ම රාජකාරිය දේවකාරිය සේ සලකා ක්‍රියාකරන පිරිසක් සෑම ක්‍ෂේත්‍රයකම සිටිය යුතුය. අකුරට, නීතියට සද්භාවයෙන් සහ අවංකව සේවයට කැපවෙන පිරිසක් අප රටේ ගොඩනැගෙන තුරු අප රට ඉහළට ඔසවා තැබීම සිහිනයකි.

advertistmentadvertistment
advertistmentadvertistment