සී.අයි.ඩි යේ ටෙලිෆෝන් ටෙන්ඩරය සහ බුද්ධිය පිළිබඳ වෙනත් කතා

959

හරක් කටා (මෙය දැන් ගෙදර දොරේ නාමයකි) CID එකේ රඳවා සිටින විට තම හිතවතුන්ට ටෙලිෆෝන් කෝල් ගෙන ඇත්තේ එක කෝල් එකට රුපියල් 175,000 ක් නිලධාරීන්ට ගෙවීමෙනි. මාකඳුරේ මදුෂ් ද CID එකේ සිටින සාපරාධී සැකකරුවන් තවත් බොහෝ දෙනෙක්ද මේ ආකාරයෙන් රුපියල් ලක්ෂ ගණන් ගෙවා නිලධාරීන්ගේ ෆෝන් වලින් කෝල් ගන්නට ඇත. මේ මගින් අලුත්ම ආදායම් මාර්ගයක් විවෘත කරගැනීම පිළිබඳ අදහසක් රජයට ලබාගත හැකිය. එනම් CID එකේ කුඩු සහ පාතාල සැකකරුවන් රඳවා සිටින කූඩුව ළඟ ඒජන්සි පෝස්ට් ඔෆිස් එකක් විවෘත කිරීමයි. එවිට සාපරාධී සැකකරුවන්ට අවශ්‍ය දුරකථන ඇමතුම්, ඇමතුම රුපියල් 175,000 ගානේ ලබාදිය හැකි අතර විශාල මුදලක් එකතු කරගත හැකිය. අවශ්‍ය නම් රජයේ ආයතනවල කැන්ටිම ටෙන්ඩර් ක්‍රමයට ලබාදෙන ආකාරයට මේ ඒජන්සි පෝස්ට් ඔෆිස් එක වෙනුවෙන්ද ටෙන්ඩරයක් කැඳවිය හැක. එම ටෙන්ඩරය රුපියල් කෝටි පහකට වුවද අලෙවි කිරීමට හැකි බව අපගේ විශ්වාසය වේ. ඉහත ඡේදය මගින් අප පැහැදිලි කිරීමට අදහස් කළේ මේ රටේ කුඩු මුදලාලිලා සහ පාතාලකාරයන් සල්ලි වීසිකරන ආකාරයයි. දැන් මේ කතුවැකියේ දෙවැනි කොටසට එළඹෙමු. අසාධාරණ බදු ප්‍රතිපත්ති නිසා 2023 පළමු මාස හය තුළ දොස්තර, ඉංජිනේරු සහ විශ්වවිද්‍යාල ආචාර්ය ඇතුළු 4000 ක පිරිසක් රට හැර ගොස් ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය නාලක ගොඩහේවා පවසා තිබේ. නාලකත් හැකි ඉක්මනින් රට පැන්නොත් මේ ගණන 4001 කරගත හැකිය. එහෙත් පාර්ලිමේන්තු මන්ත්‍රී සුවය ඇඟේ ගෑවුණු කවුරුත් රට පනින්නේ නැත. මන්ද, දේශපාලනඥයකු වී, පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වීම පිටරට යාමකට නොව දෙව්ලොව යාමකට සමාන වීම නිසාය. බටපතුරු ලෙස සිටින සිවිල් වැසියන් සමුපකාර ඡන්දය ප්‍රාදේශීය සභා ඡන්දය පළාත් සභා ඡන්දය යන බාධක පසුකරගෙන පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය දක්වා පැමිණෙන්නේ අති විශාල කට්ටක් කාගෙනය. කට්ට කන අතර ඔවුහු අයථා මාර්ග වලින් මුදල්ද සොයති. මෙසේ උපයන මුදල් සෑම විටම ඊළඟ ඡන්දයට වියදම් කරනු ලැබේ. ඒ නිසා තව තවත් දේශපාලනයෙහි නියැළෙමින් විවිධ පක්ෂ හා කණ්ඩායම් සමග එකතු වෙමින් ප්‍රතිපත්ති මාරුකරමින් දේශපාලනයෙහිම එල්ලී සිටීමට දේශපාලනඥයෝ උත්සාහ කරති. එබැවින් නාලක ගොඩහේවා මෙරටින් නික්ම යාමක් අපේක්ෂා කළ හැකි නොවේ. ඒ අනුව ලංකාවෙන් නික්ම ගිය වෘත්තිකයන් හාරදහසක ප්‍රමාණය හාරදහස් එක කිරීමට සිදුවන්නේ වෙනත් අයකුටය. එක රටක සිට තවත් රටකට ජනතාව ඇදී යාම කොටස් දෙකකට කැඩිය හැකිය. ඉන් පළමුවැන්න බුද්ධි ගලනයයි. මේ යටතේ විවිධ වෘත්තිකයෝ පිට රට යති. ඊළඟ කොටස වූකලී ශ්‍රමිකයන් ය. මේ මිනිසුන් දොස්තර වැඩේ, නීතීඥ වැඩේ, ඉංජිනේරු කාර්යය, ප්‍රතිපත්ති සම්පාදනය වැනි දේවල් නොකරන අතර ගොඩනැගිලි ඉදිකිරීම ඇතුළු දෑතේ හයියෙන් කරන වැඩ කරති. මෙය හඳුන්වනු ලබන්නේ ශ්‍රම ගලනය ලෙසය. මේ දෙකම රටකට පාඩුය. මොළය තිබුණාට ඇඟ පත නැතොත් එමගින් අවැඩක්ම සිදුවේ. ඇඟ පත පමණක් තිබී මොළය නැති වුණොත් එමගින්ද අවැඩක් සිදුවේ. රටක උන්නතිය සඳහා ඉහත සඳහන් දෙපාර්ශ්වයේම සහභාගීත්වය අවශ්‍යය. මේ වන විට මේ රටේ වෙල්ඩින් කර්මාන්තය සෑහෙන තරම් පරිහානියට පත්ව ඇත. එයට හේතුව වෙල්ඩින් වැඩ කරන පළපුරුදු කට්ටිය මැද පෙරදිග වෙල්ඩින් වැඩට යාමය. දොස්තරට හෝ ලෝයර්ට වෙල්ඩින් වැඩ කිරීමට නොහැක. එසේම වෙල්ඩින් වැඩ කරන අයට දොස්තරකම හෝ නීතිඥකම කිරීමට නොහැක. ඔවුන් එසේ කරන්නට ගියහොත් ලෙඩුන්ටත් විත්තිකාරයන්ටත් ස්ථිර වශයෙන්ම ගස් යෑමට සිදුවේ. ඒ නිසා රටක පැවැත්මට මේ පාර්ශ්ව දෙකම අත්‍යවශ්‍ය ය. බුද්ධි ගලනය නමැති ක්‍රියාදාමය ඇරඹෙන්නේ 1970 න් පසුය. මෙය ගෝලීය ක්‍රියාදාමයකි. ඒ අනුව ලෝකයේ හැම රටකින්ම මිනිස්සු වෙන රටවල පදිංචියට යති. 2022 දී ශ්‍රී ලංකාව අත්හැර ගිය වෘත්තිකයන් ගණන දාහතරදහස් තුන්සිය හතකි. 2021 දී මෙම ගණන අටදහස් තුන්සිය හැත්තෑ තුනක් විය. 2020 දී එය දෙදහස් නවසිය පනස් හතක් විය. රැකියා වෙළෙඳ පොළ නමැති සාංකල්පික වෙළඳ පොළක් ලෝකයේ තිබේ. මෙය ක්‍රිප්ටෝ කරන්සි හෝ බිට් කොයින් වැනි අන්තර්ජාල මුදල් මෙන් අතින් ඇල්ලිය හැකි දෙයක් නොවේ. හැබැයි මේ සංකල්පය ඉතාම බලගතු ලෙස පවතී. අනෙක මේ මාර්කට් එක නිතරම ප්‍රසාරණය වෙයි. දැනට ලෝකයේ රටවල් 117 ක් බුද්ධිගලන සහ ශ්‍රම ගලන තර්ජනයට මැදිව සිටිති. ඒ අතරින් වැඩිපුරම මැදිවී ඇත්තේ ඉරානයයි. තුන්වැනියට චීනයයි. අටවැනි තැනට රුසියාව පත්ව තිබේ. ශ්‍රී ලංකාවට ඇත්තේ 24 වන තැනය. සිංගප්පූරුවට එකසිය දොළොස්වන තැන හිමි වෙයි. අප හිතන්නේ ඔස්ටේ්‍රලියාව මේ ලෝකයේ හොඳම රටක් හැටියටය. ඒ රටට බෝට්ටුවෙන් එන්න එපා යැයි කියමින් ඔස්ටේ්‍රලියන් ආණ්ඩුව නිතර දැන්වීම් දමති. බුද්ධි ගලන ලැයිස්තුවේ එකසිය පනස්වන තැන ඔස්ටේ්‍රලියාවටත්, එකසිය පනස්තුන්වන තැන කැනඩාවටත් එකසිය හැටවන තැන ස්වීඩනයටත් එකසිය හැටවන තැන ජර්මනියටත් එකසිය හැත්තෑ තුන්වන තැන නවසීලන්තයත් ලැබී තිබේ. එයින් හැඟෙන්නේ අපේ ජනයා හොඳම රටවල් සේ හිතාගෙන බෝට්ටුවෙන් හෝ ගොඩබිමින් පැනීමට උත්සාහ කරන රටවල් ගණනාවක ජනතාව වැඩි වැටුප් පතා වෙනත් රටවලට පැන යන බවය. ඒ නිසා බුද්ධි ගලනය හා ශ්‍රම ගලනය යන කාරණා දෙක කිසිසේත්ම නැවැත්වීමට බැරි බව අපේ රටේ සිටින, තවමත් රට පැන ගැනීමට නොහැකි වූ මහාචාර්යවරුත්, වෘත්තීයවේදීනුත් දත මනාය.

advertistmentadvertistment
advertistmentadvertistment