දෙවියන් වෙනුවෙන් මරා ගැනීම

1224

අපේ ගමට අයත් පන්සලක් අල්ලපු ගමේ තිබේ. මේ පන්සල වන්දනාමාන කිරීම සඳහා අල්ලපු ගමේ මිනිස්සු අපට ඉඩ නොදෙති. අප, අපේ එම පන්සලට වන්දනා පිණිස ගිය විට අල්ලපු ගමේ අය අපට පහර දී එළවා දමති. එවිට අප කරන්නේ අපේ පැත්තට දුවගෙන විත් එහා ගමට ගල්වලින් ගැසීම ය. මෙතැන තවත් ප්‍රශ්නයක් තිබේ. මේ පන්සල අපේ යැයි කීවාට එය ඇත්තටම අපේ දැයි අප දන්නේ නැත. ජනප්‍රවාදයේ සහ එක එකා විසින් මෑත අතීතයේ දී නිර්මාණය කරන ලද කටකතා යොදාගෙන අපි එහා ගමේ තිබෙන පන්සලට අයිතිවාසිකම් කියමු. මේ ආරවුල නිසා මේ වන විට අපේ ගමේ සෑහෙන පිරිසක් ගුටිකා අතපය බිඳගෙන ඇත්තා හ. අපේ ගල් පහරවල් නිසා එහා ගමේ ගෙවල්වලට ද හානි වී තිබේ. මෙතැන් සිට අපගේ අද කතුවැකිය ඇරඹේ.

ඊශ්‍රායලය සහ පලස්තීනයේ හමාස් සංවිධානය අතර මේ දිනවල ඉතා බියකරු යුද්ධයක් ඇරඹී තිබේ. මේ යුද්ධයේ පළමුවන කාලතුවක්කු වෙඩිල්ල පලස්තීනයේ හමාස් සංවිධානය විසින් පත්තුකරන ලදි. එය ඉතා බිහිසුණු ඩ්‍රෝන ප්‍රහාරයකි. ඒ ප්‍රහාරයට ඊශ්‍රායලය විසින් උත්තර දෙන ලද්දේ මිසයිලවලිනි. ඊශ්‍රායලය සහ පලස්තීනය අතර යුද්ධයක් හට ගන්නා සෑම අවස්ථාවකම වැඩියෙන් පාඩු ලැබෙන්නේ පලස්තීනයට ය. පලස්තීනය මෙන් දසදහස් ගුණයක යුද බලයක් ඊශ්‍රායලය සතු ය. පාවිච්චි නොකළාට න්‍යෂ්ටික මිසයිල පවා ඊශ්‍රායලයේ තිබෙන බව දැන ගන්නට තිබේ. ඊට අමතරව Musterd සහ කහ උණ විෂබීජය අඩංගු බෝම්බ ඊශ්‍රායලය සතුව තිබෙන බව දැන ගන්නට තිබේ. පලස්තීනයේ සිටින හමාස් සංවිධානයට එවැනි ජීව විද්‍යාත්මක ආයුධ නැත. ඒ නිසා නිසියාකාර සන්නද්ධ නොවී ඊශ්‍රායලය සමඟ යුද්ධයකට යෑම පලස්තීනයේ හමාස් සංවිධානය විසින් නොකළ යුතු ගොං වැඩකි. එහෙත් මේ ගොංකම ඔවුහු දිගින් දිගටම කරති. පලස්තීනය හා ඊශ්‍රායලය අතර දිගු කාලීන අර්බුදයක් තිබේ. මීට අවුරුදු 3000 කට පමණ පෙර ඊශ්‍රායලය යනුවෙන් රටක් ලෝකයේ තිබිණ. එක්සත් ඊශ්‍රායල රාජධානිය නමැති මේ රට කාලයෙන් කාලයට සාවුල් රජතුමා ද, සොලමන් රජතුමා ද, ඩේවිඩ් රජතුමා ද විසින් පාලනය කරන ලදි. ක්‍රිස්තු පූර්ව 1020 දී පටන්ගත් ඊශ්‍රායල රාජධානිය තවත් රජවරුන් බොහෝ දෙනකු විසින් පාලනය කරන ලදුව ක්‍රි. පූ. 922 දී විනාශයට පත් විය. එතැන් සිට මේ රට අයිතිව තිබුණේ පලස්තීනයට ය. පලස්තීනයේ සිටි ගෝත්‍රික කණ්ඩායම් විසින් ඊශ්‍රායල භූමිය කුඩා කැබලිවලට කඩා පාලනය කරන ලදි. කෙසේ වුවද ඊශ්‍රායලයේ දේශසීමා කවරේද යන්න බයිබලයේ තිබේ. ඊශ්‍රායලය නමැති රට තවදුරටත් නොතිබුණු නමුත්, ඊශ්‍රායල වැසියන් වන යුදෙව් ජනයා ලෝකයේ හැම රටකම වාසය කළහ. 1948 මැයි 14 වැනිදා ලෝකයේ බලවත් රාජ්‍ය කිහිපයක් එක් වී පැරණි ඊශ්‍රායලයේ කොටසක එම රට නැවතත් පිහිටුවන ලදි. එවිට ලොව පුරා සිටි දුප්පත් යුදෙව් ජාතිකයෝ ද කෝටිපති යුදෙව් ජාතිකයෝ ද ඊශ්‍රායලයට පැමිණියහ. මේ කියන කාලයේදී ලෝකයේ තිබූ ලොකුම ඩයස්පෝරාව යුදෙව් ඩයස්පෝරාව වේ. වෙන රටවල්වලින් විශාල වශයෙන් ආධාර ද ණය ද ලබා ගත් යුදෙව් වැසියෝ 1948 දී නිදහස ලැබ ලංකාව මෙන් ලක්‍ෂ ගුණයක් සංවර්ධිත රාජ්‍යයක් බිහිකිරීමට අවුරුදු 25 ක් තුළ සමත් වූහ. ඊළඟට තම කටයුතු සඳහා භූමිය මදි බව ඔවුනට වැටහිණ. එබැවින් පරණ බයිබලයේ තිබූ ඊශ්‍රායලයීය දේශසීමා හඳුනාගත් ඔවුහු පලස්තීනය තුළට කඩා වැදී එම භූමිය අල්ලා ගත්හ. මේ ආක්‍රමණයේදී පලස්තීනයේ තිබූ අල්අක්සා නමැති ඉපැරැණි ඉස්ලාම් පල්ලියක් ද ඊශ්‍රායලය පැත්තට ගියේය. ඉස්ලාමීයයෝ ස්වකීය ආගම සහ එහි ප්‍රධානියා වූ මහම්මත්තුමාත් ලෝකයේ සිටින එකම සර්වබලධාරියා ලෙස ඉස්ලාමීයයන් අදහන අල්ලා දෙවියන් වහන්සේත් කෙරෙහි ඉමහත් භක්තියක් සහිතව ජීවත් වෙති. වෙන අය කිසියම් අර්බුදයකදී මරාගෙන මැරෙන්නේ අන්තිමට ය. එහෙත් අන්තවාදී ඉස්ලාමීයයෝ මුලින්ම කරන්නේ දෙවියන් වෙනුවෙන් මරාගෙන මැරීම ය. කල්යෑමේදී ඊශ්‍රායලය පැත්තේ තිබෙන අල්අක්සා පල්ලිය තම ප්‍රදේශයට ඈඳා දෙන මෙන් ඉල්ලා පලස්තීනයේ සිටින අන්තවාදී ඉස්ලාමීය සංවිධානයක් වූ හමාස් සංවිධානය ඊශ්‍රායලය සමඟ යුද වදින්නට පටන් ගත්තේය. අල්අක්සා පල්ලිය යනු සෞදි අරාබියේ මක්කම තිබෙන කාබා පල්ලියට පසු සාදන ලද තුන්වන ඉස්ලාමීය පූජනීය ස්ථානය ලෙස විශ්වාස කෙරේ. ඕනෑම කෙනෙකුට අල්අක්සා පල්ලියට පැමිණ වන්දනාමාන කිරීමට හැකි නමුත් එය ආපසු පලස්තීනය පැත්තට නොදෙන බව ඊශ්‍රායලය කියයි. ඊටත් අමතරව තම රට ලොකුකර ගැනීම සඳහා පැරණි බයිබලයේ දේශසීමා දෙස බලාගෙන වර්තමාන පලස්තීනයේ ඉඩම් රාශියක් ද ඊශ්‍රායලය අත්පත් කර ගෙන ඇත. ඒ අනුව හමාස් සංවිධානය සහ ඊශ්‍රායලය අතර නිතරම සටන් පවතී. හමාස් සංවිධානයට පෙර කලාපයේ බලවත්ව තිබුණේ යසර් අර්පත්ගේ පලස්තීන විමුක්ති සංවිධානය ය. යසර් අර්පත් පලස්තීනයේ එකම ආරක්‍ෂකයා ලෙස සැලකෙන අතර දිනක් පිටරටකදී පැවති රාජ්‍ය උත්සවයකදී නාඳුනන යුරෝපීයයකු විසින් යසර් අර්පත්ට අතට අත දෙන ලදී. ඉන් දින කිහිපයකට පසු පිළිකාව වැළඳුනු යසර් අර්පත් මළේ ය. අර්පත් ඉවර වූ පසු පලස්තීනය නිහඬ වී යැයි බොහෝ දෙනා කල්පනා කළ ද හමාස් සංවිධානය එතැන් සිට සිය ක්‍රියාකාරකම් දෙගුණ කර ඇත. මේ සියලු කරුණු සලකා බලන කල පලස්තීනය හා ඊශ්‍රායලය අතර තිබෙන යුද්ධය සමාන වන්නේ අල්ලපු ගමේ තිබෙන අපේ ගමට අයත් පන්සල පිළිබඳ උදාහරණයට ය.

හමාස් සංවිධානයේ ප්‍රහාර නිසා ඊශ්‍රායලය එල්ල කළ ප්‍රති ප්‍රහාරවලින් පලස්තීනයේ සිටින දහසකට වැඩි පිරිසක් මේ අවස්ථාවේදී මියගොස් ඇත. සිරියාව ඇතුළු අරාබි රටවල් හමාස් සංවිධානයට යුද ආධාර දෙන අතර ඇමරිකාව ඇතුළු යුරෝපීය කණ්ඩායම ඊශ්‍රායලයට ආධාර කරති. මේ මොහොතේදී මේ පෘථිවිතලය මත දරුණු යුද්ධ දෙකක් ද, තවත් කුඩා යුද මෙහෙයුම් කිහිපයක් ද පවතී. ප්‍රධාන යුද මෙහෙයුම් දෙක වන්නේ පලස්තීන – ඊශ්‍රායල යුද මෙහෙයුම හා යුක්රේන් – රුසියා යුද්ධයයි. මේ දෙවන යුද්ධය පැය 24 ක් තුළ නැවැත්වීමට රුසියන් නායක පුටින්ට පුළුවන. එහෙත් එම යුද්ධය සිය බලය තර කර ගැනීම සඳහා පුටින්ට අත්‍යවශ්‍ය ය. දැනට පවතින කුඩා යුද මෙහෙයුම් සහ විශාල යුද මෙහෙයුම් සියල්ල එකතු කල කල්හි තුන්වන ලෝක යුද්ධයක අනුරුවක් මැවෙමින් පවත්නා බව අප තේරුම් ගත යුතුය.

advertistmentadvertistment
advertistmentadvertistment