රට යන අය අමාරුවේ: ශ්‍රී ලංකාවේ කොවිඩ් එන්නත් ඉවරයි – පී. එච්. අයි සංගමය

99

දැන් එන්නත් ගහන්නේ නෑ ඒත් සයිනෆාම් තියෙනවා – සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල්

කොවිඩ් – 19 වෛරස මර්දනය සඳහා ලබා දෙන කිසිදු එන්නතක් මේ වනවිට මෙරටේ නැතැයි මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරුන්ගේ සංගමය සඳහන් කරයි.

මෙම තත්ත්වය හමුවේ විදේශගතවන පුද්ගලයන්ට ගැටලු රැසකට මුහුණදීමට සිදුවනු ඇතැයි එම සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා ‘දිවයින’ ට ඊයේ (10 දා) පැවසීය.

මෙරට පුද්ගලයන් විදේශගතවීමේදී ඇතැම් රටවල් තවදුරටත් කොවිඩ් – 19 වෛරස මර්දන එන්නත් ලබා තිබේදැයි පරීක්‍ෂාවන්ට ලක්කරන බැවින් මෙම තත්ත්වය උද්ගතව ඇතැයි සඳහන් කළ ඒ මහතා කිසිදු එන්නත් මාත්‍රාවක් හෝ ලබාගෙන නොමැති පුද්ගලයන්ට රට තුළ එන්නත් නොමැතිවීමෙන් බරපතළ ගැටලුකාරී තත්ත්වයක් වී ඇතැයිද වැඩිදුරටත් සඳහන් කළේය.

මේ සම්බන්ධයෙන් ‘දිවයින’ කළ විමසීමකදී සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල් අසේල ගුණවර්ධන මහතා ප්‍රකාශ කළේ කල් ඉකුත්වූ එන්නත් මෙරට තුළ භාවිතයෙන් ඉවත්කර ඇති බවත් ‘සයිනෝෆාම්’ එන්නත 2024 වසරේ අවසන් කාර්තුව දක්වා ලබා ගැනීමේ හැකියාව තවදුරටත් පවතින බවත්ය.

‘අපි ජනතාවට එන්නත් ලබා ගන්නා ලෙස දැනුම් දුන්නා. නමුත් සැලකිය යුතු පිරිසක් එය මඟහැරියා. තිබුණු එන්නත් බොහොමයක් මේ වනවිට කල් පිරී අවසන්. නමුත් අද ලෝකයේ කොහේවත් වැක්සින් ගහන්නේ නැහැ. අපි අපේ රටට එන අයගෙන් ‘වැක්සින් කාඩ් එක’ ඉල්ලන්නේ නැහැ. ලෝකයේ බොහෝ රටවල තත්ත්වය මේකයි. ජපානය, චීනය වගේ රටවල් කිහිපයක් සහ ඇතැම් ගුවන් සමාගම් ඒ ඒ රටවල කොවිඩ් සම්බන්ධ නීතිය අනුව කටයුතු කරනවා” යැයි ද අසේල ගුණවර්ධන මහතා වැඩිදුරටත් පැවසීය.

සුජීව තත්සර

advertistmentadvertistment
advertistmentadvertistment