ද්‍රාවිඩ්ගේ ධුරය ලක්ෂ්මන් අතට !

608

මෙවර ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයේදී ඔස්ට්‍රේලියාව අතින් පරාජයට පත් වූ ඉන්දීය කණ්ඩායමේ පුහුණුකරු වශයෙන් කටයුතු කළ රාහුල් ද්‍රාවිඩ් ගේ වසර දෙකක ධුර කාලය ඉකුත් සඳුදා (20දා) අවසන් වී ඇති අතර නැවත ජාතික ක්‍රිකට් කණ්ඩායමේ පුහුණුකරු ධුරයේ කටයුතු කිරීමට තමා බලාපොරොත්තු නොවන බව ඔහු ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය වෙත දැනුම් දී ඇත.

“ද ටයිම්ස් ඔෆ් ඉන්දියා” පුවත්පත විසින් වාර්තා කර තිබූ අතර මේ අනුව ලෝක කුසලාන අවසන් මහා තරගය ද්‍රාවිඩ් ඉන්දීය ජාතික ක්‍රිකට් කණ්ඩායමේ පුහුණුකරු වශයෙන් කටයුතු කළ අවසන් තරගය බවට පත්ව තිබේ.

ඔහු වෙනුවට ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ හිටපු ප්‍රවීණ ක්‍රීඩකයකු වන වී. වී. එස්. ලක්ෂ්මන් පත් වීමට නියමිතව ඇති බව අදාළ පුවත්පත් වාර්තාවේ සඳහන් කර තිබේ. ඔස්ට්‍රේලියාව හා ඉන්දියාව අතර මේ වන විට පැවැත්වෙන පන්දු ඕවර 20-20 ක්‍රිකට් තරගාවලියේ ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ පුහුණුකරු වශයෙන් කටයුතු කරනුයේද ලක්ෂ්මන් වන අතර ඔහු ඉන්දීය ජාතික ක්‍රිකට් කණ්ඩායමේ නිත්‍ය පුහුණුකරු ධුරය භාර ගැනීමට කැමැත්තෙන් සිටින බව පවසා ඇතැයි වාර්තා වී තිබේ.

ඉකුත් ඉරිදා ලෝක කුසලාන ක්‍රිකට් අවසන් මහා තරගය පැවැත්වෙන අතරතුර ලක්ෂ්මන් අහමදාබාද් නගරයට ගොස් ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ නිලධාරීන් සමග මේ සම්බන්ධයෙන් සාකච්ඡා කර ඇති බව ඉන්දීය මාධ්‍ය පවසයි.

මේ අතර පුහුණුකාර ධුරයෙන් ඉවත්ව යන රාහුල් ද්‍රාවිඩ් අයි පී එල් ක්‍රීඩා සමාජයක පුහුණුකරු ධුරයට පත් වීමට නියමිතව ඇති බවද මාධ්‍ය විසින් වාර්තා කර තිබේ.

ඒමන්ති මාරඹේ

advertistmentadvertistment
advertistmentadvertistment