ගෝඨාභය බෑ කියනකොට සාලිය පීරිස් අගමැති වෙන්න සූට් මැහුවා ඕක රහසක් නෙවෙයි – ජනපති මැතිසබයේදී කියයි

319

ගෝඨාභය රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාට ආණ්ඩු කිරීමට නොහැකි අවස්ථාවේදී එවකට නීතිඥ සංගමයේ සභාපති සාලිය පීරිස් මහතා නිර්පාක්ෂික අගමැති වීමට සූට් මසාගෙන සිටියේ යැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (24දා) පැවසීය.

ඊයේ දිනයේදී ද හදිසියේ පාර්ලිමේන්තුවට පැමිණ ව්‍යවස්ථාදායක සභාව ගැන සහ අරගල පැවැති සමයේදී සිදුවූ බල හුවමාරුව සම්බන්ධයෙන් අදහස් දැක්වූ ජනාධිපතිවරයා මෙසේද කීය.

ව්‍යවස්ථාදායක සභාව විධායකයේම කොටසක් කියලා මම කලිනුත් කිව්වා. සුමන්දිරන් මන්ත්‍රීතුමාත් ඒක ප්‍රතික්ෂේප කරලා තිබුණා. ඔහු උදේ වරුවේ ප්‍රකාශයක් කළා නම් මට උත්තරයක් දෙන්නත් තිබුණා. මම 17 වැනි ව්‍යවස්ථා සංශෝධනයේ තීන්දුව කියවන්න කැමතියි. මේක සකස් කළේ මමත් හිටපු ඇමැති චොක්සි මහතාත් කරු ජයසූරියත් එක්වෙලා. ව්‍යවස්ථාදායක සභාව විධායකයේ කොටසක් හැටියට අපි යෝජනා කළේ. විධායක ජනාධිපති කරන පත් කිරීම්වලට සහාය වෙන්න මේක හැදුවේ. 2002දී සරත් එන්. ද සිල්වාගේ කාලයේ දුන්නු නඩු තීන්දුවක් අනුව තමයි තවම අපි ක්‍රියා කරන්නේ. ඉතින් මේකට ව්‍යවස්ථාදායකය කියලා කියන්නේ ඇයිද කියලා මම දන්නේ නෑ.

අනෙක් කාරණය නීතිඥ සංගමයේ ප්‍රකාශයකට අපි අත්සන් කරලා තිබුණා කියලා එතුමා කිව්වා. මම එකක් කියන්න ඕනෑ, ඔය කියන නීතිඥ සංගමය මම කැඳෙව්වෙත් නෑ. මගෙන් ඇහුවෙත් නෑ. මම මොනවත් අත්සන් කරලාත් නෑ. මම තියා ද්‍රවිඩ පක්ෂවත් මේක දැනගෙන හිටියේ නෑ. පස්සේ මට කොපියක් නම් ලැබුණා. කොහෙන් ආපු ප්‍රකාශයක් ද කියලා මම නම් ඒක දන්නේ නෑ.

අපි එදා තීරණයක් අරගෙන තිබුණා. මේ ආණ්ඩුව කරගෙන යන්න බැරිනම් පළමුව විපක්ෂ නායක කැඳවන්න ඕනා කියලා. එහෙම කරලා පාර්ලිමේන්තුවේ සාකච්ඡා කරමු කියලා. ඉතින් අපට ආපහු නීතිඥ සංගමය උවමනා නෑ. සමහර පක්ෂ නීතිඥ සංගමය සමග කතා කළා ඒ සංගමය පාර්ලිමේන්තු එන්න ඕනෑ කියා. සමහර පක්ෂ නීතිඥ සංගමයට දුවගෙන ගියාට මට කරන්න දෙයක් නෑ.

ඊට පස්සේ නීතිඥ සංගමය ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති සමග කතා කළා. එදා කතා කළේ දේශපාලනයෙන් තොර කව්රු හරි පත් කරන්න ඕනා කියලා. ඒකට කව්රු හරි පාර්ලිමේන්තුවෙන් ඉවත් වෙලා අර කියන පුද්ගලයා පාර්ලිමේන්තුවට ගෙනත් අගමැතිකම භාර දෙන්න කියලා. ඒ අය බලාපොරොත්තු වුණේ සාලිය පීරිස්ව මන්ත්‍රීවරයෙක් කරලා ගෙනත් අගමැතිකම ගනී කියලා. ඕක රහසක් නොවෙයි. නමුත් 09 වැනිදා ගෝල්ෆේස් සිද්ධියෙන් ඒක වෙනස් වුණා. විපක්ෂ නායක සහ අනුර දිසානායක ගියත් ඒ අයව එතනින් ප්‍රතික්ෂේප කළා. බලාගෙන හිටියේ නිර්පාක්ෂික අගමැති කෙනෙක් එයි කියලා සූට් එකකුත් මහගෙනලු.

ඊට පස්සේ අපේ මේ මන්ත්‍රීවරු මට ඇවිත් කරදර කළා දුන්නොත් එපා කියන්න එපා කියලා. බලන්න ඉතින් මේ අය කරපු වැඩේ. අර සූට් එකටත් ගෙවන්න වුණානේ (සභාවේ හිනා) තමුන්නාන්සේලා නිසා විශාල නාස්තියක් ඇතිවුණා. පස්සේ හරින් සහ මනූෂ කියලා තිබුණාලු මේක භාර ගන්න කියලා. ඉරාන් කිව්වලු අපි මේක භාර ගත්තේ නැත්නම් රනිල් වික්‍රමසිංහ ගනී කියලා. සමහරු හිතුවා මේක තවත් අන්තයට යයි කියලා. මේකට දෙමළ ඩයස්පෝරාව හිටියේ නෑ. පසුව 09 දා සංවිධානය වෙලා ඇවිල්ලා ජනාධිපතිව පැන්නුවානේ. පස්සේ මගේ ගෙයත් ගිනි තිබ්බා. පක්ෂ නායකවරු කථානායකත් එක්කත් කතා කළානේ. මගෙන් ඇහැව්වහම මම කිව්වේ බහුතරයක් තියෙන කෙනෙක් භාර ගන්න මම අගමැතිකමෙන් ඉවත් වෙන්නං කියලා. හැබැයි වෙන බලවේගයක් තිබුණෙත් නෑ. මගේ අගමැති කාර්යාලයත් අර ගත්තා. එතන ඉඳන් පාර්ලිමේන්තු එන්න හැදුවා. ඒ නිසයි මට හමුදාවට කියන්න සිදු වුණේ පාර්ලිමේන්තුව කොහොම හරි බේරගන්න කියලා. අපිටත් ඕනා මේක කව්ද සංවිධානය කළේ කියලා හොයන්න. මගේ නිවස පිච්චුවා කියලා පැනලා ගියා නම් එතන හිඩසක් ඇති වෙනවා. නැත්නම් මෙතනට එනවා. හැබැයි විපක්ෂයේ සජබයට මම චෝදනා කරන්නේ නෑ. මොකද මම ප්‍රජාතන්ත්‍රවාදය එයාලට ඉගැන්නුවා. මුලින්ම මේ ප්‍රශ්නය ආවහම නීතිඥයෝ විසිපහක් තිහක් ගිහින් ඒ අයව නිදහස් කර ගත්තා. සුමන්දිරන් මන්ත්‍රීතුමාට මේ ගැන ප්‍රශ්නයක් තිබෙනවා නම් අපි කමිටුවක් දාලා හොයමු.

මෙහිදී අදහස් දැක්වූ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා-

මම නැගිට්ටේ ජනාධිපතිගේ බහුභූත කතාවලට උත්තර දෙන්න නොවෙයි. ජනාධිපති දැන් එයාව පත් කර ගත්තු හොර රැළත් එක්ක සභාවෙන් පිටවෙලා ගියා. මම කියන්න ඕනා විධායකයේ බලතල බෙදලා තිබෙන්නේ. ව්‍යවස්ථාදායක සභාව කියන්නේ තමන්ගේ පඹයෙක්, අතකොලුවක් හෝ විධායකයේ රූකඩයක් නොවෙයි. මේ රට තියෙන්නේ හිට්ලර්ගේ හෝ මුසලෝනිගේ පාලනයක් නොවෙයි. මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදයක් තිබෙනවා.

අකිත පෙරේරා, රනිල් ධර්මසේන

advertistmentadvertistment
advertistmentadvertistment